IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අසුබ වපුරන මිථ්‍යාව

නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේතුවෙන් අද වනවිට රට විනාශ වී ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණ කියයි. ළඟ එන ජනාධිපතිවරණ සටනේදී එම පක්ෂයේ ප්‍රධාන තේමා පාඨය වී ඇත්තේ මාරුවෙන් මාරුවට රට පාලනය කළ එම පක්ෂවලට රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි වී ඇති බැවින් මෙවර වෙනසක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ පත්කර ගත යුතුය යන්නය.

කෝවිඩ් යුගයේදී මහා බ්‍රිත්‍යානය වෙනත් යුරෝපා රටවලට වඩා අතිවිශාල ආර්ථික පීඩනයකට ගොදුරු විය. කෝවිඩ් එන්නත විදගැනීම සම්බන්ධයෙන් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට එරට වැසියන්ට සිදුවිය. ඇමරිකා එක්සත් ජනපදය පශ්චාත් කෝවිඩ් යුගයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. එසේ වුවද එම රටවල මහජනතාව මුහුණදුන් එම අර්බුදවලට හේතුව එම රටවල පවතින බලය මාරුවන පක්ෂ ක්‍රමය යැයි එරටවල වැසියන් කවදා හෝ මැසිවිලි නැගූ බවක් අසන්නට නොලැබේ. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ ආරක්ෂකයන් ලෙස සැලකෙන මෙම රටවල් දෙකේ පක්ෂ දේශපාලන ක්‍රමය තවත් බොහෝ කලක් යනතුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම රටවල ද්විපාක්ෂික ක්‍රමය මහජනතාව විසින් ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇත.

ශ්‍රී ලංකාව කෝවිඩ් අර්බුදයට මුහුණදීමට පෙර බොහෝ අර්බුදවලට මුහුණ දුන්නේය. වරින්වර ජල ගැලීම්, කුණාටු, නියඟ, රෝගාබාධ ආදියට මුහුණ දුන්නේය. තවමත් මහජනතාවගේ මතකයෙන් ගිලිහී නොගිය අති බිහිසුණු අර්බුද දෙකක් වන්නේ සුනාමි අර්බුදය සහ කෝවිඩ් අර්බුදයයි. කෝවිඩ් අර්බුදයෙන් පසු රටට මුහුණදීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයටයි. මේවා ඇතිව තිබෙන්නේ මාරුවෙන් මාරුවට රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකේ අසාර්ථකභාවය නිසා යැයි කෙනකුට තර්ක කළ හැකි වුවද ඒවා පිළිගත හැකි වන්නේ ඒ සඳහා එම මතාන්තර තාර්කික බවකින් ගොඩනැගී ඇත්නම් පමණි.

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ සිට අද දක්වාම අඛණ්ඩව ඡන්ද බලයෙන් පාලනය මාරු කරන දකුණු ආසියාවේ එකම ප්‍රධාන රට ශ්‍රී ලංකාව වේ. විපක්ෂය මුළුමනින්ම මර්දනය කර, නායකයන් බන්ධනාගාර ගතකර පාලනය වෙනස් කළ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නොවීය. හමුදා කුමන්ත්‍රණ, ජනපති අගමැති ඝාතන ආදිය සිදු වුවද, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවිය. එම ක්‍රමය විනාශ කිරීමට කොටි ත්‍රස්තවාදීන් වසර 30 ක් සටන් කළ ද ජනතා විමුක්ති පෙරමුණ කැරලි 02 ක් මෙහෙය වුවද රාජ්‍ය බලය පැහැර ගැනීමට ඔවුන්ට නොහැකි විය. පාලකයන් තේරීමේ ජනතාව සතු බලය අඛණ්ඩව ආරක්ෂා වී තිබේ. එසේ කැරලි ගැසූ උතුරේ දේශපාලන පක්ෂවලටත්, ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ බොහෝ රටවලට වඩා ඉහළ තත්වයක පැවැති බවත්, අද වනවිට ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පැවැති බොහෝ රටවල් විශාල දියුණුවක් ලබා ඇති බවත්, ශ්‍රී ලංකාව ඒවා හා සසඳන කල විශාල පසුබැස්මකට ලක්ව ඇති බවත්, සමහරු ප්‍රකාශ කරති. තවත් සමහරුන්ගේ මතය වන්නේ ඉංග්‍රීසීන් නිදහස ලබාදෙන විට ශ්‍රී ලංකාව කිසිඳු ණයක් නොතිබු රටක්ව පැවැති බවත් දැන් විශාල වශයෙන් ණය ලබා ඇති රටක් බවට පත්ව ඇති බවය. මෙවැනි ප්‍රකාශවල නිවැරදිභාවය පරීක්ෂා කළහැකි වන්නේ ගතවූ වසර 76 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති වෙනස්කම් සහ වර්තමාන ආර්ථික හා සමාජ ප්‍රවණතා පරීක්ෂා කිරීමෙන් පමණකි. එසේම එම වෙනස්කම් අපේ අසල්වැසි රටවල් හා අප හට සමාන තත්වයක සිටින තුන්වැනි ලෝකයේ වෙනත් රටවල් හා සැසදීම මගිනි.

කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නිදහසින් පසු බලයට පත් සෑම දේශපාලන පක්ෂයක්ම කටයුතු කළේය. රටපුරා අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම නිසා සෑම ප්‍රදේශයකම දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි විය. නිදහස ලබන විට රටේ පැවැතියේ එක විශ්ව විද්‍යාලයක් පමණි. අද 18 කි. ඒ අයුරින්ම රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ද අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා බලයට පැමිණි දේශපාලන පක්ෂ කටයුතු කළේය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රට නව මාවතකට යොමු කරනු ලැබීය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, නිදහස් වෙළෙඳ කලාප ආදිය ඔස්සේ රට ගොඩනැගූ අතර, එම සංවර්ධනය නව ගුවන් තොටුපොළ, වරාය, අධිවේගී මාර්ග ආදිය ඔස්සේ අඛණ්ඩව ගලා ගියේය.

ගතවු වසර 76 ක කාලය තුළ සිදුව ඇති ආර්ථික හා සමාජීය වෙනස්කම් මගින් අප කිසියම් හෝ දියුණුවක් ලබාගෙන ඇත්තේද යන්නත් එසේ නැත්නම් සියඹලා ගෙනැවිත් තිබුණේම නැද්ද යන්නත් පිළිබඳව අපට අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. ශ්‍රී ලංකාව පිළිබඳව සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත්වීම ආරම්භ වුයේ 1950 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුවය. 1950 වසරේදී වාර්ෂික මරණ අනුපාතය 1000 කට 12.6 ක් විය. එහෙත් පූර්ව කෝවිඩ් අවදිය ලෙස සැලකිය හැකි 2020 දී එය 1000 කට 6 ක් විය. අපගේ මරණ අනුපාතිකය විශාල ලෙස අඩුකර ගැනීමට අපට හැකිවිය. නිදහස ලැබීමෙන් පසු පැවැති පළමු සංගණනය වන 1952 සංගණනය අනුව එම වසරේදී රටේ මහජනතාවගේ ආයු අපේක්ෂාව වසර 56.6 ක් විය. 2012 වසරේ සංඛ්‍යා දත්ත අනුව රටේ ආයු අපේක්ෂාව අවුරුදු 75.3 ක් වේ. 1953 වසරේදී ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම සියයට 69 ක් විය. 2020 දී එය සියයට 93 ක් විය. මිනිස් ජීවිතය පිළිබඳ මේ වෙනස්කම් සියල්ල දකුණු ආසියානු රටවල් හා සැසඳීමේදී අප ඉහළම මට්ටමක සිටින බව පැහැදිලිය. එසේම ලෝකයේ බොහෝ රටවල තත්වයට වඩා අප ඉහළ මට්ටමක සිටින බවද පැහැදිලි වේ. 2021 වසරේදී මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් 191 ක් අතුරින් ශ්‍රී ලංකාව 77 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

1959 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 140ක් විය. ආර්ථික අර්බුදයෙන් පසු 2020 වසරේදී එය ඩොලර් 3474 ක් විය. රටේ ආදායම් මට්ටම මෙන්ම ජනතාවගේ ආදායම් මට්ටමද විශාල වෙනසකට බඳුන්ව ඇති බව ද එම තත්වයෙන් පැහැදිලි වේ. රටේ වැඩිම සේවා වියුක්ති මට්ටමක් පෙන්නුම් කළේ 1975 වසරේදීය. එය සියයට 19.7 ක් විය. එහෙත් 2022 වනවිට එය සියයට 4.7දක්වා පහළ වැටී තිබේ. 1950 වසරේදී රටේ මුළු අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 296.5 ක් විය. 2022 දී මුළු අපනයන ප්‍රමාණය ඩොලර් 13,106 කි.

