අධිවේගයේ අධිවේගියෙන් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. සිදුකර ඇතැයි පැවසෙන සොරකමේ ප්‍රමාණය අනුව මෙම සොරකමට සම්බන්ධ වූවන් සිටිය යුත්තේ මහ උළුගෙදර කල්දේරම් බතෙහි රස බලමින්ය. දැනට වාර්තා වන්නේ මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නන් වැඩ තහනම් කර ඇති බවය.
කොළඹ පිටත වටරවුම මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමියන් විසි දෙදෙනා කර ඇතැයි පැවසෙන අක්‍රමිකතාවකටය. එනම් රුපියල් කෝටි ගණනක වංචාවක් පිළිබඳවය. තැන කොතැන වුවද එතැනට ගොස් සොරකම ආරම්භ කර තමන්ගේ මඩිය තර කර ගැනීමට ඇතැම්හු රුසියෝ වෙති. අධිවේගී මාර්ගයේ කොළඹ සිංහ වටරවුම මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඇත්තේත් එබඳු රුසියන් බවට චෝදනාවකි. මෙම වංචාව සිදුකර තිබෙන්නේ 2020 වසරේ රටේ පැවැති විදුලි අර්බුදය ප්‍රයෝජනයට ගනිමින්ය. විදුලිය පැවැති අවස්ථාවේදී ද විදුලිය විසන්ධි කර හෝ විදුලිය වයර් කපා ඉතා කූට අන්දමින් සිදුකර තිබෙන බව වාර්තා වේ.
අප පුවත්පත මෙයට පෙර වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658ක් ගැන තොරතුරු නැතැයි කෝප් කමිටුවේ දී අනාවරණය වූ බවය. මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සමහර වාහන අපරාධවලට යොදාගෙන ඇතැයි විගණකාධිපතිනි ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කෝප් කමිටුව හමුවේ අනාවරණය කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. වාහන සම්බන්ධයෙන් මේ ආයතනයේ පාලනයක් තිබී නැති බවත් ඒ ගැන සොයා බැලීමට උනන්දු වී නැති බවත් විගණකාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය ආයතන මෙසේ පැවතිය හැකිද යන්න විමසා බැලිය යුතුය. මාර්ග සංවර්ධන අධිකාරියේ සමහර වාහන එම අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇතත් ඒවා එම අධිකාරියේ නැති බවත් ආයතනයේ සමහර වාහන වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචිකර ඇති බවත් විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබීමෙන්ම එම ආයතනයේ තත්ත්වය මැනගත හැකිය.
‘‘රට විනාශ කළේ දේශපාලනඥයන්’’ යැයි ප්‍රසිද්ධ චෝදනාවකි. අපගේ මැනීමට අනුව නම් එය අර්ධ සත්‍යයකි. චෝදනාව අංගසම්පූර්ණ වීමට නම් එයට ‘‘ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා ඇතැම් රාජ්‍ය සේවකයන් ද වගකිව යුතුය.’’ යන කොටසද එකතු විය යුතුය. අධිවේගයේ මුදල් වංචා කළැයි කියන සේවකයන් මෙන්ම රාජ්‍ය ආයතනයක වාහන අවභාවිත කළ නිලධාරීන් ඔප්පු කර තිබෙන්නේ එයය.
අධිවේගයේ මුදල් වංචා කළ චෞරයන් එම මුදල්වලින් සැපට කා බී සාද පවත්වා කුමාර ජීවිත ගත කර ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. පාලනයක් නොමැති වූ විට මෙවන් චෞරයන්ට තම කටයුතු රිසිසේ කරගෙන යෑම එය පහසුවකි. එහෙයින් සෑම ආයතනයක්ම මනා විනයකින් යුතුව පවත්වාගෙන යෑම කෙරෙහි අවධානය යොමු කිරීමට මෙම සිදුවීම් ප්‍රයෝජනයට ගත යුතුය.
සොරකම් මෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම කළ යුත්තේ නීතියේ විධානය පවත්වාගෙන යාමය. රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. එහි බලපෑම කොතෙක් ද යන්න තේරුම් ගැනීම අසීරු නැත. නීතිය ද එසේමය. නීතියේ විධානය බිඳි ගිය කල්හි මිනීමැරුම් හොරකම් අපරාධ බහුල වේ. අප රටට අත්වෙමින් තිබෙන්නේ එම ඉරණම දැයි සැක සිතෙන තරම්ය. අධිවේගයේ කොළඹ පිටත වට රවුම මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී තිබෙන්නේ සාමූහික වංචාවකි. සංවිධානාත්මක වංචාවකි. නීතිය අබමල් රොනක තරම් හෝ බියක් තිබුණේ වී නම් මෙලෙස සංවිධානාත්මක වංචා සිදු නොවීමට ඉඩ තිබිණි. එහෙයින් මෙම මංපහරන්නට එරෙහිව නීතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක කළ යුතුය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයා වැරදි කරන අරෙහෙන් මෙහෙන් නිති නවල හරි නැතුව හරි හතරවරන් ගහන කොට කලින් හොරකම් නොකළ ඇමති වරයා හොරකම පටන් ගන්නවා. ඇමති වරයා වංචාවෙන් යටි කුට්ටු වැඩ වලින් හොරකම් කරන කොට කලින් හොඳට හිටපු ලේකමුත් මොනවා හරි කරනවා. ඊට පස්සේ පහලට පහලට හොරකම වංචාව පැතිරී යනවා. රටේ විනයක් නැතුව යනවා. විගණන වාරතා කෝප් කමිටු කෝපා කමිටු වාරතා නිරිදේශ ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් කොහෙත්ම නැති රටක නිකම්ම සාමාන්‍ය මිනිසුනුත් හිතනවා මේක තමයි අද කාලේ හම්බ කරන්න තියෙන ක්‍රමවේදය කියලා. මහා පරිමාන වංචා කල එක හොරෙක් වත් අල්ලන්නේ නැහැ. ඉතින් හොරකම් නොකර තියේවිද? හොරකම් කල ලොකු ලොකු අය කීප දෙනෙක් අල්ලලා දඬුවම් දුන්නනම් කාගේත් ඇස ඇරේවි.
අධිවේගියේ වංචනිකයන්ට නීතිය දැඩිව ක්‍රියාවට නැගිය යුතුවේ. එමෙන්ම නැවත වංචා නොවන ආකාරයට විසදුම් ලබාදිය හැකිය
මහබැංකු හොරුත් අල්ලන්න.