IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


අයවැයට කෘෂි අංශය අමතකවීද ?

වසර 2024 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය විශ්ලේෂණය කර බැලීමේදී පැහැදිලි වන කාරණා කිහිපයක් තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂයට අදාළව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ, ඊට පෙර වසරේ අවසාන කාර්තුවේදීය. නිදසුනක් ලෙස, 2024 අයවැය ඉදිරිපත් කළේ 2023 වර්ෂයේ අගභාගයේ දීය. එහිදී 2023 වසරේ සමස්ත ආර්ථික කටයුතුවලට අදාළ සත්‍ය දත්ත අප සතුව නැති අතර, ඒ වෙනුවට තිබෙන්නේ නිමානකයන්ය.

2023 සහ 2024 වර්ෂවලට අදාළ නිවැරැදි දත්ත ලැබෙන්නේ වසර දෙකකට පසුවය. මේ පසුබිමේ සිට අයවැය විමසන විට පැහැදිලි වන්නේ, පසුගිය වසර පහක කාලයේදී රජයේ ආදායම් නිමානක නිතරම රුපියල් බිලියන 300ත් 500ත් අතර අඩු අගයක පැවැති බවය (එනම්, පුරෝකථනය කරන ලද ආදායමට වඩා අඩු ආදායමක් උපයා ඇති බවය). රාජ්‍ය ආදායම්, අයවැයෙන් පුරෝකථනය කරන මට්ටමට වඩා අඩු අගයක පවතී.

2019 අයවැයෙන් පුරෝකථනය කරන ලද ආදායමට වඩා රජයට ලැබී තිබෙන්නේ රුපියල් බිලියන 560ක් අඩුවෙනි.

2020 දී එම අඩුව වාර්තා වූයේ, රුපියල් බිලියන 212කි. 2021 රුපියල් බිලියන 562කි. 2022 දී රුපියල් බිලියන 295ක ආදායම් පහළ යෑමක් පෙන්නුම් කළේය. 2023 වසරේ රජයේ තථ්‍ය ආදායම කොපමණ ද යන්න ගැන නිවැරැදි දත්ත අප සතුව නොමැත. කෙසේ වුව ද, මේ වසරේදී ඇස්තමේන්තුගත ආදායමට වඩා රුපියල් බිලියන 560කට ආසන්න අගයකින් රජයේ ආදායම් අඩු වීමට පිළිවන.

රජයේ ආදායම්වලින් සියයට 93ක් පමණ ලැබෙන්නේ බදුවලිනි. රජයේ ආදායම් ඇස්තමේන්තුගත අගයට වඩා අඛණ්ඩව අඩු මට්ටම්වලින් ලැබී තිබෙන්නේ බදු ආදායම් පහළ යෑම හේතුවෙනි.

2022 දී රජයේ ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 1,987කි. එහෙත්, එම වසරේදී රජයට බදු ආදායම වශයෙන් ලැබී තිබුණේ, රුපියල් බිලියන 1,751කි.

අයවැය ලේඛන සකස් කරන අයට රජයේ ආදායම් නිශ්චිත ලෙස නිමානය කිරීමට නොහැකි බව මෙයින් පැහැදිලි වේ. එය හොඳ තත්ත්වයක් නොවේ. මෙපරිදි අඛණ්ඩව රාජ්‍ය ආදායම් පහළ යෑම අයවැය හිඟය, ආදායම් අතිරික්තය, මූලික ශේෂයේ හිඟය මේ ආදියට ඍණාත්මක ලෙස බලපාන්නට පිළිවන.