පසුගිය 76 වසරක කාලය තුළ පාලන බලය හිමි දේශපාලන පක්ෂ වරින්වර මාරු වුවද, නිදහස ලබන අවස්ථාවේ පැවැති තත්වයට වඩා ඉතා ඉහළ තත්වයක් අද වනවිට ළඟාකර ගෙන ඇති බව එම තොරතුරු වලින් පැහැදිලි වේ. එසේ වුවද එම තත්වය ළඟාකර ගන්නා ලද්දේ රට වෙනත් ප්‍රශ්නවලට ද මුහුණ දී සිටි යුගයකදී බව පෙනී යනු ඇත. නිදහසින් පසු 2009 වසර දක්වා කාලය තුළ වසර 30 ක් රට ජනවාර්ගික අර්බුදය හේතුවෙන් සිවිල් යුද්ධයකට ගොදුරු වී සිටියේය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හේතුවෙන් රටට මිනිස් ජීවිත ද, සම්පත් ද විශාල ප්‍රමාණයක් අහිමි විය. 1987 න් පසු කාලපරිච්ඡේදය තුළ උතුරේදී එල්ටීටීඊ ත්‍රස්තවාදයටද, දකුණේදී ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට ද රටට මුහුණදීමට සිදුවිය. ඉන් වසර කීපයකට පසු සුනාමියට ද, ඉන් වසර කීපයකට පසු කෝවිඩ් ව්‍යවසනයටද, අද වනවිට ආර්ථික අර්බුදයට ද මුහුණදීමට සිදුවිය. මේ සියල්ල තිබියදී දකුණු ආසියාවේ සියලු‍ම රටවල් අභිබවා යන ආකාරයේ ආර්ථික වර්ධනයක් ද සංවර්ධනයක් ද ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

වසර 76 ක් තුළ රටේ සංවර්ධනයක් සිදුවී නැතැයි ද එයට හේතුවී ඇත්තේ පක්ෂ දෙකක් පමණක් රට පාලනය කිරීම යැයි ද ප්‍රකාශ කරන පක්ෂවලට එසේ ප්‍රකාශ කිරීමට අයිතියක් තිබේද යන්නද අප විසින් පරීක්ෂා කළ යුතුව ඇත. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර වසර දෙකක් ඉක්ම යන්නට පෙර පැවැත් වූ ප්‍රථම මැතිවරණය වූ 1970 මැතිවරණයේදී එම පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කළේය. මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත්කිරීම සඳහා ජේ.ආර්. සමග ගිවිසුම් ගතව සිටි බවයි.

1989 දී ඡන්දය දුන් අයගේ අත්කපා දැමීමට තර්ජනය කර තිබුණ ද එම පක්ෂය ආර්. ප්‍රේමදාස මහතා බලයට ගෙන ඒම සඳහා උර දුන්නේය. ඉන්පසු වරින්වර ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට සහාය දීමේ ප්‍රතිපත්තියකට එම පක්ෂය පිවිස තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන්ට බලයට පත්වීම සඳහා වරින් වර ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන් ආකාරය යළි මතක් කළ යුතුව නැත. එම ඉතිහාසය පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ 1970 සිට 2019 දක්වා වසර 49 ක කාල පරිච්ඡේදයක් ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂ දෙකෙන් එකක් බලයට පත්කිරීම සඳහා කටයුතු කර ඇති බවය. ඒ අනුව රටේ ආර්ථිකය අද පවත්නා අර්බුදයට මුහුණදී ඇත්තේ බලයට පත්වූ දේශපාලන පක්ෂවල අසාර්ථකත්වය යැයි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනාව සත්‍යයක් නම් එහි වැඩිම වගකීමක් පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බව ඉන් පැහැදිලි වේ.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (10)

අසුබ වපුරන මිථ්‍යාව

Ayesh Indunil Wednesday, 27 March 2024 12:19 PM

රනිල්ට කඩේ යන මහාචාර්ය කෙනෙක්

:       58       24

Amila Wednesday, 27 March 2024 07:08 PM

වෙන්න පුළුවන්, ඒත් කියලා තියෙන දේ සම්පූර්ණ ඇත්ත...

:       9       66

HD Wednesday, 27 March 2024 01:24 PM

ජ.වි.පෙ. කැරලිවලට හේතුවත් මෙම ලිපියේ අන්තර්ගතයට ඇතුළත් වුණා නම්...!

:       52       19

Amila Wednesday, 27 March 2024 07:11 PM

1 වන කැරැල්ල - බලය ලබා ගැනීමේ අරමුණ පමණයි. 2 වන කැරැල්ල - ඉන්දීය විරෝධය අවුලා බලයට ඒම

