IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉතිහාසය වෙනස් කළ අසිරිමත් නත්තල

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී ජීවිත සිදුවීම් අරබයා මිනිස් ඉතිහාසය විවිධ තැන්වල විවිධාකාරයෙන් වෙනස් වූ බව බයිබලීය විමර්ශනයත් ඓතිහාසික ලෝක පැවැත්මත් මනාව ගෙන හැර දක්වයි. බෙත්ලෙහෙමේ කුඩා කඳු බෑවුම් කුහරයක් තුළ ලත් උපත ලෝක ඉතිහාසය දෙකඩ කළා පමණක් නොව නව ලෝක ආරම්භයක් ඇති කරමින් මිනිස් සංහතිය තුළට දේවත්වයේ මාංශගත වීම සලකුණු කළ නිසාම නැවතත් පෙර ඉතිහාසයට නොව ‘දෙවියන් වහන්සේ අප සමගයි’ යන සුවිශේෂී පදනම ජීවත් කරවන නව ලෝක රටාවක් ස්ථාපිත වූ වගම අපට සිහිපත් කරවයි. මිනිසත් බව තුළ ‘මාංශගත වෙමින්’ සියලු දුබලකම් පළඳ‌ාගෙන මෙලොවට බට ‘දේවත්වයේ ආශ්චර්ය’ සරල බවම උපන් තැනට මොනවට හුවා දක්වමින් සාමයේ පණිවුඩයක් දසත විහිදුවන්නට උපතක් ලබා දුන්නත් එහි යට විහිද යන රාජාති රාජ’ දේව රාජ්‍යයේ සංකල්පය මහ නරපතීන් පවා වෙව්ළුවා හරින්නට සමත් වී ඇත.

දුගී බව දෝතින් දරාගෙන අල්පේච්ඡ දිවි පෙවෙත් උරුම කොට ගත් එඬේරුන් පිරිවරා ඔවුන් පසස ගීයෙන් මිහිමඬල සාමයේ සුර ගීයෙන් සරසාලූ ඒ දෙව් උපත සමරන නත්තල සැබැවින්ම කුඩා කතා පුවතක් වූවා පමණක් නොව අල්ප ජන කොට්ඨාසයක් අතර පමණක් විහිද ගිය පුවතක් විය. සුවිශේෂක ජුවාම්තුමන් පවසන පරිදි ‘උන්වහන්සේ සිය දේශයට වැඩම කළ සේක. එහෙත් ස්වකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්හ’ (ජුවාම් 1:11). එසේ වුවද උන්වහන්සේගේ නාමය අදහාගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙවා වදාළ සේක’. (ජුවාම් 1:12).

එදිනෙදා ජීවිතයේ මොහොතේ අත්දැකීම් ලබන ජනතාවකට වඩා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත අපට මහත් ආනුභාවයක් ලබා දෙවන ජීවන තත්ත්වයක් හරහා ජීවත් වන්නට ඉමහත් පිටුබලයක් උත්පාද කොට ඇත. මෙකී උත්තරීතර අත්දැකීම් නිසාම දෙවිඳුන්ගේ දරුවන් සේ අප හැම කෙනෙක්ම එකී වෙනස තුළ ඉමහත් ප්‍රීතියක් ජීවිතයේ අත්විඳින නිසා නත්තල ප්‍රීතියේ සන්තෝසයේ ලකුණක් බවට දැන් පත්වී හමාරය.

 

නත්තලේ සැබෑ සැමරුම

ඉහත අත්දැකීමත් සමග දහම තුළ ජීවත් වන්නාට නත්තල ජීවිතය සනහාලන කඩඉම සන්ධිස්ථානයකි. දහම තුළ ජීවත් නොවන්නාට පවා එය භෞතික වශයෙන් ජීවිතයේ සතුට, සැනසීම ගෙන දෙන මංකඩක් බවට පත්වී ඇති සෙයකි. එමනිසා නත්තලේ හැඩතල වෙනස් කරමින් කෙතරම් භෞතික ප්‍රස්තුත ඔස්සේ නිර්වචන ගෙන හැර පෑවට සන්තෝසයේ සැබෑ සේයාවක් මේ වදන හරහාම ගෙනවිත් ඇත. අසල්වැසියා සොයා යන ගවේෂණයක් මෙන්ම ඔහුගේ, ඇයගේ අවශ්‍යතා මත පරඋපකාරය සමග ජීවිතයේ සැනහීමක් සොයා යන ක්‍රිස්තු භක්තිකයා ආධ්‍යාත්මික ක්‍රියාවලිය ජීවිත බාහිර ක්‍රියාකාරිත්වයක් කරා ගෙන යන්නේ එවන් පිරිපුන් අත්දැකීම් තුළිනි. මෙය පැහැදිලිව දැක ගත හැක්කේ ක්‍රිස්තියානි යුරෝපය හෝ ඇමරිකාව තුළිනි. එහි ජන ජීවිතය හා පොදු සාමූහිකතා පැවැත්ම නිරීක්‍ෂණය කිරීමෙනි. තමන් වෙතට රාමුගත වන ජීවිතයක් නොව තමන් තුළින් අන් අයට විහිදෙන සහෝදරත්වයේ ජීවිතයක් කිතුනුවා අත්විඳින නිසා අන් ලබ්ධිකයිනට වඩා කිතුනුවා සැනහීම හා සන්තෝසය තම ශාස්තෘවන්තයාගේ ජීවිතයේ විවිධ අවස්ථා ආවර්ජනය කොට ජීවිතයෙන්ම අත්විඳියි.

