IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උදරය තුළ යකඩ කැබලි

 

‘අම්මේ තාත්තේ මං දිවි නසා ගැනීමට හිතලා බයිසිකල් නට්, යතුරු කැරලි, බල්බ් කෑලි, ස්පන්චි කෑලි ගිල්ලා. මට සමාවෙන්න”
ඒ දරුවාගේ සැබෑ අත් අකුරු නොවීය. 


‘ඔහේලට කොල්ලව ගෙදර අරන්යන්න පුළුවන්. පුළුවන්නම් එයාව සනීපකරගෙන 09 වැනිදා අපටම භාර දෙනවා’ හමුදාවෙන් නියෝග ලැබිණ. 


පණ බේරාගත් දරුවා ගෙදර කැටුව ගිය මවුපියෝ සෞඛ්‍ය අධිකාරිවරයා හමුවී නොවිඳිනා වැඳුම් වැඳ දරුවාගේ දිවි බේරාදෙන ලෙස ඉල්ලූහ.


බිය නිසාම ගොළු වූ තරුණයාගේ පොඩි වූ කමිසය ගලවද්දි පිටේ නිල් පැහැති පැල්ලම් මතුව තිබිණ. කර්නල් වරයා කීවා සේම එක්ස්රේවලින්ද තහවුරු වූයේ උදරය තුළ යකඩ කැබලි තැන්පත්ව ඇති බවය. ශල්‍යකර්මයක් තුළින් එම ද්‍රව්‍ය පරෙස්සමෙන් එළියට ගැනිණ.


බාගෙට සුවපත් වූ තරුණයා යළි කඳවුරට භාරදෙනු ලැබිණ. පුතා බැලීම තහනම් වුවද නොකඩවා කඳවුරට ගිය මවුපියන්ට දිනක් ජිප්රියකින් කැටුවයන තරුණයා දැකගන්නට ලැබිණ.


දරු සෙනෙහසින් ඔවුන්ගේ නෙත් බැබළිණ.


“අම්මේ සාදු” ඔහු මාංචු ලූ අත් අමාරුවෙන් ගළපා වැන්දේය. ජිප්රිය ලුහුබැඳ ගිය මවුපියෝ පුතා වැලඳගත්හ. ඔවුන්ගේ විලාපයෙන් හා භටයන්ගේ තර්ජනයෙන් පෙදෙස ගිඟුම් දුණි.


යළි උදරාබාධයක් නිසා යැයි කුට්ටිගල රෝහල් ගතකළ තරුණයා සේලයින් දී යළි කඳවුරට ගෙනෙන ලදී.


එදා යු.එන්.පී. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු හමුවට මවුපියෝ ගියහ.


“අපේ පුතා වරදක් කළානම් දඬුවම් දෙන්න. නැත්නම් නිදහස දෙන්න යැයි ඔහුට ආයාචනා කළහ. ඇමැතිවරයා බැරෑරුම් වෙසක් මවාගෙන ලිපිගොනුව පිරික්සිය.


“ආ මෙයාද මිනිහා. තාමත් ජීවත්වෙලා උන්නොත් තමයි පුදුමෙ” ඔහුකීය. යළි කඳවුරට ගිය ඔවුන්ට ඇමැතිගෙන් ලද නියෝගය නිසා පුතා බැලීමට අවසර ලැබිණ.


‘මිනිහට තියෙන්නෙ පිස්සුවක් විතරයි. අරන් ගිහිල්ලා බේත්කරලා අරන්එන්න”


ඇඹරුණ අතපයෙන් මළානික වතින් සහ රතු වූ දෙනෙතින් යුතු වූ සිරකරුවාට ඇත්තේ උමතු රෝගයක් බව ගාල්ලේ සමුපකාර රෝහල දැන්වීය. දිනගණනාවක් පුංචිගේ ගෙදර රඳවාසිටි දරුවා යළි හමුදාවට භාර කෙරිණ.


‘මේක හරියන්නෙ නෑ. මෙයාව ගෙනිහින් බේත්දීලා සතියකට වතාවක් පොතේ අත්සන් කරන්න”


යළි පැරණි පිළිතුරම ලැබිණ. එලෙස දෙසැම්බර් මස 17 වැනිදා විදුහල්පතිවරයකු වූ පියාගේ යතුරුපැදියෙන් කඳවුරට ගොස් අත්සන් කර එමින් සිටියදී උඩුගම හන්දියේදී ඔවුන් ආ මග හරස්කර ලාන්සර් රියක් නතර කරන ලදි.


එයින් බැසගත් පිරිසක් විදුහල්පතිවරයාට පහර දෙන්නට වූහ.


“ඇයි මේ?”


ඔහුට අසන්නට ලැබුණේ එපමණකි. පියාගේ හිස මතට වැදුණ පොලු පහරකින් පියා  විසඥව ගිය අතර තරුණයා පැහැරගනු ලැබිණ.
ප්‍රසන්න හඳුවලගේ මවගේ සාක්ෂිය අනුව හිසට බෙහෙත් දමාගෙන නිවසේ වැතිරසිටියදී වෑන් හා යතුරුපැදිවලින් පැමිණි නාඳුනන පිරිසක් සැමියාගේ දෑස් හා අත් බැඳ බිම දමා පහර දුන් අතර විලාප නැගූ පොඩි පුතුට වූයේ ගුටිකන්නටය.

