IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ආර්ථික පැවැත්මට රටම වැසිය යුතුද?


ජීවිත තර්ජන එල්ල කර තිබෙන කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීම සඳහා අර්ධ සීමා පනවන්නේ ද නැතිනම් වරින්වර ලිහිල් කර සීමා පනවන්නේ ද නැතිනම් දින 14ක අඛණ්ඩව ක්‍රියාත්මක වන ලොක්ඩවුන් සීමාවලට යන්නේ ද යන්න මේ වනවිට තිබෙන දැවෙන ප්‍රශ්නයයි.

වත්මන් උපාය මාර්ගය
මෙම ලිපිය ලියැවෙන මොහොත වනවිට ආණ්ඩුව ඇතැම් ආර්ථික කටයුතු සීමා කර තිබෙන අතර අත්‍යවශ්‍ය නිෂ්පාදන සහ සේවා පවත්වාගෙන යයි.

එවැනි උපායමාර්ගයක් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්වේද යන්න දැන ගැනීමට හැකියාව ලැබෙන්නේ කාලයත් සමඟය. නව කොරෝනා වයිරසය පාලනය කිරීමට නම් දින 14ක සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමක් අත්‍යවශ්‍ය බව වෛද්‍ය උපදේශය වී තිබේ.

දැනට පනවා තිබෙන සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමකට සමාන දැඩි සීමා ජූනි 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය. වෛද්‍ය සංගම්වල ඉල්ලීම මත තවදුරටත් සීමා පැනවීමේ වැඩි ඉඩ කඩක් ද තිබේ.  

මතබේදය
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඇති වූ මතබේදය ද නව කොරෝනා වයිරසය පාලනය කිරීමට දී තිබූ අවධානය අඩු වීමට හේතු විය. එහෙත් නව කොරෝනා වයිරසය අතුගා දැමීම සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැත. කෙසේ නමුත් එසේ කිරීමෙන් ආර්ථිකයට බලපෑම් සිදුවන බව සිහි තබා ගත යුතු ය.

පරස්පර මත
ආර්ථික කටයුතු පවත්වාගෙන යා යුතු තහවුරු කිරීම ආණ්ඩුවේ මතය වී තිබේ. කොරෝනා වසංගතය පාලනයට නම් දින 14ක් ලොක්ඩවුන් සීමා පැනවිය යුතු යැයි වෛද්‍ය මතය වී තිබේ. මෙම මත සෘජුවම එකිනෙකට පරස්පරය. සම්පූර්ණ ලොක් ඩවුන් කිරීමකට යෑමෙන් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වන බවත් දුප්පත් ජනතාවට දරුණු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවටත් ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් පෙන්වා‌ දී ඇත.

ආර්ථිකය
ආර්ථිකයට බලපෑම් සිදුවන බවට විවාදයක් නොමැත. ආර්ථිකය දැනටත් තිබෙන්නේ දුර්වල මට්ටමක ය. විශේෂයෙන්ම විදේශ මූල්‍ය අංශය, අපනයන ඇණවුම් ඉලක්කවලට ළඟා වීමට නොහැකි වීම, වෙළෙඳ ශේෂයට එල්ල වන දරුණු බලපෑමකි. සම්පූර්ණ ලොක්ඩවුන් සීමා පැනවීමෙන් සමාජයේ සිටින දුප්පත්ම ජනතාව දරුණු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම එවැනි සීමා හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග සහ ජීවනෝපය අහිමි වී යනු ඇත. මෙරට ජනගහනයෙන් අති විශාල පිරිසක් අවිධිමත් රැකියාවල නිරත වී සිටිති. ඔවුන්ගෙන් බොහෝදෙනා දෛනික වැටුප් උපයන රැකියාවල නිරත වන අතර ඔවුන් සතුව ඉතිරි කිරීම් නොමැත. මේ හේතුවෙන් ඔවුන්ට දරුණු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත.
 
