IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


වමේ කඳවුරේ පිපුණ රතු මල

 

 

අප මෙතෙක් කතාබහ කළේ සම සමාජයේ හවුල්කරුවන් ගැනය. එහෙත් මෙහිදී අප විසින් යළි එම කතාපුවතට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ගැනද කිව යුතුව ඇත. එය දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ කළු වලාකුළු සිරිලක හැම ගම් දනව්වක්ම තෙරපෙමින් තිබුණු කාලපරිච්ඡෙදයකි. නිදිගැට හැරදා අවදි වූ ජාති හිතෛෂීන් තම දේශයට සිදුවන්නට යන අභාග්‍යයේ ස්වරූපය කුමක්දැයි වටහා ගන්නට තැත් කළේ සම සමාජ පක්ෂය විසින් ගෙන යනු ලැබූ ජනතාව අවදි කිරීමේ ව්‍යාපාරය තුළින් ලද නව පන්නරය මගිනි.


මේ වන විට පාලකයෝ රටේ පාලනය තමන් අතින් බැහැර කරන්නට සමත් බලවේගයක් මතුව එන බව හොඳින් වටහා ගත් අතර එම බලවේගය සුනුවිසුනු කරන්නට නම් පළමුව එහි නියමුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට පියවර ගත යුතු යැයි අවබෝධ කර ගත්හ.


මුළු රටම පෙළ ගැසෙන්නට විය. ගම හා නගරය යනු දෙකක් නොව එකක් බවට පත් කරමින් ‘සම සමාජය’ පුවත්පත සිය උපරිම ශක්තිය යොදවමින් කතාව පෙළ ගස්වන්නට පටන් ගති. උගතුන් බුද්ධිමතුන් කරුණු කාරණා සහිතව ඉදිරිපත් කරන ලිපිලේඛන තුළින් සමාජයේ සිදුවන ක්‍රියාදාමය කුමක්දැයි යන්න පිළිබඳව හොඳ වැටහීමක් ලබාදිය හැකිවිය.


දිගින් දිගටම සිදුවන සමාජ විපර්යාසයකට මූලික හේතුව සම සමාජ පාක්ෂිකයන් බව වැටහුණ අධිරාජ්‍ය ගැති රජය නිරන්තර සෝදිසියෙන් සිටියේ මෙම පිරිස්වලට නායකත්වය දෙන ප්‍රධානීන් සිරගත කොට තබා නොගෙන රටේ සාමකාමී පාලනයක් ගෙන යා නොහැකි බව දැනුණු හෙයිනි.


රටේ මෙතෙක් කල් පැවති සාමකාමී වාතාවරණය තුරන් කරමින් වැඩපොළවල්හි වර්ජන පැවතෙමින් තිබිණ. කාර්යාල කටයුතු අඩපණ විය. ලංකා වතු කම්කරු සමිතිය මඟින් උඩරට වතුකරයේ ආරම්භ කරන ලද වැඩ වර්ජන තුළින් රටට අතිශය ලෙස ආදායම් ලබාදෙමින් සිටි තේ වැවිලි ආර්ථිකයේ නියම ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි විය. හදිසි නීතිය යටතේ වතු කම්කරු සමිතිය තහනම් විය. එයින් නොනැවතුණු රජය ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් සිරභාරයට ගන්නට තීරණය කෙරුණි.


නිරන්තරව සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත්ව සිටි සම සමාජ නායකයන්ගේ හදිසි රැස්වීමක් පැවැත්වුණි. ඉදිරියේ දී විය හැකි ආපදාවලට එඩිතරව මුහුණ නොදුනහොත් මෙතෙක් කලක් ගෙන ගිය ඇපකැප වීම සුන්නද්දූලි බවට පත් වෙතැයි ඔවුහු කතිකා කළහ.


රහස් සංවිධානයේ කටයුතු භාර වූයේ රොබට් ගුණවර්ධනටය. ඔහුගේ සහායට ඩොරික් ද සූසා සහ රෙජි සේනානායක ඇතුළත් විය. සම සමාජ පුවත්පත කෙසේ හෝ නොකඩවා පළ කිරීමටත් පවත්වාගෙන යාමටත් යොමු කෙරුණේ පී. ඒ. ටී. පෙරේරාටය.


පක්ෂ නායකයන් සිරභාරයට ගැනීම අනිවාර්ය සිද්ධියක් බව දැන සිටියත් පිලිප් තම සොහොයුරු රොබට් හමු වී උපදෙස් දුන්නේ රහසිගත සංවිධානය නියමාකාරව කරගෙන යන අතරතුරේ දී පළාත්බද තරුණ පිරිස් දැනුවත් කරන ලෙසටත්ය.


මෙහිදී අප විසින් සඳහන් කළ යුතු සුවිශේෂී කරුණක් ඇත. පිලිප්, රොබට් තම දරුවන් වුවද තමාගේ දියණියකගේ කුසෙහි උපන් විවියන්ද මෙම සම සමාජ ගමන් මඟෙහි වීරෝදාරයන්ව සිටි වගයි. බොරළුගොඩ රාලහාමි මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරයේ ප්‍රධානතමයා වූයේය. ඔහු සිය දූ දරුවන්ගේ සමාජවාදී ව්‍යාපාරයට අතහිත දෙමින් තමන් සතුව පැවැති අක්කර තුන් දහසක් පමණ වූ ඉඩකඩම් විකුණා දමා සැහැල්ලුවෙන් ජීවත් වූයේ ‘අපේ රට, අපේ ඡන්ම භුමිය තමාගේ දරුවන් කරන අරගලය වෙනුවෙන්ය’ යන උද්ධෘතය සිහි තබාගෙනය. 