ශ්‍රී ලංකාවේ බදු ආදායම් ජනනය වන්නේ, ප්‍රධාන ක්‍රම තුනකටය. ආදායම් බදු, භාණ්ඩ හා සේවා බදු සහ විදේශ වෙළෙඳාම මත බදු යනු ඒවාය. 2022 දී රජයේ සමස්ත බදු ආදායමෙන් විදේශ වෙළෙඳාම මත බදු ආදායම් ප්‍රතිශතය දැක්වුණේ සියයට 23ක් වශයෙනි. එහෙත්, 2024 දී විදේශ වෙළෙඳාම මත අය කරන බදු ආදායම සියයට 13 දක්වා පහළ යෑමක් පෙන්නුම් කෙරේ. විදේශ වෙළෙඳාමට අදාළ බදු ක්‍රමයෙන් නිදහස් කිරීමක් සිදු වන බව මෙහි සරල අදහසයි. එසේ කිරීමෙන් රජයට අහිමි වන බදු ආදායම ගැන අවධානයක් යොමු වූ බවක් පෙනෙන්නට නැත.

වසර 2022 දී උපයන ලද සමස්ත බදු ආදායමෙන් භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදුවලින් උපයා ඇති ආදායම සියයට 52ක් පමණ විය. මේ අගය 2024 දී සියයට 59 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කරන බදුවලට තබන බර ඉහළ මට්ටමකට ගෙන ඒමක් එයින් බලාපොරොත්තු විය හැකිය. එමගින් රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල වැඩි වීමක් විය හැකිය. එය ආර්ථිකමය වශයෙන් හොඳ තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැකිය.

වර්ෂ 2022 දී උපයා ඇති රජයේ මුළු බදු ආදායමෙන් ආදායම් බදු දායකත්වය දැක්වුණේ සියයට 25ක් වශයෙනි. 2024 දී එම අගය සියයට 28 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාවයි. එහිදී ඉහළ ආදායම් උපයන්නන්ගෙන් වැඩි බදු ප්‍රතිශතයක් අය කෙරෙන බැවින්, දුප්පත් ජනතාවට දැඩි බලපෑමක් ඇති නොවේ. බදු පදනම පුළුල් කර ඉහළ ආදායමක් ඉපැයීම අරමුණු කරන්නේ නම් එය සාධනීය තත්ත්වයකි.

වසර 2023 දී රජයේ ආදායම් සියයට 43කින් පමණ එනම්, රුපියල් බිලියන 860කින් වැඩි කරගැනීමට රජය අපේක්ෂා කළේය. එහෙත්, එම ඉලක්කය වෙත ළඟා විය නොහැකි බව පැහැදිලිය. 2024 දී රජයේ ආදායම් රුපියල් බිලියන 1,288කින් පමණ වැඩි කරගැනීමට අපේක්ෂිතය. සියයට 45කින් පමණ රජයේ සමස්ත ආදායම ඉහළ නංවා ගැනීම රජයේ අරමුණයි. මේ ඉලක්කය කරා ළඟා වීමට නොහැකි වුවහොත්, එයින් අයවැය හිඟයට දැඩි බලපෑමක් එල්ල වීමට පිළිවන.

මීළඟට 2024 අයවැය ලේඛනයේ වියදම් පාර්ශ්වය ගැන අවධානය යොමු කළ හැකිය. පසුගිය කාලයේදී රාජ්‍ය වියදම්වල ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කෙරිණි. 2018 දී මුළු රාජ්‍ය වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,001ක් වශයෙනි. 2024 වන විට එය රුපියල් බිලියන 6,978 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. එහිදී වැඩි වශයෙන් ඉහළ නංවා තිබෙන්නේ වර්තන වියදම්ය.

2018 දී වර්තන වියදම් දැක්වුණේ රුපියල් බිලියන 2,250ක් ලෙසය. එහෙත්, 2024 සඳහා වර්තන වියදම් දක්වා තිබෙන්නේ රුපියල් බිලියන 5,277ක් වශයෙනි. මේ ආකාරයට වර්තන වියදම් ඉහළ අගයක් ගැනීම සක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට බාධාවකි. වර්තන වියදම් වෙනුවට වැඩි කළ යුත්තේ ප්‍රාග්ධන වියදම්ය. 2023 දී ප්‍රාග්ධන වියදම් හැටියට වෙන් කර තිබුණේ රුපියල් බිලියන 1,220කි. එසේ වුව ද, මේ දක්වා එයින් වියදම් කර තිබෙන්නේ භාගයක් පමණි. මෙවර අයවැයෙන් 2024 සඳහා වෙන් කර ඇති මුළු ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,701කි.

