IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වතුකරය ගිනියම් කළ කම්කරු සටන්

 

අගනුවර ආශ්‍රිතව පැවති විශාල කර්මාන්ත සියල්ලකම වාගේ වෘත්තිය සමිති ඇරඹෙන්නට විය. තේ හා රබර් අසුරන කර්මාන්තශාලා, මුද්‍රණාල සහ හෝටල් කම්කරුවන්, වෙළෙඳසැල්, මුද්‍රණශාලා ආදී විවිධ අංශයන්ට මෙය ව්‍යාප්ත වන්නට පටන් ගති. මෙසේ විසිර තිබූ සියලුම වෘත්තිය සමිති ඒකාබද්ධ කරමින් ලංකා කම්කරු සමිති සම්මේලනය ආරම්භ වූයේ 1940 දෙසැම්බර් 14 වැනිදාය. 


මෙම එකමුතු සංවිධානයෙහි සුවිශේෂී ලක්ෂණයක් වූයේ එහි සභාපතිත්වයට කම්කරු අංශයට සම්බන්ධ නොවූවකු පත්වීමය. මෙරට වෘත්තීය සමිති ඉතිහාසයෙහි සන්ධිස්ථානයක් වශයෙන් ලංකා කම්කරු සමිති සම්මේලනය හැඳින්විය හැක්කේ නිදහස් අරගලයෙහි දැවැන්ත මෙහෙවරක් කළ උඩකැන්දවෙල සරණංකර හිමියන් මෙහි සභාපතිත්වයට පත්වීමය. 


අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත්ව එතුමන්ගේ එකී ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ඉන්දියාවට ගොස් ඉන්දීය ජාතික නිදහස් සටනට සම්බන්ධවීම නිසා කිහිප වතාවක් සිරබත් කෑ සරණංකර හිමියන් මෙරට අධිරාජ්‍යවාදී පාලකයන් විසින් කිහිපවරක් දඟ ගෙට යවන ලද්දෙකි. ලංකා කම්කරු සමිති සම්මේලනයේ සභාපතිත්වය උන්වහන්සේට ලැබීම වමේ ජාතික ව්‍යාපාරයටද ශක්තියක් ගෙන දෙන්නක් විය.


කම්කරු පන්තියේ ප්‍රශ්න පිළිබඳ මන්ත්‍රණ සභාව තුළත් ඉන් පිටතත් සටන් කිරීමෙහි මූලිකයන් වූයේ ඇන්. ඇම්. සහ පිලිප් ගුණවර්ධන යන රාජ්‍ය මන්ත්‍රීවරුන් දෙදෙනාය. අගනුවර ආශ්‍රිතව මෙසේ කම්කරු ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට සමසමාජ නායකයන් ඇප කැපවී සිටියදී වතුකරය තුළද කම්කරු ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය යුතු බවට ඔවුහු අදහස් කළහ. 


වතු කම්කරුවෝ එදා ජීවත් වූයේ අතිශය පීඩාකාරි වාතාවරණයකය. ඔවුන් සමාන වූයේ මනුෂ්‍යන්ට වඩා තිරිසනුනටය. ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබිණ. නිවාඩුවක් නොලැබිණ. අවම වශයෙන් දරුවෙකු ප්‍රසූත කළ ස්ත්‍රියකට පවා නිවාඩු ලබාදීමක් නොවීය. වතු අධිකාරිවරු ඔවුනටම වෙන් වූ අධිරාජ්‍යයක් ගොඩනගා ගෙන සිටියහ. 
මෙකී පසුබිම වෙනස් කරලීමට සමසමාජ පාක්ෂිකයකු වූ වතු අධිකාරිවරයකුව සිටි බ්‍රෙස්ගර්ඞ්ල් කළ මෙහෙවර තුළින් වතු කම්කරුවන් යම්කිසි ගමන් මඟකට අවතීර්ණ විමේ මං දොරටු හැරෙමින් තිබිණි. ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙන් 1939 දී බදුල්ල නගරයේ පැවති මැයි දින රැලිය කම්කරු හැඟීම් පුබුදුවාලූ සන්ධිස්ථානයක් විය. කඳුකරයෙන් නගරයට ආ කම්කරුවන්ගෙන් බදුල්ල නගරය පිරී ඉතිරී යන්නට විය. 


1939 අගෝස්තු මස 10 වැනිදා ඇන්. ඇම්. ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සමස්ත ලංකා වතු කම්කරු සමිතියට වතුකරයේ හැම වත්තකම ශාඛා සංවිධාන පැන නඟින්නට පටන් ගති. කම්කරු සටන් ඉතිහාසයේ මෙන්ම ව්‍යවස්ථාදායකයේ ඉතිහාසයේද සුවිශේෂි සටනක් තැබූ මුල්ඔය සටන මෙහෙය වුණේ ඇන්. ඇම්. ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා වතු කම්කරු සමිතියයි. තමන්ට උරුම විය යුතු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් මූලිකව කටයුතු කළ සිවනාදන් සහ ඔහුගේ බිරිඳ සේවය කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් මුල්ඔය වත්තේ කම්කරුවන් ලෙසය. කම්කරු පිරිස් තම ශාඛාවට බඳවා ගැනීමට උනන්දුවී කටයුතු කිරීමත් සමසමාජ පක්ෂයට අයත් දේශපාලන කටයුතුවල නිරතවීමත් යන චෝදනා පිට සිවනාදන් සහ ඔහුගේ බිරිඳ හිටි හැටියේ රැකියාවෙන් දොට්ට දැමිණ. 


