IMG-LOGO

ලෙයින් කඳුළෙන් ලියැවුණ සටනේ සටහන්

ගිලන් වූවන් ඉන් මුදවාලීමේ, ඔවුනගේ කයික, මානසික හා සමාජමය, සෞඛ්‍යය මනාව පවත්වාගෙන යාම වැනි බැරෑරුම් කර්තව්‍යයන් උදෙසා වසර පහකට වැඩි කාලයක් අති දුෂ්කර අධ්‍යයන පාඨමාලාවක යෙදෙන වෛද්‍ය ශිෂ්‍යයන් වන අපි අන් කවුරුවත් නොව, අව්වේ, වැස්සේ, අතුරේ, පලංචියේ දිවා රෑ නොබලා ගත වෙහෙසවන ඔබේ ම දූ දරුවන්, සොයුරු සොයුරියන් වන්නෙමු.

යන්තම් බහ තෝරන වියේ සිට ගිනියම් අව්වේ පාපොඩි තබමින් පාසල් බසයේ තෙරපෙමින්ද නේවාසිකාගාරයේ අනේක හිරිහැර විඳිමින්, ගල්ලෑලි, ගල්කූරු, පැන්සල්, කොපි පොත් උදෙසා පමණක් නොව, උදේ ආප්පයට, තේ උගුරට, කැන්ටිමේ බනිස් ගෙඩියට අත මිට නැතිකමින් වධ වේදනා සිතින් දරාගෙන, අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා, දොළොස් අවුරුද්දකටත් අධික කාලයක් දහසකුත් එකක් දුක් ගැහැට ඉසිලූ අපි, නෙතේ කඳුලට ගතේ දහඩියට පින්සිදු වන්නට වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා අද සුදුසුකම් ලැබ සිටිමු. මාරාන්තික තරඟයකින් පසු අප ළබැඳි සොයුරු, සොයුරියන් බොහෝ දෙන එක ලකුණක් හෝ දෙකක් මද වූ පාපයෙන් ඉබාගාතේ යමින් සුසුම් හෙළද්දී කුසලතාවයන්ගේ හා වෙහෙස මහන්සියේ මහිමයෙන් අපි සරසවි වරම් ලැබ සිටිමු. 


එසේ දුෂ්කරතාවයේ පතුලේ කිමිදී, අපි ලබා ගත් එම උසස් අධ්‍යාපන දායාදය අවම වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටවත් නොමැති, එසේ නැත්නම්, එම විභාගය මුළුමනින්ම අසමත්වූ හෝ විෂයයන් එකක් දෙකක් යන්තමින් සමත් පුයරු බබාලා රැළකට මුදල් බලය හා පෙළපත අනුහසින් පිරිනැමීම, ඔබේ දූ දරුවන්, සොයුරු සොයුරියන් වන අපට කරන ලද අතිශය අසාධාරණයකි, අකටයුත්තකි. 

 

 

වත්මන් රජය බලයට පත්වූ දා සිට ම රජය සතු සියලුම ආයතන පෞද්ගලික අයිතියට පවරා දීමට සියලු වෑයම් දරමින් සිටී. ගමනා ගමනය, සෞඛ්‍ය සේවාව, වාණිජ ක්ෂේත්‍රය යනාදී අංශ බොහොමයක් ඉතා සූක්ෂම අන්දමින් දැනටමත් පෞද්ගලික අංශයට පවරා දී ඇත. එසේ පෞද්ගලික අංශය විසින් ආක්‍රමණය කර ඇති අංශ දෙස හොඳින් බලන විට පැහැදිලිව පෙනී යන්නක් නම් රජය මගින් පවත්වාගෙන ආ එම සේවාවන් අද රාජ්‍ය අංශයෙන් ඉටුවන්නේ ඉතාමත් අන්ත පිරිහුණ අකාර්යක්ෂම විලාසයකින් බවයි. මග හිට හිට යන මගම හා දැනටමත් කිසිදු වැදගම්මකට නැති අන්ත පිරිහුණු ආයතන බවට පත්වන දිනය එතරම් වැඩි ඈතක නොවනු ඇත. 


පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවා නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කර දමන්නට මෙසේ අසාධාරණ පියවර ගත් වත්මන් රජය එයිනුත් නොනැවතී, අපේ නිදහස් අධ්‍යාපන ආයතනය වන කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධියම පෞද්ගලික වෛද්‍ය සිසුන්ටත් ලබාදීමට කුරිරු උපාය මාර්ග දැනටමත් ගෙන ඇත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස සලකා කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු සම්පත් පෞද්ගලික වෛද්‍ය සිසුනට පරිහරණය සඳහා ලබා දීමට හා අපේ උපාධියම සම්පූර්ණ ආසාධාරණ පදනමක් මත පෞද්ගලික වෛද්‍ය සිසුන්ට පිරිනැමීමට රජය සියලු විධිවිධාන යොදා ඇත. 


ලක් ඉතිහාසයේ මුල් වරට එසේ රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් පෞද්ගලික ආයතනයකින් විකිණීමේ අරමුණ ඉටුකර ගැනීම උදෙසා අවසන් උපාධි පරීක්ෂණය මෙම මස 31 දා පැවැත්වීමට යයි. වසර 5ක් තිස්සේ ඉතාමත් කූට හා සූක්ෂම උපක්‍රම යොදමින් දිගින් දිගටම ගෙන ආ ඔවුන්ගේ අත්තනෝමතික ව්‍යාපාරය ජයග්‍රහණය කිරීමට ඇත්තේ තව මාසයකටත් අඩු කාලයකි. කොළඹ හතේ උසස් පැළැන්තියේ කුමාර කුමාරිකාවන් එම්.බී.බී.එස්. උපාධියෙන් අභිෂේක කරවීමේ සමාජ අසාධාරණයට එරෙහිව ඔබ හඬ නගනවා නම් හඬ නැගිය යුතු අවසාන වාරය එළඹ ඇත. සොයුර සොයුරිය!


මෙම අයුතු, අසාධාරණ ක්‍රියාවලියට විරුද්ධ ව වෛද්‍ය පීඨ සිසුන් වන අපි එදා සිට අද දක්වා අනේකවිධ උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි යෙදුනෙමු. වර්ජන, පිකටින්, පත්‍රිකා බෙදීම්, පෙළපාළි, රැස්වීම් යනාදී ක්‍රියාමාර්ගවලින් නොනැවතී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වැටලීම, කොළඹ මහ රෝහලේ විරෝධතා ව්‍යාපාර පැවැත්වීම යනාදී අනේකවිධ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට එළැඹුණෙමු. 


සියලු ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාලන බවට මොරදෙන රජය මේ අසාධාරණ තීරණවලට එරෙහිව අප සාකච්ඡාවලට සහභාගී වූ අවස්ථාවල අප හට දුන්නේ ඉතා නින්දනීය හා සංවේගජනක පිළිතුරුය. මේ පිළිබඳව උසස් අධ්‍යාපනයේ ස්ථීර ලේකම් ස්ටැන්ලි කල්පගේ සාකච්ඡාවලදී පැවසුවේ “ඔබට ඡඵක්‍ යට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නම් මෙම රජය පෙරළා දමන්න” යනුයි. 


ඉතින් දයාබර අම්මේ, තාත්තේ, සොයුර, සොයුරිය අපට පමණක් නොව ලක්‍ෂසංඛ්‍යාත වූ අනාගත ශ්‍රී ලාංකික දරු දැරියන්ට අහිමි වන්නට යන නිදහස් අධ්‍යාපනයේ අවසන් අයිතීන් කිහිපයවත් රැකගැනීමට අපි නොපසුබට සටනක නිරතව සිටිමු. අනාගතයේ උපාධිය කඩවලින් පොකුරු පිටින් බිහිවන ධනයෙන් බලයෙන් සපිරුණත් මොළ කඳුලක් නැති ඔලමොට්ටල දොස්තර මුදලාලියන්ගෙන් රටටත් ජනතාවටත් විඳින්නට සිදුවන අනිටු ඵලවිපාක පිළිබඳව අවතක්සේරු නොකරන ලෙසටද ඔබෙන් ඉල්ලා සිටිමු. දැනට මහාචාර්යවරුන් පවා පිළිගෙන ඇති පරිදි අඩු පුහුණුවකින් පසුව පිටවන පෞද්ගලික වෛද්‍ය සිසුන් මිනීමරුවන් පිරිසක් නොවන්නේ යැයි සහතික කරන්නේ කවුද?