1940 ජුනි 30 වැනිදා රාජ්‍ය විරෝධී කටයුතු ගැන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය. ඒ අනුව සම සමාජ පක්ෂ නායකයන් සිරභාරයට ගැනීමටත් ඔවුන්ගේ වෘත්තීය සමිති තහනම් කිරීමටත් සමසමාජ පුවත්පත විකුණා අසුවන පුද්ගලයෙකුට අවුරුදු හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලැබෙන බවටත් නිවේදනය විය. රජයේ නිවේදනය නොතකා හරිමින් ‘සම සමාජය’ පුවත්පත අලෙවි කරමින් සිටි තිදෙනෙකු අල්ලා ගත් පොලිසිය වුන් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔවුන් තිදෙනාට හත් අවුරුද්දක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම විය.


කලින් කතිකා කරගත් පරිදි ලෙස්ලි ගුණවර්ධන සැඟවී සිටින්නට තෝරා ගත්තේ රිචඞ් පීරිස්ගේ නිවසය. ටික දිනක් සැඟවී සිටියත් කිසිවකු තමා ගැන සොයන වගක් නොපෙනුණ බව පැහැදිලි කළත් එය නොඇසූ ලෙස්ලි තම නිවහනට ගියේ විවියන් පළමු දරුවා බිහි කරන්නට සූදානම්ව සිටි හෙයිනි. විවියන්ගේ තත්ත්වය තේරුම් ගෙන සිටි පිලිප් ගුණවර්ධන විවියන්ගේ තනියට තම බිරිඳ කුසුමා එහි රඳවා තිබිණි.


රිචඞ් පීරිස්ගේ ගෙදරින් ලෙස්ලි පිටවූ දිනයේම උසාවියේ සිටිය දී කොල්වින් සිරභාරයට ගැනුණි. මේ ආරංචිය පිලිප්, ඇන්. ඇම්. ට දුරකථනයෙන් දැනුම් දුනි.


ඊළඟ වාරය තමාට බව කල්පනා කළ ඇන්. ඇම්. කොතැනක හෝ සැඟවී සිටිය යුතු යැයි තීරණය කළේය. කොතැනකට ගියත් නිකරුණේ සිටිය නොහැකි යැයි සිතු ඇන්. ඇම්. දිව ගියේ තම පුස්තකාලයටය. කියවන්නට සුදුසු පොත් තෝරා ගන්නට ගිය ඔහුට කාලවේලාව අමතක විය. පොත් මිටියක් පරෙස්සමින් තෝරාගෙන එළියට එන විටම පොලිස් හමුදාවක් පැමිණ ඇන්. ඇම්. අත්අඩංගුවට ගනු ලැබිණි.


කාලයකට පසුව ගෙදරට පැමිණි ලෙස්ලි, විවියන් පිළියෙල කළ බත් මාළු පිනි කෑවේ දැඩි රුචියකිනි. තමා නිදහස් මිනිසෙකු යැයි ඔහුට හැඟීමක් ඇතිවිය. සැනසිල්ලේ සිටි ඔහු තද නින්දකට වැටුණි. ලෙස්ලි අල්ලා ගන්නට රිචඞ් පීරිස්ගේ ගෙදරට ගිය පොලිස් හමුදාවට ලෙස්ලි එහි නොමැති බව පෙනුණි. මේ වන විට ලෙස්ලිගේ නිවස වටාද පොලිස් කණ්ඩායමක් මුරට යොදා තිබුණි. යන එන්නවුන් ගැන දැඩි සෝදිසියෙන් පැවතුණි.


කොල්වින්, ඇන්. ඇම්. සිරභාරයට ගෙන සිටින බව දැනගත් සම සමාජ පක්ෂයේ ඉහළ පෙළේ පිරිස දැඩි කලබලයකට පත් වී සිටියහ. ලෙස්ලි ගුණවර්ධන පොලිසියට අසු වුවහොත් අවස්ථාවේ හැටියට විශාල පාඩුවක් වෙතැයි සිතු ජැක් කොතලාවල හා රෙජී පෙරේරා රේසිං කාරයක නැඟී ලෙස්ලිගේ නිවසට ගියහ. හදිසියේ පැමිණි මේ වාහනය, පරීක්ෂා කළ පොලිස් පිරිස එහි ලෙස්ලි නොමැති බව දැක ඔවුන්ට යන්නට හැරිය ද සැප නින්දකට යොමු වී සිටි ලෙස්ලි හදිසියේ අවදි වූයේ ඔවුන් තම ඇඳ ළඟටම පැමිණ එළිකළ පුවත සමගිනි.

 

 


නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි



අදහස් (0)

වමේ කඳවුරේ පිපුණ රතු මල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 398 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16741 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 646 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site