2024 අයවැය ලේඛනයේ සමස්ත වියදම්වලින් සියයට 76ක් වර්තන වියදම් සඳහාත්, සියයට 18ක් ප්‍රාග්ධන වියදම් සඳහාත් වෙන් කර තිබේ. බැංකු පද්ධතිය ප්‍රාග්ධනීකරණය කිරීම වෙනුවෙන් තවත් සියයට 6ක ප්‍රමාණයක් වෙන් කර ඇත.

2018 සහ 2019 වසරවලදී ආදායම් අතිරික්තයක් වාර්තා විය. ඒ අනුව, එය 2018 දී රුපියල් බිලියන 66ක් හා 2019 දී රුපියල් බිලියන 36ක් වශයෙන් වාර්තා විණි. එහෙත්, 2020 දී එය ඍණ බිලියන 865ක අවවර්ධනයක් වාර්තා කළේය. මේ අගය 2023 අග වන විට ඍණ බිලියන 1,201ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තව ද, 2024 දී මේ අගය ඍණ රුපියල් බිලියන 1,170ක මට්ටමකට ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

වැදගත්ම දෙය නම්, ප්‍රාථමික අතිරික්තයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් වන්නේ ද ප්‍රාථමික අතිරික්තයේ ධන තත්ත්වයක් පවත්වාගෙන යා යුතු බවය. රජයේ ණයවල පොලී ගෙවීම් අඩු කළ පසු ආදායම් වියදම් අතර යම් තුලනයක් තිබිය යුතුය යන්න මෙයින් අවධාරණය කෙරේ. 2018 දී රුපියල් බිලියන 145ක ධන ප්‍රාථමික අතිරික්තයක් වාර්තා විය. 2019 දීත් රුපියල් බිලියන 228ක ධන අගයක් වාර්තා විය.

එහෙත්, 2020 දී එය ඍණ රුපියල් බිලියන 400ක් විය. 2021 දී ඍණ රුපියල් බිලියන 750ක් වශයෙන් එය සටහන් වී තිබිණි. 2023 වර්ෂයේ මේ දක්වා එම අගය පවතින්නේ ඍණ රුපියල් බිලියන 211ක් වශයෙනි. 2024 දී ප්‍රාථමික අතිරික්තය ඍණ රුපියල් බිලියන 200ක් බවට ඇස්තමේන්තුගත කර තිබේ.

වැටුප් ගෙවීම් පිණිස වර්තන වියදම්වලින් සියයට 21ක් වැය කෙරේ. 2024 අයවැයෙන් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1,127කි. එහිදී ආරක්ෂක අංශයේ වැටුප් ගෙවීම සඳහා සියයට 33ක් වෙන් කර තිබීම කැපී පෙනේ. ආරක්ෂක අංශයේ වැටුප් බිල ඉහළ අගයක පවතින බව එයින් ගම්‍ය වේ. එසේම, අනෙකුත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් වෙනුවෙන් වර්තන වියදම්වලින් වෙන් කර තිබෙන්නේ සියයට 6කි. එයින් ද සියයට 54ක් වෙන් කර තිබෙන්නේ ආරක්ෂක අංශවලටය.

මේ අයවැයෙහි නව යෝජනා 85ක් පමණ අන්තර්ගතය. එයින් පළමු යෝජනා 17 විවිධ අංශ කෙරෙහි විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම, වැටුප් ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් වැඩි කිරීම ගැන අවධානය යොමු කර තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කිරීම හොඳ තත්ත්වයකි.

