IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඇමැති - තානාපති හිසට ඉහළින් කාලතුවක්කු උණ්ඩ

මඩකළපුව වේබර් ක්‍රීඩාංගණයට පතිත වූ කාල තුවක්කු උණ්ඩ පුපුරා යාමෙන් ප්‍රදේශයම හෙල්ලු‍ම් කා ගියේ ජනතාව භීතියෙන් මුසපත් කරවමිනි. ඩවුන් ඩවුන් කියා මේජර් බර්ටි පෙරේරා කෑ ගැසුවේ පළමු කාල තුවක්කු උණ්ඩය වේබර් ක්‍රීඩාංගණය දෙසට එල්ලවීමත් එක්කමය.


ඩවුන් ඩවුන් යැයි කියා කෑ ගැසූ මේජර් බර්ටි පෙරේරා ඒත් එක්කම ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා ද අතින් ඇදගෙන ගොස් ක්‍රීඩාංගණය අසල නතර කර තිබූ යුද හමුදාවේ යුනිකෝ රථයකට ගොඩ කිරීමට ක්ෂණිකව ක්‍රියා කළේ උද්ගතව ඇති බැරෑරුම් තත්ත්වය තේරුම් ගත් නිසාය.


එල්.ටී.ටී.ඊ.ය එල්ල කළ මෙම කාල තුවක්කු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති රොබට් බ්ලේක්, ඉතාලි තානාපති පියෝ මාරියනි සහ ජර්මන් තානාපති යුර්ගන් වර්ත් යන මහත්වරුන් ඇතුළු 15 දෙනෙක් තුවාල ලැබූහ.
වාකරේ ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වීම සඳහා ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ඇමති මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන විදේශ තානාපතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ද සමග මඩකළපුවට ගිය අවස්ථාවේ මෙම එල්.ටී.ටී.ඊ. කාල තුවක්කු ප්‍රහාරය එල්ල වූයේ මීට වසර 10 කට පමණ ඉහතදීය.

 

 

හරියටම දින වකවානු කියනවා නම් මේ එල්.ටී.ටී.ඊ. කාල තුවක්කු ප්‍රහාරය එල්ල වූයේ 2007 වසරේ පෙබරවාරි මාසයේ 27 වැනිදාය.


අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන විදේශීය අමුත්තන් පිරිස පිළිගැනීමට වේබර් ක්‍රීඩාංගණයේ පෙළගැසී බලා සිටියේ එවකට මඩකළපුව සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් බර්ටි පෙරේරා, අම්පාර මඩකළපුව නියෝජ්‍ය ​පොලිස්පති ලසන්ත ද සිල්වා, මඩකළපුව කොට්ඨාසය බාරව සිටි මැක්සි ප්‍රොක්ටර්, මඩකළපුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් පෝල්, මඩකළපුව දිසාපති ඇරුමෙයි නායගම් සහ මඩකළපුව අතිරේක ලේකම් කේ. මහේෂ්වරන් යන මහත්වරුන් ප්‍රධාන රජයේ උසස් නිලධාරීන් පිරිසකි.


අමාත්‍යවරයා ප්‍රධාන විදේශීය නියෝජිතයෝ හෙලිකොප්ටර් යානා දෙකකින් මඩකළපුව වේබර් ක්‍රීඩාංගණයට ගොඩබැසීමට නියමිතව සිටියහ.


පළමුවෙන් පැමිණි ගුවන් යානයේ සිටියේ අමාත්‍යවරයා ප්‍රධාන විදේශීය අමුත්තන්ය.


පළමුවෙන් පැමිණි හෙලිකොප්ටර් යානය වේබර් ක්‍රීඩාංගණයට ගොඩබස්සවනු ලැබූ අතර එහි සිටි අමාත්‍යවරයා ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් බිමට බසිනවාත් එක්කම කාල තුවක්කුවකින් නිකුත් වූ උණ්ඩයක් පතිත වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවකය.


අවුරුදු 10 කට විතර කලින් සිද්ධවෙච්චි බිහිසුණු ක්‍රියාවක් මතකයට නගා වචනවලට පෙරළීමට සූදානම් වන්නේ එදා කොටින්ගේ කාලතුවක්කු ප්‍රහාරවලින් නූලෙන් ජීවිතය බේරාගත් අය අතර සිටි මේජර් බර්ටි පෙරේරා මහතාය.
හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින මේජර් බර්ටි පෙරේරා මහතා එදා වෙච්ච සිද්ධිය ගැන කරුණු දක්වමින් මෙසේ කීය.