සමහර විට කිතුනුවාගේ මෙම ජීවිත පැවැත්ම අන් ලබ්ධිකයන් හට උභතෝකෝටිකයක් බවට පත්වී තිබෙන්නේත් මේ නිසාම විය හැකියි. උපත කවදත් විපතක් බවට හරවා ගත යුතු නැත. බෙත්ලෙහෙම් නිමිත්ත සතුට උත්පාද කළා සේම කල්වාරියේ නිමිත්ත ධ්‍යානගත නිසොල්මනේ මෙනෙහි කිරීමකට කිතුනුවාව කැඳවා ඇත. නත්තල ඒ අරුතින් බෙත්ලෙහෙම නිරූපිත කරන විට පාස්කුව දෙවන අරුතින් කල්වාරිය මැනවින් නිරූපිත කර ඇත.

 

අපේ කාලයේ නත්තල

ශ්‍රී ලාංකේය කතෝලිකයා දැන් වසර 3 කට ආසන්න කාලයක සිට වින්දිතයෙක් ලෙස පාස්කුව හා නත්තල එකට ගෙන අත්විඳින තත්ත්වයකට පත්ව ඇත. නුහුලන අපරාධයක් පාස්කුව මුල් කොට ගෙන අප ජනතාවකට ගෙන ඉන් නිසාමයි. 2019 වසරේ සිට පාස්කුව හා නත්තල යන වදන් දැන් මෙරට සමස්ත ජනතාවගේ හදවත් තුළට කා වද්දා හමාරයි. පාස්කු දවසේ ම්ලේච්ඡ ප්‍රහාරය දැන් පාස්කු ප්‍රහාරය වශයෙන් ගෙන උදේ හවා මතුරන මන්ත්‍රයක් ගාණට වැටී ඇති අතර සැබෑ එතෙර වීමකට කතෝලිකයා දැන් මෙම පාස්කු දවසේ ප්‍රහාරය තුළින් පන්නරයක් ලබා ඇති බව පැහැදිලියි. එම නිසාම ශ්‍රී ලාංකේය කතෝලික බැතිමතාට හා පොදුවේ කිතුනුවාට නත්තල නැතිනම් උපතේ මංගල්‍යයත් ‘එතෙර වීමක්’ හා සමානකොට අත් විඳින්නට එකී නිහීන ප්‍රහාරය යම් පිටිවහලක් වී ඇති බව පැහැදිලිය. එසේ නම් 2021 වසරේ නත්තලත් කිතුනුවාට එක්තරා අන්දමකින් ‘එතෙර වීමකි’. සැබැවින්ම වාල් භාවයකින් බැඳී සිට ඉන් මිදී එතෙර වීමක් කරා යෑමක් සිහිපත් කළ යුතුමය. එසේ එතෙර වීමක් තුළින් නව පැවැත්මේ ක්ෂේම භූමියක් කරා පැමිණීම ‘නව උපතක්’ බවට කිතුනුවා පත් කර ගත යුතුමයි.

උපතක ප්‍රීතිය අත්විඳින්නට හැකිවන්නේ සමස්තය ඒකාත්මික වී එකට බැඳීම තුළින් පමණයි. එහිදී මිනිස් ජීවිතය තමන් ජීවත් වන පරිසරය හා බැඳී පවත්නා සම්බන්ධතා පවා දැඩි අවබෝධයකට ළං කර ගත යුතුයි. අද ශ්‍රී ලාංකේය ජන ජීවිතය එක්තරා මිරිකීමකට හසුකර ඇති බව පැහැදිලිව දැකිය හැකි දසුනක්. ගොවියා, ධීවරයා, ගුරුවරයා, කම්කරුවා, පමණක් නොව මධ්‍යම පංතික රැකියාධාරින් පවා කියාගත නොහැකි ආර්ථික අවපාතයකින් හා ජීවිත මහ බරකින් හෙම්බත් වී ඇත. පාසල් දරුවන් අනපේක්ෂිතව ඉදිරිය දෙස බලා සිටිද්දි ඔවුන් දෙස බලා වැඩිහිටියන්, මවුපියන් සුසුම් හෙළන තත්ත්වයකට පත්වී ඇත. ජනමාධ්‍ය ප්‍රශ්න කඳුළු කතා නිමක් නොමැතිව උදේ හවා පවසන කාල වකවානුවක පොදුවේ විචිකිච්ඡා සමාජයක් පැන නැගී ඇති බවක් පැහැදිලියි.

මේ සියල්ල මධ්‍යයේ වානිජ සමාජය සුසුම් හෙළමින්ම තම වෘත්තින් දෙස විපිළිසර වන මොහොතක නත්තල ගැන පවසන්නට අද ඔවුනට හැකියාවක් නැත. ඒ නිසා ඒ ගැන මිඩංගු වනවාට වඩා අද කළ යුතු බොහෝ දේවල් ඇත. මිදීම හා නිදහස තුළ කතෝලිකයා වෙනදාට වඩා පාස්කුව හා නත්තල අර්ථ ගන්වන්නට පොදුවේ එකට එකතු වී ඇති කාලයක මෙවර නත්තල තුළින් කතෝලිකයා නිහඬව පවසන පණිවුඩය තේරුම් ගන්නට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම හැකි වන්නේ නම් එයත් තව නව උපතක් බව කට පුරාම පැවසිය හැකියි.

(***)
පමුණුගම මීසමේ
ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා

 



අදහස් (0)

ඉතිහාසය වෙනස් කළ අසිරිමත් නත්තල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 458 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site