IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පන්ති සතුරන්ගේ ජාත්‍යන්තර අත්දැකීම්

හිර ගෙදරින් නැගුණ 
විජේවීර හඬ
05 වැනි කොටස

 

‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.


තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.


එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.


2011 නොවැම්බරයේදී නියමුවා ප්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.


මේ ඒ ලියැවිල්ලය.

 

 

මෙතෙන ධනේශ්වර ක්‍රියාමාර්ගයක් ඇත. නමුත් එයට එරෙහිව නිර්ධන පංතියේ පැත්තෙන් ප්‍රතික්‍රියාමාර්ගයක් නොමැත. ඛේදජනක තත්ත්වය එයයි. ප්‍රබල විරෝධයකින් තොරව පාළුගෙයි වලන් බිඳින්නා සේ සකල විධ ධනේෂ්වර ගැත්තන් විසින්ම සෑම ආකාරයකම අවස්ථාවාදීන් විසින්ම කරගෙන යනු ලබන ප්‍රතිවිප්ලවීය ක්‍රියාමාර්ගයක් පමණි ඇත්තේ. නමුත් මාක්ස් ලෙනින්වාදියෙකු වශයෙන්ම මම මෙහිදී සර්ව අසුබවාදී වී නොමැත්තෙමි. සෑහෙන පිරිසක් යථාර්ථය තේරුම්ගෙන සිටින බව දනිමි.

අවලාද, නින්දා, අපහාස, කරුණු විකෘති කිරීම් සහ බොරු බේගල් ඇදබෑම් කවුරු කරතත් එය කරන්නවුන්ගේ දක්ෂතාව, අවංකත්වය කුසලතාව, නිවැරදිභාවය, ශක්තිමත්භාවය හා විද්‍යාත්මකභාවය නොමැති බව ප්‍රදර්ශනය කරයි. අවලාද අපහාස සහ බේගල් මිනිසුන්ගේ ශක්තිය නොව දුබලතාවත්, සත්‍යය නොව බොරුවත්, නිවැරදිභාවය නොව සාවද්‍යභාවයත් සැමවිටම ප්‍රදර්ශනය කරයි. ඒවා මිනිසුන්ගේ දේශපාලන බංකොළොත්භාවයේ පරාගතවීමේ සහ පරාජයේ සංකේතයෝය. එබැවින් මාක්ස් ලෙනින්වාදීහු ඒවා කිසිලෙසකත් සිය අවි ආයුධ ලෙස පාවිච්චි නොකරති. ඒ මාක්ස් ලෙනින්වාදීන් දේශපාලනිකව බංකොළොත් නොවන නිසයි. දේශපාලනිකව ජරාජීර්ණ වී බංකොළොත් වී යන ධනේෂ්වරයින් පමණක්ම මේවා කරනු ලැබේ. අවලාද හා බොරු අපහාස දේශපාලන බංකොළොත්භාවයේ ප්‍රතිඵලයක් නිසාම ඒවාට පිළිතුරු අනවශ්‍ය යැයි පිළිගැනීමක් තිබේ. ඒ එසේ වුවත් ඒ පිළිබඳව යථා තත්ත්වයන් පැහැදිලි කිරීමට සුළුවෙන් හෝ මම බලාපොරොත්තු වෙමි.


ජනතා විමුක්ති පෙරමුණ අද මුහුණ පා ඇති තර්ජනවලට සමාන තත්වයනට මුහුණ පෑ කොමියුනිස්ට් පක්ෂ අතීතයේ තිබුණා. දෙවැනි ලෝක මහා යුද සමයේදී ජර්මන් ඉතාලියානු ෆැසිස්ට්වාදයෙන් තදබල ලෙස පහර කෑ පක්ෂයක් තමයි යුගෝස්ලෝවියානු කොමියුනිස්ට් පක්ෂය. ෆැසිස්ට්වාදීන් යුගෝස්ලාවියාව ආක්‍රමණය කරන විට එරට තිබුණු කොමියුනිස්ට් පක්ෂය නැගෙනහිර යුරෝපීය රටවල තිබුණු කොමියුනිස්ට් පක්ෂ අතර විශාලතම එකක්. එහෙයින් කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භයේ පටන්ම යුගෝස්ලාවියාවේ ෆැසිස්ට් පාලනයට එරෙහිව සටන් වැදුණා. මේ හේතුවෙන්ම යුගෝස්ලෝවියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවන විට ඇප කැප වුණ ශක්තිමත් භක්තිමත් කොමියුනිස්ට්වාදීන් අති විශාල සංඛ්‍යාවක් ජීවිත පරිත්‍යාග කොට තිබුණා.

 

 

