IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අනතුර නිමාවී නොමැත! පරෙස්සමෙන් වැඩ කරමු

“ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බයයි” යනුවෙන් පැවසුවේ අතීතයේදීය. දැන් මිනිසා බිහිසුණු මරණීය අත්දැකීම් දෙවසරක් පුරා අත්විඳිමින් සිටියද එයින් ඉගෙන ගන්නා බවක් නොපෙනේ. දෙවසරක් තුළ පහළොස් ද‌ාහකට ආසන්න ප්‍රමාණයකගේ මළ කඳන් දැක දැක එයින් නික්මෙන අනතුර හඳුනා ගැනීමට අසමත් වේ නම් විනාශය වළක්වා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇත.

කොවිඩ් පළමු රැල්ල පැමිණි අවස්ථාවේ පෙර අත්දැකීම් නොමැති වුවද රට වසා දැමුණි. එහෙයින් තත්ත්වය පාලනය කිරීම අසීරු නොවීය. රට සන්සුන් සංහිඳියාවට පත්වූ සැණින් රට විවෘත විය. අවුරුදු සමය එළැඹුණේ ඉන් අනතුරුවය. අනතුර අමතක කළ මෙරට ජනයා යළිත් කෙදිනක හෝ අලුත් අවුරුද්දක් උදා නොවෙනු ඇතැයි සිතා මෙන් අලුත් අවුරුදු සවාරි ගියහ. නියත ප්‍රතිඵලය වූයේ අලුත් අවුරුදු පොකුරක් නිර්මාණය වීමය. ඉන් අනතුරුව රටට වූ වින්නැහිය අමුතුවෙන් මතක් කර ගත යුතු නැත. රට තවමත් මේ ගෙවා දමමින් සිටින්නේ එම වන්දියම වේ.

අතීත ස්මරණය, එළැඹෙන උත්සව සමය වෙනුවෙනි. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ “බූස්ටර් එන්නත ලබා නොගෙන විනෝද සවාරි ගියහොත් මේ මාසයේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්තිවීමට සිදුවනු ඇති” බවය. එළැඹෙන උත්සව සමයේ ගමන් බිමන් යාමට පෙර කොවිඩ් මර්දන තුන්වැනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම අනතුරු ඇඟවීම් එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය. ඉදිරියේදී හමුවීමට නියමිත වන්නේ මරු කපොල්ලකි. මෙම මරු කපොල්ල පසුකර යාමට අප සමත් වුවහොත් එය රට ලබන අනගිතම ජයග්‍රහණය වනු ඇත. එබඳු ජයග්‍රහණයක් වෙනුවට වේදනාබර පරාජයක් රටට උරුමකර දීමේ හැකියාව ද පුරවැසියා සතුය. බුද්ධිමත් පුරවැසියා ජයග්‍රහණයේ මාවත වෙනුවට පරාජයේ මාවත තෝරා නොගනිනු ඇත.

අප ගෙවා දමමින් සිටින්නේ ඉතා අමිහිරි හා කටුක කාල පරිච්ඡේදයකි. කොවිඩ් වසංගතය අප රටට ඒමට පෙර අපගේ ජීවිතවලට අසීමිත නිදහසක් තිබිණි. එම නිදහස තුළින් අපි ජීවිතය වින්දෙමු. අපි උත්සව සාදවලට සහභාගි වීමු. දවස් ගණන් සවාරි ගියෙමු. අපට අනියත බියක් දැනුණේ නැත. එහෙත් දෙවසරක කාල පරාසය තුළ ජීවිතය විඳීම වෙනුවට විඳවීමට අපට සිදුවී තිබේ. විශේෂයෙන්ම දූ පුතුන්ගේ ජීවිතවලට අත්ව ඇති ඉරණම හමුවේ මවුපියන් මෙන්ම වැඩිහිටියන් පසුවන්නේද කම්පනයෙනි. දරුවාට ඔහුගේ ළමා ලෝකය අහිමි වී තිබේ. බිත්ති හතරකට කොටු වූ ජීවිතයක් ගෙවීමට සිදුවී තිබේ.

ඉහත පරිසරය තුළ එළැඹෙන උත්සව සමය ප්‍රීතියෙන් ගෙවා දැමීමට සැලසුම් සකස් වීම අරුමයක් නොවේ. සවාරි යාමට සූදානම් වීමද එසේමය. එහෙත් රටේ තත්ත්වය යහපත් නැත. එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් ඇතැම් පුරවැසියන් එන්නත සම්බන්ධයෙන් අනිසි බියක් දක්වන බවක් පෙනේ. බොර දියේ මාළු බාන්නෝ විවිධ වැරැදි මත සමාජගත කරමින් සිටිති. විවිධ ඇදහිලි මත පිහිටා කටයුතු කරන්නෝද එන්නතට එරෙහි වෙති. කෙසේ වෙතත් සමාජයේ සාතිශය බහුතරයක් එන්නත්කරණ මෙහෙයුමට සක්‍රීයව දායක වූහ.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේ එන්නත කොවිඩ් වසංගතයට පූර්ණ ආරක්ෂාවක් නොවන බවය. එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඇතැම් පිරිස්වලට කොවිඩ් වැළඳුණ බව ද වාර්තා විය. එහෙයින් එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වූයේයැයි කියා දරු පැටවුන් සමඟ සවාරි යාම නොකළ යුතුය. එය තමන් පණ මෙන් ආදරය කරන දරු පැටවුන්ගේ ජීවිත අනතුරට හෙළීමක් බව තේරුම්ගත යුතුය.

දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා තිබේ. එමෙන්ම දෛනිකව වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව විස්ස අගය ඉක්මවා ගොස් ඇත. මෙම තත්ත්වය කිසිසේත්ම යහපත් නැත. එමෙන්ම මතක තබාගත යුතු වඩාත් වැදගත්ම කාරණාව වන්නේ කොවිඩ් වසංගතය තුළ තනි රටකට විමුක්තියක් නැත. අපට සැනසුම් සුසුමක් හෙළිය හැකි වනු ඇත්තේ මුළු ලෝකයෙන්ම කොවිඩ් වසංගතය තුරන් වී ගියාට පසුවය. එම දිනය දිනෙන් දින ඈතට යන්නේ මිනිසුන්ගේ වැරැදි හැසිරීම්වල ප්‍රතිඵලයක් ලෙසය.

තම දරුවන්ට අවංකවම හා අසීමිතව ආදරය කරන්නේ නම් මේ මොහොතේ කළ යුතු වන්නේ උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව ජීවත්වීමය. එසේ නොවන්නේ නම් මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කී පරිදි කොවිඩ් සුනාමියකට අපට මුහුණදීමට සිදුවනු ඇත. එබඳු පරිසරයක අප කිසිවකුගේ ජීවිතවල පැවැත්ම සුරක්ෂිත නොවනු ඇත.

 



අදහස් (0)

අනතුර නිමාවී නොමැත! පරෙස්සමෙන් වැඩ කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site