IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


මැතිනිය ඇස් දන් දුන් හැටි

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූයේ ශ්‍රී ලාංකික කුල කාන්තාවකි. ඇය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වන්නීය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්ත වූයේ 2001 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවති දවසේය.


මැතිනිය සිය ඡන්දය පාවිච්චි කර හොරගොල්ල වලව්වේ සිට කොළඹ රොස්මිඞ් පෙදෙසේ පිහිටි නිවස බලා එමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුරවීම නිසා කඩවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වූවාය.

 

අප මේ කියන්නට යන්නේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස කිරුළු පැලඳ සිටි අභාවප්‍රාප්ත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දෙනෙත් දන්දීමේ බොහෝදෙනෙක් නොදන්නා කතාවයි.


මේ කතාව කියන්නට යන්නේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සහකාර ලේකම් තනතුර වසර 10 ක්ද, වසර 13 ක් මහජන සම්බන්ධතා හා ප්‍රචාරක නිලධාරී තනතුර හා වසර දෙකක් ප්‍රධාන ලේකම් තනතුරද හොබවා එම සංගමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කර ඇති බී. ජී. පී. ධර්මසේන මහතාය.


ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මේ තනතුරු ධර්මසේන මහතා හොබවා ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් ලෙස රාජකාරි කරන අතරවාරයේ ස්වේච්ඡාවෙනි.


ධර්මසේන මහතා මේ වනවිට විශ්‍රාම සුවයෙන් රාගම, නවහලන්දුරුව පාරේ පදිංචිව සිටී.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්ත වන කාලයේ මම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මහජන සම්බන්ධතා හා ප්‍රචාරක නිලධාරී තනතුර හොබවමින් සිටියේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්තවූ දිනය අක්ෂිදාන සංගමයට නිවාඩු දිනයක් වුවත් මා එහි ගියේ මට පැවරී තිබූ රාජකාරි වැඩ කොටසක් ඉටුකරන්නයි. එදා මම ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් ප්‍රධාන කාර්යාලයට ගියේ දහවල් 11.00 ට විතර. මා කාර්යාලයට ගිය විගසම මුරකරු දුවගෙන ආවා. ඇවිත් කිව්වා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්තවූ බව. මම මුරකරුගෙන් ඇසුවා කොහොමද ඒ බව දැනගත්තේ කියා. එතකොට ඔහු කිව්වා මේ දැන් ටික වේලාවකට කලින් ගුවන් විදුලියේ විශේෂ ප්‍රවෘත්තියක් විදිහට ප්‍රචාරය කළා කියා.


මුරකරුගේ මේ කතාව ඇසූ ගමන් මට මතක්වුණේ මැතිනිය ජීවත්ව සිටින කාලයේ තමා මියගියාට පස්සේ ඇස් දෙක දන්දීමේ පොරොන්දු පත්‍රයකට අත්සන් කර තිබෙන බවයි. මැතිනිය ඇස් දන්දීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණේ ඇය අක්ෂිදාන සංගමයේ උත්සවයකට ආපු අවස්ථාවක බව මගේ මතකයේ තිබෙනවා. මම ඉක්මනට කාර්යාලයට ගොස් දුරකථනයෙන් රොස්මිඞ් පෙදෙසේ පිහිටි නිවසට ඇමතුමක් ලබාගත්තා. ඇමතුම ලබාගත්තේ එවකට අමාත්‍ය ධූරයක් දැරූ ලක්ෂ්මන් ජයකොඩි මහත්තයායි. මැතිනිය මියගියාට පස්සේ ඇස් දෙක දන්දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා පොරොන්දු පත්‍රයක් ලබාදී තිබෙනවා. අපට එතුමියගේ ඇස් දෙක ඉක්මනට ලබාගන්න අවශ්‍ය බව ජයකොඩි මහත්තයට මම කියා සිටියා. මට ඒ ගැන තීරණයක් ලබාදිය නොහැකි බව පවසා සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනියට මාව සම්බන්ධ කර දුන්නා. මා එතුමියට කතාකර කාරණය දැනුම් දුන්නා. සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනිය අපට රොස්මිඞ් නිවසට එන්න අවසර දුන්නා.


ඒ ධර්මසේන මහතාගේ මතකයයි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඇස් දෙක ලබාගැනීමට ගොස් ඇත්තේ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ එවකට උප සභාපති තනතුර හොබවමින් සිටි අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරියක වූ සිරිමා ගුණසිංහ මහත්මිය හා අක්ෂිදාන සංගමයේ තාක්ෂණික නිලධාරියෙක්වූ ගාමිණි නිශාන්ත මහතාය.


ඒ ගැන මතකය අවදි කරමින් ධර්මසේන මහතා මෙසේ කීය.