“නැගෙනහිර කොටි ග්‍රහණයෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලදී අවතැන් වූ වාකරේ ජනතාවට සහන සැලසීම හා සාකච්ඡා කරන මහින්ද සමරසිංහ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවකට විදේශීය නියෝජිතයන් පිරිසක් පැමිණෙන බව අපට දැනුම් දී තිබුණා. ඒ කාලයේ මම මඩකළපුව සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා විදිහට රාජකාරි කළා. ඇමතිතුමා ඇතුළු විදේශීය අමුත්තන්ට උදේ ආහාරය සූදානම් කර තිබුණේ මඩකළපුව මූලස්ථාන පොලිසියේයි. ඒ කාලයේ මඩකළපුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති වෙලා හිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් පෝල් මහත්තයා.


ඇමතිවරයා ප්‍රධාන විදේශීය අමුත්තන් පිළිගැනීම සඳහා වේබර් ක්‍රීඩාංගණයට ගොස් ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිටියා. එතකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලි​කොප්ටර් යානා දෙකක් ආවා. එකක් මුලින්ම වේබර් ක්‍රීඩාංගණයට ගොඩ බැස්සුවා. ඒ යානය බැස්සුවාට පස්සේ ඇමතිවරයා ඇතුළු විදේශීය අමුත්​තන් යානයෙන් පිටතට පැමිණියා. ඒ අවස්ථාවේ ඔවුන් පිළිගැනීමට අප ඔවුන්ට ආචාරය පුද කළා. ඒත් එක්කම වා​ගේ කාල තුවක්කු ප්‍රහාරයක් එල්ල වුණා. ඒ මුල්ම කාල තුවක්කු ප්‍රහාරය. ඇතිවෙන්න යන තත්ත්වයේ බැරෑරුම් කම මට ඒ මොහොතේ තේරුම් ගියා. ප්‍රහාරය එල්ලවීමට පටන් ගත්තේ 2007 වසරේ පෙබරවාරි මාසයේ 27 වැනිදා උදේ 8.55 ට විතර කියා තමා මගේ මතකයේ තියෙන්නේ.


මම ඩවුන් ඩවුන් කියා කෑ ගැසුවා. ඒ අවස්ථාවේ ඇමතිවරයා ඇතුළු පිරිස බිම දිගා වුණා. ඒත් එක්කම මම ඇමතිතුමා ඇදගෙන ගොස් යුදහමුදාවේ යුනිකෝන් රථයකට ඇතුළු කළා මතකයි. වරින් වර කාල තුවක්කු ප්‍රහාර එල්ල වුණා. කාල තුවක්කු ප්‍රහාර එල්ල වීම ආරම්භ වීමත් එක්කම ඒ වෙනකොට ගොඩබැස්ස වීමට සූදානම් කර තිබූ හෙලිකොප්ටර් යානය වෙනත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබුණා. වේබර් ක්‍රීඩාංගණයට ගොඩබස්සවා තිබුණ හෙලිකොප්ටර් යානයට කාල තුවක්කු ප්‍රහාරයෙන් තරමක හානි සිදු වී තිබුණා යැයි විශ්‍රාමික මේජර්වරයා පවසයි.


​කොටි ත්‍රස්තවාදීන් මි.මී. 120 වර්ගයේ කාල තුවක්කුවක් යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ඔවුන්ගේ පාලනය යටතේ පවතින වව්නතිව් ප්‍රදේශයේ සිටය.


වව්නතිව් ප්‍රදේශය පිහිටා ඇත්තේ මඩකළපුවේ සිට කිලෝ මීටර් 12 ක් පමණ දුරකිනි.


විශ්‍රාමික මේජර් බර්ටි පෙ​රේරා මහතා සිය මතකය හාරා අවුස්සමින් තවදුරටත් පැවසුවේ මෙවැනි කතාවකි.


“මේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිවරයාව සිටි රොබට් බ්ලේක්, ඉතාලි තානාපති පියෝ මාරියනි සහ ජර්මන් තානාපති යුර්ගන් වර්ත් යන මහත්වරුන් ඇතුළු 15 දෙනෙක් පමණ තුවාල ලැබුවා. ජර්මන් හා ඇමරිකන් තානාපතිවරුන් දෙදෙනා සුළු තුවාල ලබා තිබුණ අතර ඉතාලි තානාපතිවරයාගේ හිසට තුවාල සිදුවී තිබුණා. ඔවුන් වහාම යුනිකෝන් රථවල දාගෙන දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ ප්‍රතිකාර සඳහා මඩකළපුව රෝහලට අරගෙන ගියා.