ඔවුන් සටනේ දී මිය ගොස් සිටි නිසාත් කොමියුනිස්ට් පක්ෂයට සටන් තුළින් ෆැසිස්ට් විරෝධී අරගල තුළින් එක් රොක් වුණු ඇතැම් සුළු ධනේශ්වර හා ධනේෂ්වර කොටස්වලට හා සැම සියලු අවස්ථාවාදීන්ට පක්ෂයේ වගකීම් ඉසිලීමට අවස්ථාව ලැබීමෙන් යුගෝස්ලෝවියාව කඩිනමින් සංශෝධනවාදය කරා ගෙන යාමට ඉඩ ප්‍රස්ථාව ලැබුණා. යුගෝස්ලෝවියානු කොමියුනිස්ට් පක්ෂය මුහුණ පෑ මේ අන්ත්‍රාව අද අපේ ව්‍යාපාරය හමුවේත් නැතැයි කිසිවෙකුටත් සෑහීමකට පත්විය නොහැක. අපේ ව්‍යාපාරය තුළත් මේ තත්ත්වයන් යටතේ ටිටෝලා, කර්ඩෙල්ජිලා, රන්කොච්චිලා, ලාස්ලා වැන්නන් බිහිවීමට ඉඩකඩ තිබේ. මේ ගැනත් නිර්ධන පංති විප්ලවවාදීන් අන් හැම ප්‍රශ්නයක් ගැන මෙන්ම පරෙස්සම් විය යුතුය. ධනේෂ්වර පංතියේ පංති අවශ්‍යතාවන් සුරාකමින් ජනතා විමුක්ති පෙරමුණටත් පුද්ගලිකව මටත් අවලාද අපහාස නින්දා පමුණුවන ජනතාව එමගින් නොමග හරින විප්ලවවාදී ව්‍යාපාරයට කිව නොහැකි තරම් මහත් හානි පමුණුවන මේ පුද්ගලයෝ කවරහුද? ඔවුහු එක්කෝ,


1. මුල පටන් ජනතා විමුක්ති පෙරමුණ තුළට රිංගාගෙන සිටින සතුරු ඒජන්තලාය.

2. බලාපොරොත්තු හා ලාභ අපේක්ෂාවන් ඇතිව ව්‍යාපාරය තුළට රිංගා ඇති පසුව ඒවා බිඳවැටෙනු දැක. ඉටු නොවනු දැක ව්‍යාපාරයට ද්‍රෝහී වුවන්ය.

3. කුරිරු ධනේෂ්වර මර්දනයට මුහුණ දිය නොහැකිව පංති සතුරා ඉදිරියේ සියල්ල පාවා දී තම ද්‍රෝහිත්වයේත් බියසුලු බවත් දීන කැත ක්‍රියා පිළිවෙත නිසාත් ආපසු ජනතා විමුක්ති පෙරමුණ දෙස බැලිය නොහැකි හා සිය ද්‍රෝහීත්වය වසංගා ගැනීමට පක්ෂයට අවලාද නගන්නවුන්ය.

4. තම වැරැදි සහ සදොස්භාවය වසං කරගැනීමේ අරමුණෙන් යුතුව පක්ෂයට චෝදනා කරන්නවුන්ය.

5. ප්‍රශ්නවල යථාර්ථය තේරුම් නොගත් නිසා හෝ තේරුම් ගැනීමට අවස්ථාවක් නොලත් නිසා හෝ අවංකව වැරැදි මාර්ගයට පිවිසි අයය.

6. පෞද්ගලික බැඳීම් සහ නොයෙකුත් විශේෂ සම්බන්ධතාවන් හේතුකොටගෙන ද්‍රෝහීන් සමග ඇති පෞද්ගලික මිත්‍රත්වය හේතුකොටගෙන ද්‍රෝහීන්ගේ පැත්ත ගත්තවුන්ය.

7. ව්‍යාපාරයට කරන ලද වැරැදි හේතු කොටගෙන තවදුරටත් ව්‍යාපාරයේ සිටිය නොහැකි එබැවින් වෙනත් කල්ලි හා කණ්ඩායම් සමග එකමුතු වී ඒ කණ්ඩායම් සහ කල්ලිවලින් කුලියට ගත් අවලාද දමා ගසන්නවුන්ය.

 

ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් හොඳින් හදාරා බලන විට පෙනී යන්නේ ක්‍රම කිහිපයකින්ම නිර්ධන පංති ව්‍යාපාරය තුළ ද්‍රෝහීන් හා පාවාදෙන්නන් බිහිවන බවයි.

 

1. සූරාකන පංතීන් විසින් උවමනාවෙන්ම හිතාමතාම නිර්ධන පංති ව්‍යාපාරය තුළට රිංගවන ලද ද්‍රෝහීන්ය.

2. කලක් නිර්ධන පංති ව්‍යාපාරය වෙනුවෙන් සේවය කළ පසුව නොයෙකුත් හේතුණ් උඩ නිර්ධන පංති ව්‍යාපාරයට ද්‍රෝහී වන්නන්.

3. තමන් කරන්නේ ද්‍රෝහිකමක් බව නොදැන ද්‍රෝහිකම් කරන්නවුන් ආදී මේ සියලු ගණයකම ද්‍රෝහීන් හා පාවාදෙන්නන් ගැන ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට පුළුල් අත්දැකීමක් තිබෙනවා.


මෙවැන්නන් අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද සිටිනු ඇති. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළට සිය ඔත්තුකරුවන් රිංගවා එමගින් එම ව්‍යාපාර විනාශ කර ධනේෂ්වර පංති අරමුණු සුරක්ෂිත කරගැනීම සඳහා නිර්ධන පංති ව්‍යාපාරයේ උපතේ පටන්ම ධනේෂ්වර පංතිය ක්‍රියා කර තිබෙනවා. ඒ පිළිබඳව ඔවුන් ලබපු අත්දැකීම් ඉතා විශාලයි. ඒ විශාල අත්දැකීම් සම්භාරය උපයෝගී කරගෙනයි අද ධනේෂ්වර පාලක පංතියක්ම අති විශේෂ උනන්දුවක් දක්වනවා.

 

මතු සම්බන්ධයි.

සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

පන්ති සතුරන්ගේ ජාත්‍යන්තර අත්දැකීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site