”අපි ඒ කාලේ මාස දෙකක් විතර මඩු පල්ලි යන්නත්, එන්න තවත් මාස එකහමාරක් විතරත් ගත කළා. ගෙවල් දොරවල් වහලා දාලා තමයි අපි ගියේ. අප්පේ....... පුදුම හාස්කම් තිබුණු වන්දනා ගමනක් නොවැ ඒක....” යැයි වෙන්නප්පුව, උල්හිටියාවේ වර්ණකුලසූරිය මේරි ප‍්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ඇය අද අසූහතර හැවිරිදිය. දිගු ඉතිහාසයක් ඇති කතෝලික බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ වන්නියේ මරඳමඩු දේවස්ථානයට අද ගොඩබිමින් පැය 4කින් පමණ වුවද යාහැකි පහසුකම් තිබේ. එහෙත් වසර 600ක පමණ අතීතයක් ඇතැයි කියන මඩු පල්ලියට 1930-1940 දී පමණ බර කරත්ත වලින් වන්දනාවේ ගිය ඇතැමකුගේ ජීවමාන තොරතුරු අදද අප හමුවේ තිබේ. මම අවුරුදු 7 - 8 කාලෙත් දෙමාපියන් එක්ක කරත්ත වල මඩු පල්ලි ගියා. මම අවුරුදු 13 දී විවාහවුණේ. මගේ වැඩිමල් පුතාට මාසයයි. මගේ සැමියා වන ගස්බාරු ප‍්‍රනාන්දුත් එක්ක කරත්තෙන් මඩු පල්ලි යද්දී, මම නම් ළමයාවත් තියාගෙන කරත්තෙම ගියා. තව වැඩිහිටි කට්ටිය පයින් යනවා. මහන්සි වෙද්දී, අව්ව සැර වෙද්දි ගහක් යට අම්බලමක, රෑ වෙද්දී පල්ලියක, පන්සලක නවතිනවා. මට දරුවෝ 5 දෙනෙයි. දුවයි පුත්තු 4 දෙනයි. අපි කඩ වලින් කවදාවත් කාලා නෑ. ගෙදරින් යනකොට දින දෙක තුනක් තියා ගන්න පුළුවන් කෑම ගෙනියනවා. පස්සේ උයාගෙන කනවා. පල්ලිය ළඟ රෙදි වලින්, කොළ අතු වලින් වාඩි ගහගෙන සුමානයක් විතර ඉන්නවා. පුදුම භක්තියක් තියෙන්නේ යැයි ඇය පැවසුවාය. පසු කාලෙක පෝඞ්, ඔස්ටින් කාර් වලින්, ලොරි වලින් මෑත යුගයේ වෑන් වලින් මෙන්ම 1960 දශකයේ සිට 1980 පමණ දක්වා මරදානෙන් රාත‍්‍රි 8.00ට පමණ පිටත්ව රාගම, කුරුණෑගල, මැදවච්චිය හරහා තලෙයි මන්නාරම දක්වා දිවෙන, පසුදා උදේ මඩු රෝඞ් වලින් බැසිය හැකි තැපැල් දුම්රියෙන්ද බැතිමත්හු මඩු පල්ලි ගියහ. එහෙත් වඩාත් මනස්කාන්ත ගමන එදා කරත්තෙන් ගිය ගමනයැයි අදටත්  ජීවත්ව සිටින කරත්තෙන් මඩුගිය පැරැණියෝ පවසති. කටුනේරිය, වැල්ල පාර, ගල්මල් පඳුර පදිංචි මහමාලගේ ආනා ප‍්‍රනාන්දු (87) මහත්මිය ඒ ගැන කියන්නේ මෙසේය. අපි කරත්ත හත අටක් එකතු කරගෙන යනවා. ගීතිකා