අධ්‍යාපනය පිළිබඳව යෝජනා දොළහක් මෙම අයවැයෙහි අන්තර්ගතය. එහෙත්, ඒ සියලු යෝජනාවලට වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 3.39කි. එය රජයේ මුළු වියදමින් සියයට 0.048කි. එය සාධනීය තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැකිය. යෝජනා අංක 30 සිට 35 දක්වා තිබෙන්නේ සෞඛ්‍යයට අදාළ ඒවාය. එහි යෝජනා හයක් තිබුණ ද මුදල් වෙන් කර තිබෙන්නේ තුනක් සඳහා පමණි. එසේ වෙන් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 500ක් පමණ වේ. එය රජයේ මුළු වියදමින් සියයට 0.007කි. මෙය ද සතුටු විය හැකි තත්ත්වයක් නොවේ.

යෝජනා අංක 36 සිට 39 දක්වා පැහැදිලි කර තිබෙන්නේ කෘෂිකර්මාන්තයට අදාළව කළ යුතු ප්‍රතිසංස්කරණ ගැනය. ඒ යටතේ ප්‍රතිසංස්කරණ හතරක් දක්වා තිබුණ ද වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 3.2කි. එය සමස්ත වියදමේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.045කි. මේ යෝජනා අතර යම් සාධනීය ඒවා තිබුණ ද කඩාවැටුණු කෘෂි අංශය නගාසිටුවීමට අදාළ වැඩපිළිවෙළක් ඍජුව යෝජනා කර නැත.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කර තිබේ. මා මෙය දකින්නේ, දුර්වල යෝජනාවක් හැටියටයි. එය අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශවල ප්‍රතිසංස්කරණ සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ද අභිබවන්නකි. රජය ලබන සීමිත ආදායමෙන් මුදල් වෙන් කර තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම අවශ්‍ය ද යන ප්‍රශ්නය මතු වේ. ඊට වඩා ප්‍රමුඛත්වය ලබා දී කළ යුතු දේවල් තිබේ.

යෝජනා අංක 69හි සඳහන් වන්නේ, විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැනය. ඒ සඳහා රුපියල් බිලියන 3,000ක් වෙන් කර තිබේ. මෙම මුදල රජයේ අයවැයට බරක් නොවන බව මගේ අදහසයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ කතා කිරීමේදී 2023 ජුලි වන විට අප නොගෙවා ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,754ක් පමණ වේ. එසේ නොගෙවූ ණය ප්‍රමාණයට අදාළව අයවැයෙන් මෙම මුදල වෙන් කර ඇතැයි සිතිය හැකිය.

මූල්‍ය අංශයේ ස්ථායීකරණය සඳහා රජයේ ප්‍රධාන බැංකු ද්විත්වය ප්‍රාග්ධනීකරණය කිරීමට අයවැයෙන් යෝජනා කළ අතර, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 450ක් වෙන් කර තිබේ. සත්‍ය ලෙසටම රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනීකරණයේ දුර්වලතා නොමැති බව අප කළ අධ්‍යයනයකදී හෙළි විය.

එම බැංකුවල වත්කම් සලකා බැලීමේදී ඒවායෙහි කොටස්, කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමෙන් මෙම රුපියල් බිලියන 450 සෙවිය නොහැකිය. එසේ නම්, මේ මුදල සොයා ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. එම මුදල ජනතාවගේ බදු මුදල්වලින් ගෙවීමට සිදු වුවහොත් එය අසාධාරණය.



අදහස් (2)

අයවැයට කෘෂි අංශය අමතකවීද ?

wedage Monday, 27 November 2023 04:25 PM

ඕනෑකමින්ම අමතක කරලා තියෙන්නේ...!

:       0       2

vijeFriday, 01 December 2023 01:48 PM

මේවා හදන්නේ බත් කන් නැති අයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 116 0

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 63 1

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 241 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 244 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 307 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 808 1

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 281 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site