 


අනතුරුව රන්රිදි බඩු මුට්ටු පැහැරගත් ඔවුහු පැමිණි රියවලින්ම පලාගිය අතර පසුව පැමිණ ඉතිරි බඩු මුට්ටුද කඩා බිඳ දැමූහ. 1989 දෙසැම්බරයේ හඳුවල මහතා උසස්පෙළ විභාග ශාලාධිපතිවරයකු ලෙස රාජකාරිය කරද්දී එහි පැමිණි මැර පිරිසක් ඔහු සිසුන් ඉදිරියේම පැහැරගත් අතර ඔහුගේ වැදගත් තනතුර නිසාදෝ යළි ගෙනැවිත් භාර දෙන ලදි.


මෙම අතවර සිදුවූයේ ප්‍රසන්න හඳුවලගේ පවුලට පමණක් නොවේ. ඇඹිලිපිටිය මැදි විදුහලේ විදුහල්පති දයානන්ද ගලප්පත්තිගේ අනුදැනුම මතම උසස්පෙළ දඟකාර සිසුන් 32 ක් පැහැර ගැනීමට ලක්වී අතුරුදන් වූහ. ඔවුන්ගේ මවුපිය ඥාතීහු තවමත් ඔවුන් සොයා බෝධිපූජා පවත්වන අතර පාලකයන්ට හා හමුදා නිලධාරින්ට ශාප කරමින් දෙවියන් යදිනු පෙනේ.


මෙම ආපරාධවැලේ එක් කොනක තම පුත්‍රයාත් ප්‍රේම සම්බන්ධයට අතපෙවු හෙයින් සිසුන්ගෙන් විදුහල්පති පළිගත් බවට තොරතුරු හෙළි විණ.


80 දශකයේ අගභාගයේ අගවනවිට දේශපාලන වාතාවරණය අතශයින් අවුල් ජාලයක් බවට පත්ව තිබිණ. රජයට එරෙහිව අදහස් ප්‍රකාශකළ ශිෂ්‍ය සංගම්, වෘත්තිය සමිති නායකයන් සහ ප්‍රාදේශීය හා පාර්ලිමේන්තුවේ දේශපාලනඥයන් රැසකට අකාලයේ දිවියෙන් සමුගන්නට සිදුවිය. තවමත් එම දේශපාලන අපරාධ පිළිබඳ නිවැරදි විසඳුමක් ලැබී නොමැත.


මෙම අපරාධ පිළිබඳව කොටි සංවිධානයටත් ජනතා විමුක්ති පෙරමුණටත්, ආණ්ඩුවේ ආශිර්වාදය ලැබූබව කියන කළුබළල්ලු වැනි සංවිධානවලටත් ඇඟිල්ල දිගුවිය. ඔවුන්ට එරෙහිව ඇසින්දුටු සාක්ෂි සහ නම්ගම් පවා හෙළිවිය.


දේශපාලන වැලිතලාවෙන් කලින් කලට වැසී ගිය ඇඹිලිපිටිය සිසු ඝාතන සිද්ධිය යළි මතුවූයේ 1990 දී රක්වාන දෙණියාය, සූරියකන්ද නගරයට කිලෝමීටර් දෙකහමාරක් මෙපිටින් මතුවූ සමුහ මිනීවළ නිසාය. එතෙක් පැවති නාම මාත්‍රික සාක්ෂි අබිබවා ප්‍රායෝගික සාක්ෂි මතුවන්ට පටන් ගැනිණ.


එකල අගමැති ධුරය දැරූ ආර්. ප්‍රේමදාස, ආරක්ෂක අමාත්‍ය රංජන් විජේරත්න, හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ වැනි බළකණු රැසක් පටලැවුන මෙම භීෂණ චෝදනාවන්ගෙන් බේරි අතපය සෝදා ගැනීමට විපක්ෂය ඉඩ නොදුන්නේය. එවැනි රැඩිකල් මන්ත්‍රීවරුන්ටද ලැබුණේ මෙලොවදි දුක්විඳ එලොව යාමේ තීන්දුවයි.


මේවා අපි නොවෙයි කළේ කළු බළල්ලු” යැයි පවසමින් ප්‍රේමදාස උඩුගම්පොළ නිලධාරියාද ඇඟබේරාගන්නට තැත් කළේය.
“තුරන් කිරීමට ඕනෑ අයගේ ලැයිස්තු පාලක දේශපාලන පක්ෂයේ අය කළු බළලුන්ට දුන්නා. ඇඹිලිපිටිය සිසුන් පැහැරගත්තේ හමුදා නිලධාරින්ගෙන් යුත් කළුබළල්ලුයි මේවා අපට වඩා හොඳට ජනතාව දන්නවා” ඔහු පැවසිය.


මෙහිදි එක් රහසක් හෙළිවිය. කළුබළල්ලු යනු කොටි හෝ ජේවීපීය නොව රජයෙන් බිහිවුණු මැරයන් බවය.


දීර්ඝකාලීන නඩු විභාගයකට පසු ගලප්පත්ති විදුහල්පති ඇතුළු හමුදා නිලධාරින් පිරිසකට මරණ දඩුවම හා ජිවිතාන්ත සිර දඩුවම් ලැබු අතර ඔවුන්ගෙන් ඇතැමුන් අද ජීවතුන් අතර නොමැති නමුත් තවත් පිරිසක් අද දේශපාලනයේ පිහිටෙන් යහතින් වැජඹෙති.
එහෙත් සත්‍යය කෙදිනක හෝ දියයට එබු රබර් බෝලයක් මෙන් ඉල්පීඑනු නිසැකය.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



අදහස් (0)

උදරය තුළ යකඩ කැබලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site