කියනවා. කරත්තේ දෙපැත්තේ ඇඳිවල කළගෙඩි. පනිට්ටු වගේ බඩු එල්ලනවා. බර බාගේ ගෝනි පඩංගුවේ බඩු ගොඩක් තියනවා. අඹරාවේ (වහලේ) තවත් කොටසක් එල්ලනවා. ලන්තෑරුම් දෙකක් ඇඳි දෙකේ බැඳලා තියනවා. වයසක අය, පොඩි ළමයි. අසනීප අය ඉඳගන යද්දී අනිත් අය පයින් යනවා. මහන්සි දැනෙනකම්, ඒතරම් මහන්සියක් දැනෙන්නේ නෑ. එහෙම කියලා කටවරද්දා ගන්නේ නෑ. පල්ලිය ගාවදිත් වචන කියද්දී පරෙස්සම් වෙනවා. අපි යද්දි දැල් අරන් ගිහින් වැව් වලින් මාළු අල්ලාගෙන ඇවිල්ල උයනවා. නවතින තැන්වල වැව්, පල්ලි, පන්සල් තියෙනවා. නාන්න, රෙදි හෝදන්න පුළුවන්. සමහර හේන් වලින් මඤ්ඤොක්කා, බතල වගේ දේවල් ලැබෙනවා. ඒවා තබ්බ ගන්නවා. ඒකාලේ අද වාගේ කේක් ගෙනියන්නේ නෑ. අද සමහර අය වගේම අග්ගලා, ගෙනියනවා. තවත් කැවිලි හදාගෙන යනවා. සීනි සම්බෝල, අච්චාරු හදාගෙන යනවා. අපි වාඩි (මඩු කූඩාරම්) හදා ගත්තේ රෙදි වටේට එල්ලලා. උඩට දාන්න රුවල් රෙදි අරන් යනවා. වීර-පළු ගස් අල්ලලා තමයි වාඩි අටව ගන්නේ. මඩු සිද්ධස්ථානයේ දැනට මාස 11ටම පාහේ මංගල්‍යයක් පැවැත්වේ. ප‍්‍රධාන මංගල්‍යය සෑම වසරකම අගොස්තු 15වැනිදා පැවැත්වෙන අතර, ජුනි-ජූලි මංගල්‍යයන්ද ප‍්‍රධාන තැනක් ගනී. ජනතාවට අවශ්‍ය පහසුකම් ලෙස ප‍්‍රාදේශීය ලේකම්, තැපැල්, ග‍්‍රාම නිලධාරී, වන ආරක්‍ෂක, පොලීසි, උසාවි කාර්යාල මෙන්ම සතොස, බෙහෙත් ශාලා ආදියද වේ. පහළ කටුනේරිය රණවිරු මහේෂ් මාවතේ පදිංචි වර්ණකුල සිල්මගුරුගේ ජෝන් ගිල්බට් ප‍්‍රනාන්දු මහතා (84) මඩු ගිය හැටි කියන්නේ මෙලෙසයි. මම කුඩා කාලේ දෙමව්පියන් එක්ක තමයි කරත්ත වල ගියේ. ඒ කාලේ වැඩිපුරම කරත්ත තිබුණේ වෙන්නප්පුව පැත්තෙයි. ඒ අය යනවිට අපිත් පවුල් පිටින් එක්ක යනවා. හුඟදෙනෙක් හිටපු බව මට මතක නෑ. මම පස්සේ කාලේ 1950දී විතර ඔස්ටින් කාර්වල මඩු පල්ලි ගියා. කරත්ත වල ගියේ 1930-1935 දී තරමයි. ඇතැම් පවුල් වල උදවිය මඩු මංගල්‍යයට යාමට වසර පුරාම සූදානම් වෙති. ඇතැමුන් ඌරන්, කුකුලන් ඇති කරන්නේ විකුණා මුදල් ලබා ගැනීමටය. සමහරු කැට වලට මුදල් එකතු කරති. මසකට දෙකකට ගේ දොර හැරපියා යනවිට සතුන්ද ගෙදර නැත. එකතු කර ගන්නා මුදල් වලින් අලූත් ඇඳුම්, ගමනට