IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


​උතුර-නැගෙනහිර ආණ්ඩුවේ ගමන්මග

උතුරු, නැගෙනහිර පළාත්වලට සීමාවූ දේශපාලන පක්ෂ හැර වෙනත් කිසිදු පක්ෂයක් මෙතෙක් නොලැබූ තරම් විශාල බලයක් මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබී තිබේ.

 ඡන්ද වශයෙන් ගත්තද පාර්ලිමේන්තු ආසන වශයෙන් ගත්තද  එම පක්ෂ එම පළාත් දෙකේ මැතිවරණ දිස්ත්‍රික්ක පහෙන් හතරකට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හා වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගෙන ඇත.

 එම දිස්ත්‍රික්ක පහේ වලංගු ඡන්ද 13,76,063න් වැඩිම  ඡන්ද සංඛ්‍යාවක් එනම් ඡන්ද 409,566ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්වූ අතර එම දිස්ත්‍රික්කවලට හිමි ආසන 28න් 12ක් දිනා ගැනීමටද එය සමත්විය.

එහෙත් මෙම ප්‍රතිඵල පදනම් කරගෙන දෙමළ හා මුස්ලිම් ජනතාව වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කොට ඇතැයි දැන්ම නිගමනය කිරීම එතරම් නිවැරැදි නොවේ. ඊට ප්‍රධානම හේතුව වන්නේ දෙමළ  හා මුස්ලිම් පක්ෂ ගණනාවක් මෙම මැතිවරණයේ මෙම දිස්ත්‍රික්කවල තරග කිරීමත් සුළු ජාතික ඡන්ද ඔවුන් අතර බෙදී යාම නිසා ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කවලදී ඉස්මතුවීමත් නිසාය.

 ප්‍රශ්නය නම් මෙය ස්ථාවර ප්‍රවණතාවක ආරම්භයක්ද නැත්නම් අහඹු තත්වයක්ද යන්නයි. එම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත්තේ ඉදිරි මැතිවරණවලදීය. එසේම ජාතික ජනබලවේගයට මෙරට දෙමළ හා මුස්ලිම් ජනතාව වෙතින් මෙවර ලැබුණු සහාය තවදුරටත් වර්ධනය කරගත හැකිද නැත්නම් අඩු තරමින් පවතින තත්වය හෝ රැක ගත හැකිද යන්න එම පක්ෂය ඉදිරියේ පවතින අභියෝගයකි. එසේ වන්නේ මෙරට වාර්ගික සබඳතා ඉතා සංකීර්ණ හා සංවේදී කාරණයක් වන නිසාය. 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දෙමළ පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් මේ සතිය මුලදී දෙමළ දේශපාලනඥයන් අතර හා ජනමාධ්‍ය තුළ ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය එම ප්‍රශ්නයේ සංකීර්ණ බව හා සංවේදී බව පෙන්වයි.

 එම ආන්දෝලනය සාකච්ඡා කිරීම් සඳහා ප්‍රවේශයක් වශයෙන් අපි පහත සඳහන් ඡේද දෙක ඉදිරිපත් කරමු.

 ‘‘සියලු ජන කොට්ඨාසවලට එකඟවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගතහොත් පළාත් සභා ක්‍රමය හෝ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්බන්ධයෙන් අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත. පළාත් සභා ක්‍රමය රටට කිසිදු ප්‍රයේජනයක් නැති අසාර්ථක ක්‍රමයකි. එහෙත් අලුත් විසඳුම් යෝජනාවක් ඉදිරිපත් නොකොට අප පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නැතුව මෙය පැහැදිලිව තේරුම් ගත යුතුය. නැතහොත් ජනතාව අතර  වැරැදි අදහස් පැතිරවීමේ හැකියාවක් ඇත.

‘‘සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සමගිය ඇති කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුනා ගන්නා තෙක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇත. ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් ජාතික ජනබලවේගය කිසිදා පළාත් සභා ක්‍රමය පිළිගත්තේ නැත. දෙමළ හා මුස්ලිම් ජනතාව පළාත් සභා ක්‍රමය තමන්ගේ අයිතියක් ලෙස සලකන හෙයින් එය අහෝසි කිරීම මඟින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවනු ඇත.’’

මෙම ඡේද දෙකේ හරය වන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් සොයා ගන්නා තෙක් පළාත් සභා ක්‍රමය පවතිනු ඇත යන්නයි. පළමු ඡේදය පසුගිය ඉරිදා දෙමළ පුවත්පතක්  සමග ටිල්වින් සිල්වා මහතා කළ සම්මුඛ සාකච්ඡාවක සාරාංශය ලෙස එම පුවත්පතේ වෙබ් අඩවියේ පළකළ ඡේදයක පරිවර්තනයයි.

 

 දෙවැන්න, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ ජූනි මාසයේදී ලන්ඩන් නුවරදී කළ කතාවක කොටසකි. ඔහු එම අදහස් ජනාධිපතිවරණ සමයේදීත් මහ මැතිවරණ සමයේදීත් ස්ථාන ගණනාවකදී ප්‍රකාශ කොට ඇත.

