IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා

වසර 15කට වැඩි කාලයක් පුරන්ව තිබූ මීගොඩ වෙල්යායේ අක්කර 20ක පමණ කුඹුරු යායක් යළි අස්වැද්දීමට ගත් උත්සාහයක් වැළකී ගොස් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීන් ප්‍රකාශ කරන බව අපගේ ලංකාදීපය පසුගිය දා හෙළි කර තිබිණි. මේ නිසා එම වෙල්යාය යළි අස්වැද්දීමට තමන් තුළ තිබූ බලාපොරොත්තු මිරිඟුවක් බවට පත්ව ඇතැයි එම ගොවීන් චෝදනා කරන බව ද එහි සඳහන්ය.

මෙම ගැටලුවට හේතුව, එම අස්වැද්දීම සඳහා උපයෝගි කරගතයුතුව තිබූ ඇළ මාර්ගයක් වැරැදියට සංවර්ධනය කිරීමට යාම බව ද ගොවීන් පෙන්වා දී තිබේ. මේ කුඹුරු පුරන් වී යාමට හේතු වී තිබුණේ ද එම ඇළ මාර්ග ගොඩ වීමේ ගැටලුවයි. එම ඇළ මාර්ග යළි සකස් කර පුරන්ව ගිය කුඹුරු යළි අස්වැද්දීමට ගොවීන් දිරිමත් කර තිබුණේ වටරැක උතුර ගොවි සංවිධානය බවත් ඔවුන් කියා තිබිණි.

ප්‍රදේශය භාර කෘෂිකර්ම පර් යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි මහතා සහ හෝමාගම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ ව්‍යාපෘතියක් වශයෙන් අදාළ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම ඇරැඹුණත්, එය අතරමග නැවතීම ගොවීන් මහත් අපහසුතාවකට ඇද දමා තිබේ. දැන් සිදුව ඇත්තේ, පුරන්ව තිබූ කුඹුරු අස්වැද්දීම කෙසේ වෙතත් සුළු වැස්සකටත් ඇළේ වතුර පිටාර ගලා, කුඹුරු ජලයෙන් යට වීම බව සඳහන්ය. මේ තත්වය එම ගොවීන් වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකි.

පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීමේ උත්සාහය ඇළ මාර්ගයක ගැටලුවක් හේතුවෙන් කඩාකප්පල් වී යාමට ඉඩ දිය යුතු නැත. ඒ සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගැනීමේ වගකීමෙන් වටරැක උතුර ගොවි සංවිධානයට මිදිය නොහැක. ගොවීන්ගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා ඇළ මාර්ග සංවර්ධනයට රජයෙන් වෙන් කරවාගත් මුදල් ද මේ හේතුවෙන් අපතේ ගොස් තිබේ. ඒ ගැන ගොවීන් ප්‍රශ්න කිරීමත්, වේදනාවට පත්වීමත් අමුත්තක් නොවේ. දැන් කළ යුත්තේ, ගොවි සංවිධානයත්, අදාළ රජයේ නිලධාරීනුත් එකිනෙකා මත වරද පැටවීමට ක්‍රියා නොකර, ගොවීන්ගේ අවශ්‍යතාව ඉටු කර දීමට සාමූහිකව ක්‍රියාත්මක වීමයි. එසේ පියවර ගැනීමකින් තොරව ගොවීන්ට සාධාරණය ඉෂ්ට නොවේ.

බැලූ බැල්මට මෙය කුඹුරු අක්කර 20ක ගැටලුවක් වශයෙන් මතුපිටින් පෙනී ගියත්, එය මේ රටේ පුරන් කුඹුරු අස්වැද්දීමට දරන ප්‍රයත්නයේ අඩුපාඩු රට ඉදිරියේ විවර වීමකි. හැම බිම් අඟලකම වගා කළ යුතු බවට දේශනා පවත්වන බොහෝ දෙනා ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොලැබී යාමේදී ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දීමට ඉදිරිපත් වන්නේ නැත. ඇතැම් දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මහ ඉහළින් උත්සව පවත්වා අපේ රටේ ආරම්භ කෙරෙන ඇතැම් ව්‍යාපෘතිවලට අවසානයේ අත්වන ඉරණමද මෙයින් පැහැදිලි වේ. ඒ අර්ථයෙන් ගත් කල, වටරැක පුරන් කුඹුරු ප්‍රශ්නය මේ රටේ සමස්ත ගොවි ජනතාවට බලපාන ගැටලුවක පොදු සාධකයක් බව පෙන්වා දිය යුතුය. අක්කර දහස් ගණනක් වන රට පුරා ඇති පුරන්ව ගිය කුඹුරු යළි අස්වැද්දීම මෙවැනි ගැටලු හේතුවෙන් එක තැන පල් වෙමින් තිබෙනු ඇතැයි සිතා ගැනීම අපහසු නැත. මීගොඩ අක්කර 20න් පෙන්වා දී ඇත්තේ ඒ යථාර්ථයයි.

ඇළ ගැටලුව සම්බන්ධයෙන් හෝමාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිවරයාගෙන් ‘ලංකාදීප’ය කළ විමසීමේදී, එහි ප්‍රශ්නයක් තිබෙන බව පිළිගෙන තිබිණි. ඇළ මාර්ග සංවර්ධනයට මුදල් වෙන් කිරීමට පෙර තාක්ෂණික නිලධාරියකුගේ වාර්තාවක් කැඳවන බවත්, මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ ඔහුගේ ඇස්තමේන්තුවට අනුව බවත් පවසා තිබූ එම නිලධාරිවරයා, ලැබුණු ප්‍රතිපාදන අනුව සම්පූර්ණ ඇළ මාර්ගයම සකස් කිරීමේ කටයුතු සිදු නොවීමට ඉඩ තිබෙන බව ද ප්‍රකාශ කර තිබිණි.

මීගොඩ ගොවීන්ට ඉතිරිව ඇත්තේ එම කතාව අසාගෙන සුසුම් හෙළීම පමණ ද? අපගේ වැටහීම නම්, මේ ගොවි පිරිසගේ ගැටලුවට විසඳුම් ඇති බවය. එය ඉටු කර දීම බලධාරීන්ගේ වගකීමය.

(***)



අදහස් (1)

පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් අමාරුවේ දාන්න එපා

දුගියා Monday, 15 July 2024 04:15 PM

ඉතාමත් අගය කළ යුතු කතුවැකියකි. අහිංසක අසරණ රටවැසියන්ගේ ගැටළු හා ප්‍රශ්න ඉදිරියේ කගපත තීව්‍ර කිරීම සාධනීය සංකල්පයකි. ජයවේවා..! ඔහොම යන වානම් එයම ආශීර්වාදයක්ම වන්නේමයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1081 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site