IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඇමැතිවරුන්ගේ කාරිය ජනතා ප්‍රශ්න විසඳීම මිස දුක කීම නොවේ

සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි උත්පාදනය පසුගිය 18 වැනිදා නතර කරනු ලැබීමත් සමඟ රට ඉදිරියේ යළිත් විදුලිය කප්පාදුවක බරපතළ අනතුරක් මතුව තිබේ. විදුලිය කප්පාදුවක් සිදු නොවන බවට විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා ජනතාව ඉදිරියේ මාධ්‍ය හරහා ලබාදුන් සහතිකය මේ නිසා තුට්ටු දෙකට වැටී තිබේ. දැන් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදන කටයුතු සඳහා අවශ්‍ය තරමට තෙල් තොග නොලැබුණොත් විදුලිය කැපීමට සිදුවන බවය. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කාලසටහනක් සකස් කරනු ඇති බවය.

තෙල් අර්බුදය හේතුවෙන් විදුලිය කැපීමට සිදුවන බව මේ රටේ නියතයකි. ජල විදුලිය සහ ගල්අඟු‍රු බලාගාර හරහා නිෂ්පාදනය වන විදුලියට අමතරව ඩීසල් බලාගාරවලින් සැපයෙන විදුලිය මේ රටේ ජාතික විදුලිබල අවශ්‍යතාවේ වැඩි ප්‍රතිශතයකට වග කියයි. මෙතෙක් පැවැති තත්ත්වය වූයේ කොතරම් අපහසුතා උද්ගත වුවත් තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ඩීසල් අඛණ්ඩව ලබා දීමය. මේ නිසා අධික නියං කාලයකදී හැර විදුලිය කප්පාදුවකට අවශ්‍යතාවක් නොතිබිණි. ඩීසල් බලාගාරවලින් නිෂ්පාදිත විදුලියේ පිරිවැය අධික වුවද ජල විදුලිය සහ ගල්අඟු‍රු බලාගාර විදුලිය මත පමණක් රැඳී සිටීමට අපේ රටට හැකියාවක් නැත. මේ නිසා තෙල් නැත්නම් විදුලියක් නැති තත්ත්වයට රට පත්වීම විස්මයට කරුණක් නොවේ.

විස්මයට හේතුවන කරුණ වන්නේ විදුලිය අර්බුදය සම්බන්ධයෙන් ඇමැතිවරුන් මාධ්‍ය හරහා ජනතාවට ප්‍රකාශ කරන කරුණුය. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සැමවිටම ප්‍රකාශ කරන්නේ විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දෙන්නේ තමන්ට විදුලිබල අමාත්‍යාංශයෙන් ඩොලර් ලබා දුන්නොත් පමණක් යනුවෙනි. විදුලිබල මණ්ඩලය ඩොලර් උපයන ව්‍යාපෘතිවල නිරතව සිටින්නේදැයි අපි නොදනිමු. එය රටේ ජනතාවට ද අදාළ නැත. මෙතෙක් කාලයක් රුපියල්වලින් ගනුදෙනු කළ මේ රටේ අමාත්‍යාංශ ඩොලර්වලින් ගනුදෙනු කරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවක් වාර්තා වූයේ ද නැත. එසේ නම් අමාත්‍යවරුන් මාධ්‍ය ඉදිරියේ ඩොලර් ප්‍රශ්න ඇදගෙන රටේ විදුලිය කප්පාදු කිරීම පිළිබඳ එකිනෙකාට අභියෝග කර ගැනීම ජනතාව දකිනු ඇත්තේ විහිළුවක් හැටියටය.