පළාත් සභාවල අනාගතය සම්බන්ධයෙන් මේ දෙදෙනාම පවසන්නේ එකම දෙයකි. එහෙත් දිසානායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන් අතර කිසිදු ගැටලුවක් මතු නොවූ අතර සිල්වා මහතාගේ ප්‍රකාශය ආන්දෝලනයක් බවට පත්වී ඇත. ඔහුගේ එම ප්‍රකාශයට දෙමළ දේශපාලනඥයන් පමණක් නොව ඇතැම් සිංහල දේශපාලනඥයන්ද විරෝධය පළ කොට තිබිණි.

එසේ වූයේ ප්‍රධාන වශයෙන්ම එම සම්මුඛ සාකච්ඡාව පදනම් කරගෙන එදිනම එම පුවත්පතේම  මුල් පිටුවේ ලියා තිබූ ප්‍රධාන ප්‍රවෘත්තියට යොදා තිබූ සිරස්තලය නිසාය. එම සිරස්තලය වූයේ ‘‘නව ව්‍යවස්ථාවෙන් 13 වැනි  සංශෝධනය අහෝසි කෙරේ’’යන්නයි.  මෙය පැහැදිලිවම නොමඟයවනසුළු සිරස්තලයකි.

මේ පිළිබඳව ඉකුත් සඳුදා එම පුවත්පතේම උතුරේත් දකුණේත්   දේශපාලනඥයන් ගණනාවකගේ අදහස් පළකොට තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන්, කාවින්ද ජයවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, විජයදාස රාජපක්ෂ, මනෝ ගනේෂන් යන අය ටිල්වින්  සිල්වා මහතාට සිය විරෝධය පළ කොට තිබිණි.

එසේම පාර්ලිමේන්තු  මන්ත්‍රී වෛද්‍ය පී. සත්‍යලිංගම්, සෙල්වම් අඩයිකලනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් යන අය වෙනත් පුවත්පතකට අදහස් දක්වමින් සිල්වා මහතාට විරෝධය පළ කොට තිබිණි. එහෙත් මේ කිසිදු මන්ත්‍රීවරයකු ටිල්වින් සිල්වා මහතාගේ සම්මුඛ සාකච්ඡාව කියවා තිබූ බවක් නොපෙනිණි.

මුල් පුවත්පතට අදහස් දැක්වූවන් කර තිබුණේ ‘‘නව ව්‍යවස්ථාවක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ විට’’ අදහස් දැක්වීමක් බව එම පුවත්පතේම සඳහන් වී තිබිණි.

එහෙත් මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ටිල්වින්  සිල්වා මහතා ඉතා පරෙස්සමෙන් එසේ කොට ඇති බව පෙනේ. මන්දයත් විකල්ප විසඳුමක් ඉදිරිපත් නොකොට 13 වැනි සංශෝධනය හෝ පළාත් සභා ක්‍රමය අහෝසි නොකරනු  ඇතැයි ඔහු එම සම්මුඛ සාකච්ඡාවේ ස්ථාන හතරකදී ප්‍රකාශ කොට තිබීමයි. එසේම මේ කාරණය සම්බන්ධයෙන් තමන් කුමක් ප්‍රකාශ කළත් යම් යම් පිරිස් එය විකෘති කිරීමට ඉඩ ඇති බවද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේ ස්ථාන තුනකදී ප්‍රකාශ කරයි.

එහෙත් ඔහු කී පරිදිම ඔහුගේ ප්‍රකාශය විකෘති කෙරිණි. ඒ අනුව ඉකුත් අඟහරුවාදා අදාළ පුවත් පත මඟින් යළිත් තම ස්ථාවරය පැහැදිලි කිරීමට ජවිපෙට සිදුවිය.

බලය  බෙදීම, 13 වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රමය පිළිබඳව එම පක්ෂය කරන ප්‍රකාශයක් විකෘති කිරීම ඉතා පහසුය. මන්දයත් 13 වැනි සංශෝධනයට  හා පළාත් සභා ක්‍රමයට පමණක් නොව ඒවාට පාදක වූ 1987 ඉන්දු- ශ්‍රී ලංකා ගිවිසුමටද ජවිපෙ දැඩි ලෙස විරුද්ධ වූ හෙයිනි. ජවිපෙ පළාත් සභා මැතිවරණවලට තරග කොට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එම සභාවලට පත් වුවද එම පක්ෂය  ප්‍රතිපත්තියක් වශයෙන් එම සභාවලට විරුද්ධය. ඔවුහු එම ස්ථාවරයේම තවමත් සිටිති.