ඈත පිටිසර ගම් දනව්වල අන්ත දුගී පවුල්වලින් පවා රටේ ජාතියේ භාග්‍යයට බිහිවන සහජ හැකියාවන්ගෙන් හා පිරිපුන් බුද්ධියෙන් යුතු ජාතියේ දරුවන් රටේ වගකිවයුතු ස්ථානවලට පත් වී රටේ අනාගතය සමෘද්ධිමත් කරවීමට ඉදිරිපත්වීම වළකමින් නිදහස් අධ්‍යාපනය වනසමින් රජය ගෙන යන දුෂ්ට ක්‍රියාමාර්ගයන්ට එරෙහිවී වෛද්‍ය උපාධිය ජඩයන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට රටට දැයට හිත ඇති ඔබ සියලු දෙනා පෙරමුණ ගන්නා මෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.


නිදහස් අධ්‍යාපනය එසේ අමු අමුවේ වනසමින් ජනතාවගේ පමණක් නොව සරසවි සිසුන්ගෙන් කතා කිරීමේ, ලිවීමේ, විරෝධය පෑමේ අයිතියද තඹයකට නොසලකා ගෙන යන අසාධාරණ කෲර පාලනය සත්‍ය වශයෙන් නින්දිතය, සංවේගජනකය. සිසුන් වන අපට හද කකියවන සුළුය. මෑත කාලයේදී ඉතාමත් අරුමපුදුම අයුරින් සරසවි සිසුන් දැඩි මර්දනයකට ලක් කර ඇත. අද වන විට අපේ සහෝදර සිසුන් 80ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. මහ රෑ මැදියමේ ආයුධ සන්නද්ධ හමුදා විසින් නිවෙස් වටලමින් නිදා උන් අහිංසක සිසුන් මෙසේ කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවට ගැනීම අප සැමගේ පරමාධිපත්‍යයට එල්ල කරන ලද මරුපහරක් ලෙස අපි දකිමු. නිදහස් අධ්‍යාාපනය මෙන්ම විනාශ වී යන ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ද රැකගැනීමට අද අදම උත්සුක විය යුතු බව සරසවි සිසුන් වන අපි පැහැදිලිව දකිමු. 


● නිදහස් අධ්‍යාපනයට අත නොතබනු 
● වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නවතනු 
● දුප්පත් සිසුන්ට සරසවි වසා දමන කොමිසම අකුලා දමනු 
● වසා ඇති සරසවි වහා විවෘත කරනු 
● බන්ධනාගාරගත කොට ඇති සරසවි සිසුන් වහා නිදහස් කරනු 

 

වෛද්‍ය ශිෂ්‍ය කමිටුව 
1987.07.01 දින දීය


වෛද්‍ය ශිෂ්‍ය කමිටුව වෙනුවෙන් එහි සමලේකම් වන හේමන්ත කුලසේකර වන මා විසින් කොළඹ 8, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මාවතේ පිහිටි මහජන මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රසිද්ධියට පත් කරන ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (2)

ලෙයින් කඳුළෙන් ලියැවුණ සටනේ සටහන්

sam Sunday, 19 November 2017 12:03 AM

මේ ලිපියේ අවසාන වාක්‍යය " නිදහස් අධ්‍යාපනය මෙන්ම විනාශ වී යන ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ද රැක ගැනීමට අද අදම උත්සුක විය යුතු බව සරසවි සිසුන් වන අපි පැහැදිලිව දකිමු " කියවපුවාම තේරෙනවා මේක සරසවි ශිෂ්‍ය කාලයේ පමණක් ඇතිවෙන රෝගයක් බව. පාස් අවුට්නා වුනාම ඔය රෝගය නිකන්ම සනීප වෙනවා. එහෙම නොවෙනවානම් ලංකාවේ නොයෙකුත් රැකියා කරමින් ඉන්නා උපාධිධාරීන් සියලු දෙනාටමත් මේ විධියේ අරගල මානසිකත්වයක් සැමදාටම තියෙන්න එපායැ!

:       1       59

ruchi Wednesday, 22 November 2017 02:33 PM

විශ්වවිද්‍යාල කියන්නෙත් අපගේ පාසල් දිවිවේ අවසාන අන්තය වේ. නමුත් විශ්වවිද්‍යාල සිසුන් හිතන්නේ මෙය වෙනම ලෝකයක් ලෙසය. ඔවුන්ට ලෝකය පාලනය කරන්නට පුළුවන් කියාය. මේවා නිකන් මෝඩ වැඩ. කුහකත්වය දොරේ ගලනවා. තමන්ගේ වයසේ කොල්ලෙක් හෝ කෙල්ලෙක්ට තමන්ට නැති දෙයක් තිබේ නම් ඇස් වලට කටු අනිනවා වගේ. ඕක තමයි තිත්ත ඇත්ත.

:       0       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 233 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 115 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1727 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site