IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇමැතිනියගේ ඇස් රතු කළ අගමැතිවරයෙක්

 

 

දි වංගත අග්‍රාමාත්‍ය වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙකුව සිටි කාලයේ පටන්ම තම නිවසේ බල්ලන් කීප දෙනෙකු ඇති කළේය. උදෑසන නින්දෙන් පිබිදුණ වහාම බලු කූඩුව අසලට ගොස් බල්ලන් එක එකා එළියට ගෙන ඔවුන් සුරතල් කිරීම එකල ඔහුගේ දින චර්යාවේ අනිවාර්ය අංගයක් විය.


එවිට එම බල්ලන් හුරුපුරුදුවී සිටියේ ද තම ස්වාමියාගේ ඇඟේ ඇතිල්ලෙමින් හා දෙපා ලෙවකමින් ඔහුට තම හිතෛශීභාවය දැක්වීමය.


සමහර දවස්වල මේ බල්ලො ලෙඩ වෙනවා. දැන් ලෙඩ වෙච්ච බල්ලා වැඩිය සද්දයක් බද්දයක් නැතිව එක තැනම වකගහගෙන ඉන්න කොට ලොක්කාට ඒක තේරෙනවා. එහෙම වුණාම ගෙදර ඉන්න වැඩ කාරයන්ට අනිවාර්යයෙන්ම බැණුම් අහන්න සිද්ධ වෙනවා. මොකද ලොක්කා හිතන්නේ ගෙදර වැඩට ඉන්න මිනිස්සු මොනව හරි අගුණ කෑමක් දීලා බල්ලා ලෙඩ වෙලයි කියලා. ඒ සැරේ එයාම පශු වෛද්‍යවරයෙකුට ටෙලිෆෝන් කරලා ගෙදරටම ගෙන්නලා බල්ලාට බෙහෙත් කෙරුවට පස්සෙයි ලොක්කා ගෙදරින් එළියට යන්නේ යි කියන හිටපු ඇමැතිවරයෙකු වූ බද්දේගම හෙන්රි අබේවික්‍රම මහතා “බණ්ඩාරනායක පරිවර්තන යුගය” නැමැති තම ග්‍රන්ථයේ සඳහන් කර ඇති අන්දමට ඔහු නිවසේ සිටින කිසිම අවස්ථාවක තම සුරතල් බල්ලන්ට කෑම නොදී ආහාර ගැනීම තදින්ම ප්‍රතික්ෂේප කළේය. ඔහු ඒ තරමටම බල්ලන්ට ආදරය කරන ලද්දේ කුඩාවියේ සිටමය.


මම අහලා තියෙනවා ලොක්කා පුංචි සන්ධියෙ දී එයාගෙ බලු පැටියෙක් ගෙදරම වාහනේකට යටවෙලා මැරුණම ඒ දුකට ලොක්කා මුළු දවසේම කෑමක් නොකා ඇඬුවලු. එලෙස බණ්ඩාරනායක මහතාගේ බලු සුරතලය ගැන කියන අබේවික්‍රම මහතා සඳහන් කරන අන්දමට නිවාඩුවක් ලැබුණු විගස ඔහු තම කාලයේ පැයකටත් වඩා වෙන් කර තිබුණේ සේවකයන් ලවා තම බල්ලන් නෑවීමටය. නැතහොත් සාත්තු කිරීමටය. රොබෝ සිඤ්ඤෝ ඔය සත්තුන්ගේ කනට වතුර යන්න දෙන්න එපා. අර අර අරයාගේ ඇඟ හරියට පිහිදාලා නෑ. හොඳට පිහිදානවා. ආදී වශයෙන් කියමින් තම සේවකයන්ට උපදෙස් දෙන බණ්ඩාරනායක මහතා ඊළඟට කරන්නේ ආ වෙරි ගුඞ් සනා යි කියමින් තම සුරතලුන්ගේ හිසට සෙමින් තට්ටු කිරීමය.


මේ අතර ඔහුගේ බලු සුරතලුන්ගේද එක්තරා නරක පුරුද්දක් තිබුණි. එනම් මීට පෙර දැක පුරුදු නැති අමුත්තෙකු තම ස්වාමියා අසලට යන හැම අවස්ථාවකදීම තදින් බුරමින් ඔහුගේ ඇඟට කඩා පැනීමට එම බලු රැළ පුරුදුව සිටියහ. තම සුරතලුන් එසේ කරන්නේ නාඳුනන තැනැත්තාගෙන් තමන්ට කරදරයක් වෙතැයි සැකයෙන් බව බණ්ඩාරනායක මහතා දැන සිටියේය. එවිට ඔහු කරන්නේ “යු ෂටප් සනා” යි කියමින් බල්ලා නිහඬ කරවීමය. තම ස්වාමියාගේ විධානයට කීකරු වන බලු සුරතලා ඔහු අසලින් සිට කන්දෙක කෙළින් කර ගෙන නිහඬව බලා සිටින අයුරු ඊළඟ මොහොතේ දකින්නට ලැබේ.