අවැසි කළමනා ගනිති. ගමන අරඹන්නට පෙර භාරයක්ද වෙන වන්දනාකරුවෝ ගමේ පල්ලියට ගොස් යාච්ඥා කරති. වෙන්නප්පුව, කොළින්ජාඩිය මිරිසගේ ජොසපින් ප‍්‍රනාන්දු මහත්මිය (86) ඒ ගැන කියන්නේ මෙසේය. අපි මාස ගණන් ලෑස්ති වෙලා මඩු පල්ලි යන්නේ ගමේ පල්ලියට ගිහින් ඔරසන් කියලයි. අපේ අම්ම තාත්තලා මඩු පල්ලි යන ගමන් තලවිල සන්තානම් මෑණියන්ගේ පල්ලියටත් යනවා. කරත්ත පේලිය දවස් ගාණක් යද්දි ආසයි. තලවිල පල්ලිය ළඟ දින 3ක් විතර ගතකරනවා. ජූලි මංගල්‍යයට තලවිල ඉඳලා අගෝස්තු මංගල්‍යයට මඩු පල්ලි යනවා. තලවිල පල්ලිය ගාව වැලි ගොඬේ පොඩි දරුවන්ගේ කකුල් හයිවෙන්න දණහිස දක්වා ටික වේලාවක් වළලලා තියනවා. අපි යන්නේ විල්පත්තුව හරහා. ඒ පාරෙන් අලි විතරක් නෙමේ අනික් සත්තු බොහොම ඉන්නවා. ඒත් වන්දනාකරුවන්ට කරදරයක් නෑ. ජප මාලය (කොන්තය) උච්ඡාරණය කරමින් තමයි අපි යන්නේ. හයියෙන් ඔරසන්, ගීතිකා කියනවා. කවුරුත් පල්ලිය ගාව හැසිරෙන්නේ සාමෙන්. අපේ වාඩිය කිට්ටුව ගමේදී තරහ කෙනෙක් හිටියත් මඩු පල්ලිය ගාවදී කථා කරනවා. ගෙදර එනකොට අහල පහල අයට දෙන්න තල් අල, හබල පෙති, තල් හකුරු, තල්පුනාටු, බේත් පෙට්ටි ගේනවා. වෙන්නප්පුව, උල්හිටියාවේ ඇග්නස් ප‍්‍රනාන්දු මහත්මිය (75) මෙසේ කියන්නීය. කවුරුත් පල්ලිය ගාවට ගිය ගමන්ම ඉටිපන්දම් පත්තු කරලා යනවා. වාඩියක් ගහන්න තැනක් හොයන්න. කරත්ත ගොන් ලිහන්නේ ටිකක් එහාට වෙන්නයි. අපි වීර, පළු, සියඹලා, කොහොඹ, සූරිය ගස් තියන රුප්පාවක වාඩි ගහ ගන්නවා. මම 1955 දී විතර බස් එකෙන් ගිහින් තියෙනවා. ටිකට් එක රුපියල් 3.50 යි මඩු පල්ලියටම. කටුනේරිය, වැල්ල ප‍්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය පීටර් ප‍්‍රනාන්දු මහතා (95) අද දෑස් නොපෙනෙන අයෙකි. අපත් ඒ කාලේ කරත්තවල මඩු පල්ලි ගියා. වැඩි හරියක් පාර දෙපැත්ත කැලේ. ගම්මාන තැනින් තැන තිබුණා. නගර තිබුණේ කලාතුරකින්. පාර දෙපැත්තෙන් පේර, අඹ, වීර, පළු, තව තව පළතුරු තිබුණා. සෙනඟ එතරම්ම නෑ. මම පස්සේ කාලෙක ලොරි වලිනුත් කාර් වලිනුත් මඩු පල්ලි ගියා. කටුනේරිය, ලංසිගම සෙලින් මේරි තිසේරා (73) මහත්මිය මෙසේ කියයි. මට