අක්ෂි ශල්‍ය වෛද්‍ය සිරිමා ගුණසිංහ මහත්මිය හා තාක්ෂණික නිලධාරී නිශාන්ත මහත්තයාත් එක්ක මමත් අපේ සංගමයට අයත් රථයකින් ඒ වෙලාවෙම රොස්මිඞ් නිවසට ගියා. එක පාරටම අපිට නිවසට ඇතුළුවීමට ප්‍රධාන දොරටුවේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ. අපෙන් විස්තර විමසමින් සිටි අතරවාරයේ එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වාහනයකින් රොස්මීඞ් නිවසට ආවා. ආරක්ෂක නිලධාරීන්ගෙන් අප ගැන විමසුවා. අප කවුරුන්ද යන වගත් ආ කාරණය දැනගත් පසු කිසිදු පරීක්ෂාවකින් තොරව අපට නිවස තුළට යන්න චන්ද්‍රිකා මැතිනිය අවසර දුන්නා.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේහය ඒවනවිට තැන්පත් කර තිබුණේ රොස්මිඞ් නිවසේයි. අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ සිරිමා ගුණසිංහ මහත්මිය බණ්ඩාරනායක මැතිනියගේ එක් ඇසක් ඉවත්කර ගත්තා. අනිත් ඇස ඉවත්කරගත්තේ ගාමිණී නිශාන්ත මහත්තයා. අප ආ කාර්ය ඉටුකර අවසානයේ ඒ බව චන්ද්‍රිකා මැතිනියට දැනුම් දුන්නා. මමත් මියගියාට පස්සේ ඇස් දෙක දන්දෙන්න පොරොන්දු පත්‍රයකට අත්සන් කරලයි තියෙන්නේ කියා ඇය කිව්වා මට මතකයි. මැතිනියගේ ඇස් දෙක දන්දීමෙන් කළ පුණ්‍ය ක්‍රියාවට දායකවීම ගැන චන්ද්‍රිකා මැතිනිය ඇතුළු සැමදෙනාට ප්‍රශංසා කර අප රොස්මිඞ් නිවසින් ආවා.


මැතිනියගේ දේහයෙන් ඉවත්කරගත් ඇස් දෙක කොළඹ ජාතික ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනකුට බාරදුන්නා. ඒ ඇස් දෙකෙන් රෝගීන් දෙදෙනකුට බද්ධ කරලා ඔවුන්ට මේ ලෝකය දැකීමේ වාසනාව ලබාගත්තා. ඒ දෙන්නා කවුද කියන්න දැන් මතකයක් මට නැහැ. බී. ජී. පී. ධර්මසේන මහතා පවසන ආකාරයට ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන ලයනල් ජයතිලක, රිජ්වේ තිලකරත්න සහ ආචාර්ය, ඇන්. එම්. පෙරේරා වැනි කෘතහස්ත දේශපාලනඥයින්ද මියගිය පසු ඇස් දන්දීම් සිදුකර ඇත.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දේහය පාර්ලිමේන්තුවට රැගෙන ආ අවස්ථාවේත් එහි සිට මැතිනියගේ දේහය හොරගොල්ල වලව්ව තෙක් පෙරහරකින් ගෙනා අවස්ථාවට මමත් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපතිවරයාව සිටි දොස්තර හඞ්සන් සිල්වා මහතාගේ බිරිඳවූ අයිරාංගනී සිල්වා මහත්මියත් සහභාගී වුණා යැයි ධර්මසේන මහතා පවසයි. සිරිමාවෝ මැතිනියගේ දෙනෙත් ලබාගැනීමට ගිය අක්ෂි ශල්‍ය වෛද්‍ය සිරිමා ගුණතිලක මහත්මිය විශ්‍රාම සුවයෙන් පසුවන අතර ඇයගේ පුතෙක්ද වෛද්‍යවරයෙක් බව ධර්මසේන මහතා වැඩිදුරටත් කීය.


ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය වෙනුවෙන් විශාල මෙහෙවරක් හා අපමණ කැපකිරීම් කර ඇති ධර්මසේන මහතාගේ බිරිඳ ලලිතා අයිරාංගනී මහත්මිය 2002 අප්‍රේල් මස 18 වැනිදා මියගිය අතර ඇයගේ ඇස් දෙකද දන්දීම නිසා රෝගීන් දෙදෙනෙකුට ලෝකය දැකීමට වාසනාව ලැබී ඇත.


ධර්මසේන මහතාගේ එක් දියණියක් වන නදීෂා චතුරංගි පාසල් ගුරුවරියක් වන අතර අනෙක් දියණිය ශම්මි රසාංගිකා බලංගොඩ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් වන්නීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

මැතිනිය ඇස් දන් දුන් හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1551 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site