බණ්ඩාරනායක මහතා කොළඹ බඩල්වීදියේ උඩුගහ වලව්වේ තනිකඩයෙකු වශයෙන් වාසය කරද්දී තම බලු සුරතලුන් සඳහා විශාල කූඩු කීපයක්ද එහි ඉදිකර තිබුණේය. පසුව එම උඩුගහ වලව්ව විකුණා දැමූ ඔහු කොළඹ රොස්මිඞ් පෙදෙසේ නව නිවසට පැමිණීමට පෙර දැනට ලයනල් වෙන්ඞ් රඟහල පිහිටි භූමියේ ඉදිකර තිබුණු ගිල්ෆ්‍රඞ් කෙසන්ට් නමැති කුලී නිවසක පදිංචි වී සිටි බව හෙන්රි අබේවික්‍රම මහතා සඳහන් කරයි. බණ්ඩාරනායක මහතා සමග විවාහ වූ අලුත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද ටික කාලයක් එහි පදිංචිව සිටි බව අබේවික්‍රම මහතාගේ ග්‍රන්ථයේ දැක්වෙයි.


මේ අතර රොස්මිඞ් මන්දිරයට බණ්ඩාරනායක යුවළ පදිංචියට ගිය අතර ඔහුගේ බලු සුරතලුන් සඳහා කූඩු කීපය ද නව නිමාවකින් යුතුව ඉදි කෙරුණේය. කෙසේ වෙතත් එම බල්ලන් කීප දෙනාට නව වාසස්ථානය තරමක නුහුරු තැනක් වුවද සතියක් පමණ ගතවන විට ඔවුන් ඊට හුරු පුරුදුවූයේ නිරායාසයෙනි.


බණ්ඩාරනායක මහතා මෙරට අග්‍රාමාත්‍යධුරවය දරමින් සිටි කාලයේ එම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරිය වූ විමලා විජයවර්ධන මැතිනිය දිනක් යම් හදිසි අවශ්‍යතාවක් සඳහා අගමැතිතුමා හමුවීමට රොස්මිඞ් මන්දිරයට ආවාය. ඒ මොහොතේ බණ්ඩාරනායක මහතා සිටියේ තවත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකු සමග ආලින්දයේ සුහද පිළිසඳරක යෙදෙමිනි. උන්හිටිගමන් නිවසේ ගේට්ටුවෙන් ඇතුළට ආ සුඛෝපභෝගී මෝටර් රථය දුටු බණ්ඩාරනායක අගමැතිතුමාගේ බලු රෑන කලබලයට පත්ව ඉදිරියට දිවගියේ නිමේෂයකිනි.
ඒ සමගම රියෙන් බැස ආ ඇමැතිවරිය දුටු බලු රැළ ඇය වටකරගෙන ඇඟට පනින්නටත් දෙපා ලෙවකන්නටත් පටන් ගත්තේ එතුමිය ඊට පෙර රොස්මිඞ් මැදුරට පැමිණ තිබු බැවිනි. තමන්ගේ බලු සුරතලුන් පිරිස විජයවර්ධන මැතිනිය වෙත දක්වන ආදර ගෞරවයත් ඇය එයින් මිදීමට තැත් කරන අයුරුත් දුටු බණ්ඩාරනායක අගමැතිතුමාට සිනා පහළ වූයේ ඉබේටමය.


“බලන්න විමලා ඔයාගේ ලස්සනට මගේ බල්ලොත් කලබල වෙලා ඉන්න හැටියි. ඉංග්‍රීසි බසින් කී බණ්ඩාරනායක මහතා මහ හඬින් සිනාසෙද්දී විජයවර්ධන මැතිනිය විළියෙන් මිරිකුණාය. ඇය වඩාත් ලජ්ජාවට පත්වූයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ද එහි සිටි බැවිනි.


ඒ මොහොතේ අගමැතිතුමා සමග බර කතාවකට වැටී සිටි එම මන්ත්‍රීවරුන්ට ද ලොක්කාගේ දෙපිට කැපෙන විහිළුවට සිනාගියේ ඉබේටමය. ඒ සමගම තම සැමියාගේ අනවශ්‍ය විහිළුව නිසා ඇමැතිවරියගේ සිත රිදුණු බව දුටු සිරිමාවෝ මැතිනිය ගෙතුළ සිට එළියට පැමිණ “එන්න විමලා ඇතුළට.”යි කියමින් ඇය ගෙතුළට කැඳවා ගෙන ගියාය.

 

 


ඒ. රුක්මනී ජයතිලක
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ඇමැතිනියගේ ඇස් රතු කළ අගමැතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site