එහෙත් පසුගිය වසරේදී ඔවුන්ගේ එම ස්ථාවරයේ යම් වෙනසක් දක්නට ලැබිණි. එය මුලින්ම පැහැදිලිව ප්‍රකාශයට පත් වූයේ මෙම ලිපිය ආරම්භයේදී අප සඳහන් කළ ලන්ඩන් නුවර පැවැති රැස්වීමේදීය. අනුර කුමාර දිසානායක මහතා ඉන්පසු ස්ථාන ගණනාවකදී වෙනස් වූ තම ස්ථාවරය ප්‍රකාශ කළද එය කොතෙක් දුරට සමාජගත වූවාද යන්න සැක සහිතය.

1984 සිට මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විදේශවල මැදිහත්වීම් හා අනුග්‍රහය ඇතිව හා නැතිව සාකච්ඡා සිය ගණනක් පැවැත්වී තිබේ. 2002 සාම සාකච්ඡාවලට රටවල් 51ක හා අන්තර් ජාතික සංවිධාන 22ක අනුග්‍රහය ලැබිණි. එසේ වුවද 2009 බෙදුම්වාදී යුද්ධය නිම වූයේ යුද්ධයෙන්මය. එසේම ගතවූ වසර 40 තුළ මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස යමක් ලැබුණේ නම් ඒ 1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අනුව 1988 දී පිහිටුවනු ලැබූ පළාත් සභා  ක්‍රමය පමණි. ඒ වනවිටත් මේ ප්‍රශ්නය නිසා ජීවිත දහස් ගණනක් අහිමි වී තිබිණි. පළාත් සභා ක්‍රමය දෙමළ ජනතාවට කොතෙක් වටින්නේද යන්න ඉන් කියවේ.

පළාත් සභා ක්‍රමය නිරර්ථක ක්‍රමය කැයි ටිල්වින් සිල්වා මහතා කරන ප්‍රකාශය ප්‍රශ්න සහගතය. 2017 සිට රටේ පළාත් සභාවල මහජන නියෝජිතයන් නැති තත්වය යටතේ  වුවද ඒ පිළිබඳව කිසිවකු මැසිවිලි නොනඟන හෙයින් ඒවා නිරර්ථකය යන මතය ඉන් තහවුරු වේ යැයි කෙනකු තර්ක කළ හැකිය. එහෙත් 2013 දී ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වූ උතුරු පළාත් සභාවේ නායකයන් එම සභාව තම දේශපාලනය සඳහා යොදා ගන්නේ නැතිව මධ්‍යම ආණ්ඩුවෙන් හැකි තාක් සම්පත් බාගෙන යුද්ධයෙන් විනාශ  වූ උතුරේ ජනතාවගේ ජීවිතය නඟාසිටුවීමට කටයුතු කළා නම් පළාත් සභාවල ප්‍රයෝජනය දැක ගත හැකි වන්නට තිබිණි.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයක් ලෙස හැඳින් වුවද වෙනත් නමකින් හැඳින් වුවද ඊට කිසි දිනෙක ස්ථිරසාර විසඳුමක් සොයාගත හැකි වේවියැයි සිතිය නොහැකිය. ඊට ප්‍රධානම හේතුව නම් උතුරේ පක්ෂ මෙන්ම දකුණේ දේශපාලන පක්ෂද මෙම ප්‍රශ්නය දේශපාලන වාසි ලබාගැනීම සඳහා වූ මෙවලමක් බවට පත්කරගෙන සිටීමය.

 ප්‍රශ්නයට විසඳුම වන්නේ යම් තත්වයක් සම්බන්ධයෙන් එකඟතාවක්  ඇති කර ගැනීමය. එහෙත් ඒ සඳහා එක් පාර්ශවයක් හෝ දෙපාර්ශවයම හෝ තමන් සිටින දැඩි ස්ථාවරය අත්හැර පහළට බැස ආ යුතුය. ආණ්ඩු පක්ෂයක් එසේ පහළට බැස අවොත් දකුණේ සිංහල ජාතිකවාදී පක්ෂ එය ජාතිය පාවාදීමක් ලෙස හඳුන්වමින් දේශපාලන වාසි   ගන්නට උත්සාහ කරයි. උතුරේ  පක්ෂයක් එසේ පහළට බැස එන්නට උත්සාහ කළහොත් එහි දෙමළ ජාතිකවාදී අනෙක් පක්ෂද ඉන් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරයි. මැතිවරණ දේශපාලනයේදී එසේ ද්‍රෝහීන්, පාවා දෙන්නන් ලෙස හංවඩු ගසනු ලැබීමට කිසිවකු සූදානම් නැත. එය දේශපාලන දිවිනසා ගැනීමකට සමාන වන හෙයිනි. එම කඩඉම පසු කරන්නට නම් අසාමාන්‍ය දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය වේ.

එහෙයින් ජාතික ජන බලවේගයටද ඉදිරියේදී වත්මන් පළාත් සභා ක්‍රමයම යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර සෑහීමකට පත්වන්නට සිදුවිය හැකිය.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (1)

​උතුර-නැගෙනහිර ආණ්ඩුවේ ගමන්මග

Janitha Saturday, 07 December 2024 11:40 AM

අමතකවුණ දේවල් තියෙනවද කියලා අහනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 77 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 61 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 194 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 500 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site