ගැටලු‍ව ඩොලර් නම් ඒ ගැටලු‍ව විසඳාගත යුත්තේ ජනතාව ඉදිරියේ නොව කැබිනට් මණ්ඩලය තුළදී බව පුන පුනා පැවසිය යුතු නැත. එසේ සිදු නොකර ජනතාව ඉදිරියට පැමිණ තමන්ගේ ප්‍රශ්න කතා කරනවා නම් එවැනි ඇමැතිවරුන් ඇමැති පදවි දරන්නේ කුමකටද යන්න ජනතාව ප්‍රශ්න කරනු ඇත. ඇමැතිවරුන් දෙදෙනා තෙල් ගැටලු‍ව ජනතාව ඉදිරියේ වෙන්දේසි කිරීම ප්‍රශ්නයෙන් පැන යාමක් හැටියට ද කෙනකුට දැකිය හැක. පසුගිය කාලය තුළදී රට තුළ උද්ගත වූ ප්‍රශ්න ගණනාවකදී සිදු වූයේ එයයි. ගෑස් පිපිරීම එයට එක් උදාහරණයක් පමණි.

මේ අතර මේ වසර පුරා තෙල් ආනයනය සඳහා ඩොලර් බිලියන 04ක් අවශ්‍ය බවට ගණන් බලා තිබේ. මේ බිලියන 04 සොයා ගැනීමට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද සඳහන් විය. විදුලිබල සහ ප්‍රවාහන ක්ෂේත්‍රවලට අඛණ්ඩව තෙල් සැපයුම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙසට තෙල් සංස්ථාව මගින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මේ සාකච්ඡාව කැඳවීමට හේතුව බවද ප්‍රකාශ වී තිබේ. එසේම තෙල් ආනයනය සඳහා ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 500ක ණය ආධාරය ඉහත කී ඩොලර් බිලියන 4ක මුදලට ඇතුළත් නොවන බවද සඳහන්ය.

තත්ත්වය මෙසේ නම් රටේ විදුලිය සැපයුම අන් සියල්ලටමත් වඩා ඩොලර් සැපයුම මත රැඳී ඇති බව තහවුරු වෙයි. කෙසේ වුවද මේ දිනවලදී සිදුවිය හැකිව තිබූ විදුලිය කප්පාදුව වරායේ තිබූ තෙල් නැව් දෙකක් නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව මගින් ඩොලර් මුදාහැරීම නිසා දින කිහිපයකට අවශ්‍ය තෙල් තොග රටට ලැබීම හේතුවෙන් වැළකී ගිය බවද වාර්තා විය.

එහෙත් මෙය තාවකාලික ප්‍රතිකර්මයක් පමණි. රටට තෙල් ගොඩබාන තුරු විදුලිය කැපීමක් සිදුවේද නැද්ද යන්න අවිනිශ්චිත නම් රටේ සෙසු කටයුතු ද අවිනිශ්චිත තත්ත්වයකට වැටීම වළක්වාගත නොහැක. රටේ කර්මාන්ත, සංචාරක හෝටල්, කාර්යාල, මේ සියල්ලම ඊළඟ තෙල් නැව බානතුරු බකංනිලාගෙන සිටින තත්ත්වයකට පත්වීමට හේතු සාධක කවරේදැයි වහාම සොයා බැලිය යුතුය. ඒ වෙනුවට අමාත්‍යවරුන් අතර සිදුවන වාද විවාද ජනතාවට ඇසෙන්නට දකින්නට සැලැස්වීමෙන් පලක් නැත. ඒවා ජනතාව අතරට යාමෙන් සිදුවනු ඇත්තේ ඔවුන්ගේ කෝපය, කලකිරීම සහ අසහනය තවත් වැඩිවීම පමණි.

රටේ විදුලිය උත්පාදනය තවදුරටත් ඊළඟ තෙල් නැව එනතුරු බලා සිටීමේ ප්‍රතිපත්තියෙන් වහාම බැහැර විය යුතුය. ඒ ගැටලු‍වට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩලය තුළ විධිමත් සාකච්ඡාවක් සිදුවිය යුතුය. ජනතාව දැනගත යුත්තේ ඒ ගැටලු‍ව විසඳීමට ගනු ලබන සැබෑ ක්‍රියාමාර්ගය කුමක්ද යන්න මිස අමාත්‍යවරුන්ගේ වාද විවාද පිළිබඳ තොරතුරු නොවන බව කිව යුතුය.



අදහස් (0)

ඇමැතිවරුන්ගේ කාරිය ජනතා ප්‍රශ්න විසඳීම මිස දුක කීම නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site