අවුරුදු 8ක් විතර වෙද්දී තමයි ඉස්සෙල්ලම කරත්තෙන් මඩු පල්ලි ගියේ. දෙමටපිටිය හන්දියේ මාලූ කඬේ පාලයියා මගේ බාප්පා. මාග‍්‍රට් (සුදු පොඩි අම්මා) එක්ක මාත් ගියා. කටුනේරියේ දෙමටපිටිය හරියේ තිබුණු කරත්ත වල තමයි අප ගියේ. ඒ කාලේ ඇලූමිනියන් කෝප්ප තිබුණේ නෑ. ශුද්ධ කරපු පොල් කටු, වතුර බොන්න පාවිච්චි කෙරුවා. යන ගමන් වැව් වල මාළු ඇල්ලූවා. එතැන දවසක් නවතිනවා නම් වැඩිපුර තියන මාලූ වේළනවා. දිවුල් අහුලනවා. සමහර ඒවා අලි ගිලපුවා. ඒවා පුහු. ආගම දහමට ලැදිව වගේම ඒ ගමන විනෝදෙන් ගියා. එදා බර කරත්ත, ගොන් කරත්ත, බක්කි කරත්ත, බර බාගය ආදී නම් වලින් හැඳින්වූ කරත්ත වලින් මඩු පල්ලි යාම ඉතා බැතිබර මෙන්ම විනෝදජනක වන්දනා ගමනක් බව මේ කථාබහේදී තහවුරු විය. එදා මෙන් මාසදෙකක් තුනක් ගෙවල් දොරවල් වසා අද ගියේ නම් එනවිට ”ශුද්ධ” කර තබනු ඇත. එදා පොකට්කාරයන්, සොරුන්, මංකොල්ලකරුවන් පල්ලිය ළඟ සිට නැත. එහෙත් අද මඩු පල්ලිය අසල මහ මංගල්‍යය දිනවල චේන් කැඞීම්, පොකට් ගැසීම්, වාඩිවල, ගෙවල් වල ඇති බෑග්, මුදල් සොරකම් සියයකට වැඩියෙන් මඩු පොලිසියට පැමිණිලි ලැබේ. එදා කියන හාස්කම් අද නැත්තේ ඇයි? එයට හේතුව මඩු මාතාවන්ගේ බලයේ අඩුවක් නොව ජනතාව කෙරේ එතුමියගේ කරුණාව, දයාව දැක්වීම හා සමාව දීම බව පැරැුනියෝ එදා අද ගලපති. කෙසේවුවද කලක් කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට යටත්ව තිබූ මඩු සිද්ධස්ථානය මෝටාර් බෝම්බ මධ්‍යයේ හානියක් නොවී නොසැලී පවතින්නට තරම් හාස්කම් දැක්වීය. එදා ඝණ වනාන්තර වලින් ගහනවූ මඩු පුදබිම අද බෙහෙවින් එළිපෙහෙලි වී තිබේ. පක්‍ෂ ප‍්‍රතිපක්‍ෂ දේශපාලනඥයන් තරඟයට මෙන් පහසුකම් හා විවිධ උපාංග සැලසීම නිසා පුදබිම හා පල්ලිය නවීකරණය වෙමින් පවතී. නවීන තාක්‍ෂණයට එය එකඟ වුවද එහි අනන්‍යතාවට හානියක් වේ නම් ඒ බරපතළ කාරණයකි. සියල්ල මරද මඩු මාතාවෝ ඉවසා වදාරත්වා.
පින්තූර කථාව මාරවිල - ටි‍්‍රක්සි කොන්ස්ටන්
මඩු පල්ලිය කොළින්ජාඩියේ ජොසපින් ප‍්‍රනාන්දු කටුනේරියේ පීටර් ප‍්‍රනාන්දු වෙන්නප්පුවේ මේරි ප‍්‍රනාන්දු පහළ කටුනේරියේ ජෝන් ගිල්බට් කටුනේරියේ ආනා ප‍්‍රනාන්දු