ඇමති මහින්ද සමරසිංහ මහතා සමග කොළඹ සිට මඩකළපුවට ගොස් සිටි පිරිසට ජපන්, ප්‍රංශ සහ යුරෝපා සංගමයේ තානාපතිවරුන් ද එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනේ යුනිසෙෆ් ආයතනයේ හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතවරුන් ද ඇතුළත්ව සිටියා. ඇමතිවරයා ඇතුළු මේ පිරිසට කාල තුවක්කු ප්‍රහාරයෙන් කිසිම හානියක් සිදු වුණේ නැහැ.”


කොටින්ගේ මෙම ප්‍රහාරයෙන් ඉතාලි, ඇමරිකන් හා ජර්මන් තානාපතිවරුන්ට අමතරව ආපදා කළමනාකරණ, මානව හිමිකම් අමාත්‍යාංශයේ නිලධාරිනියක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තිදෙනෙක් ද ගුවන් හමුදාවේ භටයෝ දෙදෙ​නෙක් ද කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් ද උපපොලිස් පරීක්ෂකයෙක් ද පොලිසි​යේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් සහ 13 හැවිරිදි පාසල් සිසුවියක් ද තුවාල ලබා සිටියහ.


තුවාල ලැබූ සියලු‍ දෙනා මඩකළපුව, පොළොන්නරුව හා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
එල්.ටී.ටී.ඊ. කාල තුවක්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමරිකන් තානාපති රොබට් බ්ලේක්, ඉතාලි තානාපති පියෝ මරියානි හා ජර්මන් තානාපති යුර්ගන් යන මහත්වරුන් මඩකළපුව රෝහලේ ප්‍රතිකාර ලබාගෙන දිවා ආහාරය ගැනීමෙන් පසු ඇමතිවරයා ඇතුළු සියලු‍ දෙනා කලින් යොදාගත් පරිදි සාකච්ඡාව පැවැත්වීමට නාවල් අඩි හමුදා කඳවුරට ආවා. යුද හමුදාවට අයත් ආරක්ෂිත රථවලින් තමා මේ සියලු‍ දෙනාම නාවල් අඩි හමුදා කඳවුරට කැඳවාගෙන ආවේ. එදා මුළු ප්‍රදේශය පුරාම දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණා. වාකරේ අවතැන්ව සිටි ජනතාවට සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාව යොදාගත් අන්දමට පැවැත්වූවා. සාකච්ඡාව පැය දෙකක විතර කාලයක් පැවත්වූවා කියා මට මතකයි. මේ සාකච්ඡාවට මාත් සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් සහභාගි වුණා. සාකච්ඡාව ඉවර වෙලා ඇමතිවරයා ඇතුළු පිරිස කොළඹ බලා පිටත්ව ගියා. කොටි එදා මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ විදේශීය තානාපතිවරුන්ට ඔවුන්ගේ බලය පෙන්වා බිය වැද්දීම සඳහා කියා පසුව අපට දැනගැනීමට ලැබුණු බවද විශ්‍රාමික මේජර්වරයා කීය.


එල්.ටී.ටී.ඊයේ. මෙම කාල තුවක්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාව එදා පෙරවරුවේ මඩකළපුව තොප්පිගල ප්‍රදේශයේ පිහිටි කොටින්ගේ ප්‍රධාන පෙළේ කඳවුරකට හා කාල තුවක්කු ස්ථාපිත කර තිබූ ස්ථානයකට ගුවනින් ප්‍රහාර එල්ල කර විනාශ කර දමා තිබිණි.


ගුවන් හමුදාවේ කෆීර් යානා මහත් අධිබලැති බෝම්බ හෙළා මේවා විනාශ කර දමනු ලැබූහ. මෙම කඳවුරට අමතරව, වව්නතිව්, කරදියනාරු සහ ඉලු‍ප්පඩිචේන යන ප්‍රදේශවල පිහිටි කොටින්ගේ කාල තුවක්කු හා මෝටාර් අවි ස්ථාන ගත කර තිබූ ප්‍රදේශවලට ද බෝම්බ හෙළා තිබිණි.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් රහිත යානා මගින් ලබා ගත් ඡායරූප නිරීක්ෂණය කර කාල තුවක්කු හා මෝටාර් අවි ස්ථානගතකර තිබෙන ප්‍රදේශ හඳුනාගෙන මෙම ප්‍රහාරයන් එල්ල කළ බව ගුවන් හමුදාව පසුව ප්‍රකාශයට පත් කරන ලදි.

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

ඇමැති - තානාපති හිසට ඉහළින් කාලතුවක්කු උණ්ඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 585 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17445 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 713 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site