මොවුන් දෙදෙනාට යළි රැකියාව ලබාදෙන ලෙස ඉල්ලමින් සියලු කම්කරුවෝ වැඩ වර්ජනයකට එක්වූහ. පාලකයන් කම්කරුවන් සමඟ සාකච්ඡාවකටවත් එක් නොවී දින කිහිපයක් යද්දී වර්ජනයට ආධාර දීමට ලයින් කාමරයකට වී කම්කරුවන් සමඟ කතා කරමින් සිටි වේළුසාමි පොලිසිය ලවා සිරභාරයට ගනු ලැබීය.


දිනය 1940 ජනවාරි 10 වැනිදාය. මෙතෙක් කලක් වහලුන් මෙන් වෙහෙස දරමින් සිටි කම්කරුවෝ සටන් මඟට පිවිසියහ. වතු පාලකයෝ ආණ්ඩුවේ හා පොලීසියේ සහාය ඉල්ලූහ. මොහොතකින් ආයුධ සන්නද්ධ පොලිස් බළඇණියක් මුල්ඔය වත්ත ආක්‍රමණය කළහ. දිගට හරහට වෙඩි තබමින් ඉදිරියට ආ පොලිස් බළඇණියේ කෙනෙකුගේ වෙඩි පහරකින් ‘ගෝවින්දන්’ මැරී තිබුණි. පොලිස්  ට්‍රක් රථයකට යට කළ ‘පෙරියසාමි’ බරපතළ තුවාල ලැබීය. 


කන්ද උඩරට වතුකරයම කලබලයට පත්විය. සිද්ධිය සැල වූ ඇන්. ඇම්. මුල්ඔය වත්තට ගියද ඇතුළුවීමටත් ඉඩ නොලැබිණි. ගිනි අවි රැගත් පොලිස් සේනාංක වත්තට කිසිවකුට ඇතුළුවීමට ඉඩ නොදෙමින් පේළි ගැසී සිටියහ. මුල්ඔය වත්ත පෙනි පෙනී ඉදිරි වත්තකට ඇන්. ඇම්. ගමන් ගත්තේ දස දහසකටත් අධික කම්කරු ජනතාවක් එහි එක්රොක් වී සිටි හෙයිනි.


ගෝවින්දන්ගේ මිනිමැරුම පිළිබඳ මහේස්ත්‍රාත් විභාගය පසුදින මහනුවරදී පැවැත්වෙන හෙයින් මහනුවර දක්වා පෙළපාළියකින් පැමිණෙන ලෙස මෙහිදී ඇන්. ඇම්. පැමිණ සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සැතපුම් 28ක් මහමඟ ගෙවාගෙන පැමිණි පෙළපාළිය මහනුවරට ළඟා වූයේ මහ රෑ දොළහට පමණය. 


ගෝවින්දන්ගේ මරණය සාධාරණ මිනීමැරුමක් බව මහේස්ත්‍රාත් නිගමනය විය. එහෙත් මහනුවර කච්චේරියේදී පවත්වන ලද වැඩ වර්ජනය පිළිබඳ වූ පරීක්ෂණයේ දී ඕනෑම කම්කරුවකුට වෘත්තිය සමිතියකට බැඳීමට අයිතියක් ඇති බවත් එම වැඩ වර්ජනයට සහභාගි වූ කිසිම කම්කරුවකුට දඬුවම් නොකිරීමටත් වැඩ වර්ජනයක් කිරීමට පෙර තම දුක් ගැනවිලි පාලක පක්ෂයට දැනුම් දිය යුතු බවටත් තීරණය විය. ඒ සමඟම වතු කම්කරුවන්ගේ පඩිය සත 16කින් වැඩි කිරීමට තීරණය විය. 


මෙතෙක් කලක් මුළුල්ලේ නිහඬව වහලුන් මෙන් ඩහදිය හෙළමින් සිටි වතු කම්කරුවන්ට තමන්ටය කියා ආත්මගරුත්වයක් තිබෙන්නේය යන හැඟුමක් ඇති කරනු ලැබූයේ සමසමාජවාදීන් ගෙන ගිය දැවැන්ත අරගල තුළිනි. කන්ද උඩරට මුළු වතුකරයම එකාවන්ව සටන් මඟට එක්වන්නට පටන් ගත්හ. වේවැස්ස, නුවරඑළිය, වැලිමඩ, ඇටැම්පිටිය, ඇල්ල, දෙමෝදර, බදුල්ල, වේවැල්හින්න, කඩියලෙන ආදී වතුයායවල කම්කරුවෝ තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් වර්ජනයෙහි නිරත වන්නට පටන් ගත්හ.

 

 


නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි



අදහස් (0)

වතුකරය ගිනියම් කළ කම්කරු සටන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site