වෛද්‍ය මතය
මෙම කරුණු සියල්ලම අප හොඳින් දන්නා එහෙත් මතබේදාත්මක ඒවාය. වේගයෙන් පැතිර යන වයිරස වසංගතය පාලනය කරන ආකාරයත් සමඟ මෙම මතබේද ඇති විය. නව කොරෝනා වයිරස වසංගතයේ තෙවැනි හෝ සිවුවැනි රැල්ල පාලනය කළ හැක්කේ රට (රටවල්) සති දෙකක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමෙන් පමණක් යැයි මෙරට මෙන්ම ලොවපුරා සිටින වෛද්‍යවරුන්ගේ/විශේෂඥයන්ගේ මතය වී තිබේ. වෛද්‍ය/සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්ගේ/කීර්තිමත් විශේෂඥයන්ගේ මෙන්ම මෙරට වෛද්‍ය සංගම් හතරක මතය වී තිබෙන්නේ ද එයයි. ජනගහනයෙන් විශාල පිරිසකට කඩිනමින් එන්නත් ලබා දීමට රටට ඇති නොහැකියාව දෙස බැලූ විට ලොක්ඩවුන් කිරීමේ උපාය මාර්ගය බෙහෙවින් අදාළ වේ.

ජාත්‍යන්තර අත්දැකීම
වයිරසය පාලනය කිරීමේදී සාර්ථකත්වයට පත්ව ඇත්තේ සම්පූර්ණ ලොක්ඩවුන් කිරීම පැනවූ සහ සිය දේශ සීමා වසා දැමූ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල් ය. වියට්නාමය, දකුණු කොරියාව, තායිවානය සහ සිංගප්පූරුව වැන රටවල් ද දැඩි සීමා, වගකීම් සහගත සමාජ හැසිරීම සහ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම නිසා වයිරසය පාලනය කිරීමේ දී සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.

එසේ වුවත් එම රටවලින් ද විවිධ අවස්ථාවල දී ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වූ අතර ඒ සෑම අවස්ථාවකදීම එම රටවල් නැවත වරක් දැඩි සීමා පැනවීය. මෙම වසංගතය එතරම් උග්‍ර ය.

පූර්ව කොන්දේසි
ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමටත් බාධාවකින් තොරවා ඒවා පවත්වාගෙන යෑමටත් කොරෝනා වයිරස වසංගතය තුරන් කළ යුතු ය. එය පූර්ව කොන්දේසියක් වන අතර ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නොමැත. විශේෂයෙන්ම නිෂ්පාදන සහ අපනයන සඳහා වයිරස වසංගතය තුරන් කිරීම පූර්ව කොන්දේසියකි. අපනයන ඉලක්කවලට ගමන් කිරීමට නොහැකි වීමත් විශේෂයෙන්ම විදේශ මූල්‍ය අංශයේ තිබෙන අර්බුදයත් වෙළෙඳ ශේෂයට දරුණු තර්ජනයකි. ආර්ථිකය තිබෙන්නේ දුර්වල තත්ත්වයක ය. වසංගතයෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අති විශාල ය.
රටේ දුප්පත්ම ජනතාවට සිදුවන බලපෑම සුළුපටු නොවේ. වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන්ට සිය ආදායම් මාර්ග/ජීවනෝපාය අහිමි වී තිබේ. මෙරට ජනගහනයෙන් බොහෝ දෙනා දෛනික වැටුප් ලබන්නන් වන අතර ඔවුහු අවිධිමත් රැකියාවල නිරත වෙති. වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී තිබෙන අතර ලොක්ඩවුන් සීමා පැනවුවහොත් ඔවුන් තවදුරටත් අමාරුවේ වැටෙනු ඇත.

මේ නිසා ජනතාවගේ කුසගින්න නිවීමටත්, අනෙක් දරුණු දුෂ්කරතා මඟහැරවීමටත් ආණ්ඩුව මැදිහත් විය යුතු ය. ඊට අමතරව විවිධ ප්‍රජාවලින් ද ඔවුන් සහාය සහ සහනය හිමිවිය යුතු ය.