:       8       51

Menaka Wednesday, 27 March 2024 04:43 PM

හොඳ විග්‍රහයක්, මේකට තව එකතු වෙන්න කාරණා තියෙනවා. ජවිපෙත් සන්ධාන ආණ්ඩුවේ ඇමැතිකම් දැරුව බව මතක් කරලා දෙන්න ඕනේ... පරිවාස ආණ්ඩුවේ කොටස් කාරයෝ වෙලා හිටියා කියලා මතක් කරලා දෙන්න ඕනේ... ඒ කියන්නේ ජවිපෙ පසුගිය 76 වසර තුළ සෘජුවම ආණ්ඩුකරණයට දායක වූ අවස්ථා දෙකක්. කෙප්ප ඇදබාලා ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඊට අමතරව අන්තර් සමාගම් සේවක සන්ගමය හරහා වැඩවර්ජන උද්ඝෝෂණ කරලා ජවිපෙ රටට කරපු පාඩුව මොනතරම්ද? ඒ නිසා ආයෝජකයෝ කී දෙනෙක් ආපසු ගිහින් තියෙනවාද? රට හදන්න කථා කරන ජවිපෙ, රජයේ ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කරනවාට පවා විරුද්ධව වැඩ වර්ජනය කළා. ඉතින් කොහොමද රටක් හදන්නේ. ඉතින් මේ රට මේ තැනට වැටෙන්න ජවිපෙත් ඉතා ඉහළ දායකත්වයක් දීලා තියෙන බව පැහැදිලිව පේනවා.

:       11       77

රසූල් වික්‍රමනායක Wednesday, 27 March 2024 10:32 PM

තිත්ත වුනත් ඇත්ත මේක තමයි. අනෙක් දේශපාලන පක්‍ෂ, සමහර රජයේ උසස් නිලධාරීන්, බදු වංචා කළ ව්‍යාපාරිකයින් වගේම එල්ටීටීඊ, ජවිපේ වැනි සංවිධානත් මේ රටට සිද්ධ වුණු විනාශයට වග කියන්න ඕනෑ.

:       6       62

සඳුන් බස්නායක Wednesday, 27 March 2024 10:39 PM

කවුරු ලිව්වත් වැදගත් වෙන්නේ ලිපියේ තියෙන අන්තර්ගතයයි. යම් පක්ෂග්‍රාහී බවක් පේන්න තිබුණත් සඳහන් කරලා තියන කරුණු නම් ඇත්ත...!

:       7       54

චන්දිම Thursday, 28 March 2024 05:59 PM

ඇමෙරිකාව බ්‍රිතාන්‍ය යන රටවල දේශපාලකයෙක් වරදක් කලොත් මුලින්ම එරෙහිවෙලා හඬ නගන්නෙත් එළවා දමන්න මුල් වන්නේත් විපක්ෂය නොව එම පක්ෂයේම සාමාජිකයින්මයි. ඒ නිසා ඒ රටවල ජනතාවට ඒ ඒ පක්ෂ ගැන අප රටේ වගේ තත්වයක් නැහැ. අප රටේ දැක්කා නේද සමහර විශ්වාස භංග වලදී කට්ටිය ඡන්දෙ දාපු හැටි. පියාගෙන් පුතාට පක්ෂයේ තනතුරු සමග රටේ පාලනය භාර කරන්න දඟලන විදිය පේන්නේ නැද්ද? අපේ රටේ දියුණුව විනාශ කරපු දුෂණ වංචා දහස් ගණනක් ඔබට පේන්නේ නැද්ද? විදේශ ණය අරගෙන කරපු ව්‍යාපෘති වලට අවසානයේ වුනේ මොකද්ද කියලා පසු සමාලෝචනයක් වෙනවාද? සිය ගානක් අතරින් එකම එක උදාහරණයක් අහන්නම්. ඩොලර් මිලියන 320ක් යොදවලා කරපු සුප්‍රීම් සැට් ව්‍යාපෘතියට මොකද වුනේ? කවුරුත් අහන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. කට්ටියක් ණය අරගෙන බාගෙට හදපු වරාය අනිත් කෙනා ඇවිත් විකුණලා දැම්මා. සල්ලිවලට වෙච්චි දෙයක් නැහැ. රටේ භූමියත් වෙන රටකට අයිති වුණා. නය වාරිකය අනාගත් දරුවන්ගේ කරට. ඔය වැඩිහිටි වයස් ගත දේසපාලකයින්ට රටේ සම්පත් කළමනාකරණය කරලා ආදායම් උපයලා රට නංවන්න දැක්මක් නැහැ. ඔවුන් දන්නා එකම දේ ණය ගන්න එකයි ඔහේ වියදම් කරන එකයි, ඊට පස්සේ ගෙඩි පිටින් විකුණලා දාන එකයි විතරයි.

:       37       24

Ranjith Friday, 29 March 2024 11:12 AM

අතීතයේ නිශ්චිත දේශපාලන කරුණු, සංධිස්ථාන අමතක කරමින් තමන් තෝරාගත් බල ව්‍යපෘතිය (රට තවදුරටත් වට්ටන) ජයග්‍රහණය කිරීම පමණක් අරමුණ කොටගෙන පැල කරන්න හදන මතවාද...

:       40       8

wimal Monday, 01 April 2024 08:29 AM

උගත්කම කඩේට විකුණන මේ වගේ අයත් තාම ඉන්නවා.

:       26       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 63 0

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 20 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 460 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 119 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 757 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 338 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 352 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1736 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site