රාජ්‍ය මූල්‍ය
අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා සහ පහසුකම් පුළුල් කිරීමට අරමුදල් සැපයීමට නොහැකි තත්ත්වයකට රාජ්‍ය මූල්‍ය තත්ත්වය වැටී ඇත. තනි තනි පුද්ගලයන්, ආගමික සංවිධාන, ව්‍යාපාර සහ ප්‍රජා සංවිධානවලින් පසුගිය කාලයේ විවිධ පරිත්‍යාග සිදු කෙරුණි.

විකල්ප උපායමාර්ග
ආර්ථිකය වසා දැමීමටත් අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන ඒකක පමණක් ක්‍රියාත්මක වන අයුරින් ආර්ථික කටයුතු පවත්වාගෙන යෑමටත් ආණ්ඩුව මේ වනවිට පියවර ගෙන ඇත. මේ ක්‍රමය සාර්ථක වනු ඇත්ද යන්න කිව හැක්කේ කාලය ගතවීමත් සමඟ ය.

මෙම දැඩි සීමා පැනවීමට පෙර අපනයන නිෂ්පාදන, විශේෂයෙන්ම ඇඟලු‍ම් නිෂ්පාදනවලට බාධා එල්ල වන බව පෙනෙන්නට තිබිණි. අනෙක් අතට මෙරට ප්‍රධාන ඇඟලු‍ම් නිෂ්පාදකයන් ඔවුන්ගේ කර්මාන්තශාලා වසා දමා ඇත.

අවසාන වශයෙන්
සියලු‍ කරුණු සැලකිල්ලට ගැනීමේ දී කොරෝනා වසංගතය රටින් තුරන් කළ යුතු බවට කිසිදු විවාදයක් නැත. එහෙත් එය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් බොහෝ මතභේද ඇති වී තිබේ. ආණ්ඩුව, වෛද්‍ය මතයට පරස්පර මතයක් දරමින් ආර්ථික කටයුතු පවත්වාගෙන යා යුතු යන දැඩි ස්ථාවරයේ පසුවෙයි. කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීමට නම් දින 14ක සම්පූර්ණ ලොක්ඩවුන් සීමා පැනවිය යුතු යන්න වෛද්‍ය මතය වී තිබේ. මේ ස්ථාවරය සම්බන්ධයෙන් මතබේද ඇති වී තිබෙන අතර බොහෝ විට දින 14කලොක්ඩවුන් සීමා පැනවෙනු ඇත.

රටේ ආර්ථිකයට මෙන්ම රටේ ජනතාවගේ ජීවිත පවත්වාගෙන යෑමට නම් කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීම අත්‍යවශ්‍ය සහ අනිවාර්ය වේ. ආර්ථිකය නිසි පරිදි ක්‍රියාත්මක විය හැක්කේ කොරෝනාවලින් තොර පරිසරයක පමණි. ඒ නිසා ජාතික ප්‍රමුඛතාව විය යුත්තේ වයිරසය පාලනය කිරීමත්, ලොක්ඩවුන් සීම හේතුවෙන් පීඩාවට පත් දුප්පතුන්ට, රැකියා අහිමිවූවන්ට සහ අනෙක් පාර්ශවවලට සහන සැලසීමත් ය. දැනට පනවා ඇති සීමා වයිරසය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන්නේ  නම් සම්පූර්ණ ලොක්ඩවුන් සීමා පැනවීම අත්‍යවශ්‍ය සහ අනිවාර්ය වේ.

අපගේත් ලෝකයේත් ජීවිතවලට තර්ජනයක් වී තිබෙන කොරෝනා  වයිරස වසංගතය තුරන් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඉතාම ඉක්මනින් ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අපි බලාපොරොත්තු තබමු.

 

(***)
ආචාර්ය - නිමල් සඳරත්න විසිනි
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා



අදහස් (0)

ආර්ථික පැවැත්මට රටම වැසිය යුතුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site