IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රතිඤ්ඤා හඬට මහ රෑ කලබල වී

 

පළමු විධායක ජනපතිගේ නොපළ කතා - 02

 

මාදම්පේ වත්තේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ගත කරන කාලය තුළ නගරය හා ඒ අවට කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නැත.


මාදම්පේ හා ඒ අවට පදිංචි අයට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අද හෙට වත්තට පැමිණෙන බවට ඉඟියක් ලැබෙන්නේ නව නගරයේ සිට වත්තට යන මාර්ගය දෙපස කැලෑව එළිපෙහෙළි කරන නිසාය.


විධායක ජනාධිපති ධුරයේ සිටියදී පවා ජේ. ආර්. ජයවර්ධන මහතා මාදම්පේ වත්තට පැමිණ දින කිහිපයක් ගත කරන කාලය තුළ ආරක්ෂක භටයන් නගරය පුරා යොදවා ආරක්ෂාව තර කිරීමක් පුද්ගලයන් පරීක්ෂා කිරීමක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැත.
ඒ වෙන කිසිවක් නිසා නොව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් හා නියෝග අනුවය.


එසේ කර ජනතාව අපහසුතාවට හෝ පීඩාවට පත් කිරීමට ජේ. ආර්. කිසිම විටකවත් කැමැත්තක් දක්වා නොමැත.


ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිධුරය දරණ කාලයක සුපුරුදු පරිදි මාදම්පේ වත්තට පැමිණියේ දවස් කිහිපයක් වත්තේ පොල් අතුසෙවිලි කර මැටි ගසා තනා තිබූ නිවසේ තණ පිටි වැව් කොමළියගේ ද පහස විඳිමින් ගත කර යාමටය.


වත්තට යාබදව ගම්මානයක් පිහිටා ඇති අතර ඒ ගම්මානය ජයරත්නාගාරය යනුවෙන් හඳුන්වා ඇත. හිටපු ධීවර අමාත්‍යවරයකු වූ පුත්තලම දිස්ත්‍රික් හිටපු ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරයෙකුවද සිටි එස්. ඩී. ආර්. ජයරත්න මහතා විසින් ඉඩමක් රජයට පවරා ගෙන එය ඉඩම් නොමැති අය අතරේ බෙදා දුන් නිසා ජයරත්න මහතාට ගෞරව නාමයක් වශයෙන් ජයරත්නාගාරය යන නම තබා ඇත.


​මේ නිසා මේ ගම්මානයේ පදිංචිව සිටින බහුතරයක් ශ්‍රී ලංකා කාරයෝය.


ජේ. ආර්. වත්තේ රාත්‍රිය ගත කරමින් සිටියදී ජයරත්නාගාරය ගම්මානය දෙසින් එක දිගට රතිඤ්ඤා පත්තු වීමට පටන් ගෙන ඇත.
මේ මහ රෑ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරන්නේ කියා ජේ. ආර්. විමසා ඇත්තේ වත්තේ පාලකයා වූ වින්සන් ජයමහ මහත්මයාගෙනි.
සර් ආපු බව ආරංචි වෙලා ඒ සතුටට රතිඤ්ඤා පත්තු කරනවා යැයි වින්සන් ජයමහ මහතා පවසා ඇත්තේ ඇඟට පතට නොදැනීය.
නමුත් ඇත්තටම සිදු වී තිබුණේ එවැන්නක් නොවේ. එදා රෑ ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවලට පාන් ගණන් යාම නිසා එයට විරෝධය පළකිරීමට ජයරත්නාගාර ගමේ කට්ටියක් මෙසේ රතිඤ්ඤා පත්තු කර ඇත. එහෙත් ඒ බවක් ඒ වෙලාවේ වින්සන් ජයමහ මහත්මයා දැන සිට නොමැති අතර රතිඤ්ඤා පත්තු කිරීමට හේතුව පසු දින ඔහු දැන ගත්තත් ඒ බවක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එක්ක කීමට ගොස් ​නොමැත.


තවත් දවසක් වතු අධිකාරි වින්සන් ජයමහ මහතා සමග ජේ. ආර්. බැහැරක් ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මාදම්පේ සේනානායක මධ්‍ය මහා විදුහලේ හා මාදම්පේ කරුක්කුව සුගතානන්ද විදුහලේ සිසු සිසුවියන් පාසල නිමවා නිවෙස් බලා මාදම්පේ නගරය මැදින් ගමන් කරමින් සිට ඇත.


සිසු සිසුවියන් විශාල පිරිසක් පාරේ ගමන් කරනවා දුටු ජේ. ආර්. ජයවර්ධන ඔවුන් සමග කාර් එකේ සිටි ජයමහ මහතාගෙන් විමසා ඇත්තේ අයිසෙ ජයමහ මම මේ කල්පනා ක​ළේ මේ ළමයි ටිකටවත් ලොකු වුණාම රස්සා හොයලා දෙන්න කියාය.
​මේ කතා දෙකම ජේ. ආර්ගේ වතු පාලකයාව සිටි වින්සන් ජයමහ මහතා කියා තිබුණේ ඔහුගේ හොඳම මිතුරෙකුව සිටි මහවැව වෙළඳ ව්‍යාපාරික උපාලි රත්නායක මහතා සමගය. වින්සන් ජයමහ මහතා කී මේ කතා දෙකම මාත් එක්ක කිව්වේ මහවැව වෙළඳ ව්‍යාපාරික උපාලි රත්‍නායක මහතාය.


ජයමහ මහතා මිය ගියේ මීට වසර ගණනාවකට ඉහතදීය.


ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වී සිටි ජයමහ මහතාගේ දූ පුතුන් ද මාදම්පේ පදිංචිය අත හැර ගොස් ඇත. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා පඬුවස්නුවරට පැමිණ සී සෑමේ රාජ්‍ය උත්සවයට යාමට කලින් දවසේ මාදම්පේ නව නගරයේ පිහිටි ඔහුගේ වත්තට පැමිණ ඇත.


ඒ අවස්ථාවේ වින්සන් ජයමහ මහතාගේ දියණියට අකුරු කියවා ඇත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාය. තම දියණියට ජේ. ආර්. ජයවර්ධන මහත්තයා අකුරු කියවූ බව රත්නායක මහතා එක්ක කියා ඇත්තේ ද වින්සන් ජයමහ මහතාය.


ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට අයිති මාදම්පේ වත්තේ එතුමාගේ නමට මිලදී ගෙන තිබුණු ට්‍රැක්ටරයක් තිබුණා. ඒ ට්‍රැක්ටරය මැසි පර්ගියුෂන් 135 වර්ගයේ එකක්. ඒ ට්‍රැක්ටරයේ අංකය මට තාම හොඳට මතකයි. ජේ. ආර්ට අයිති ඒ ට්‍රැක්ටරයේ අංකය 36 ශ්‍රී 105.
ඒ කාලයේ මට මහවැව ටවුන් එකේ ගරාජ් එකක් තිබුණා. ඔය ට්‍රැක්ටරය අලු‍ත්වැඩියා කරන්නේ මට අයිති ගරාජ් එකෙන්. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා මාදම්පේ වත්තට ඇවිත් යන ගමන් මගේ ගරාජ් එක ළඟ වාහනය නවත්වා ට්‍රැක්ටරයේ සර්විස් එකට ගිය වියදම අහලා ඒවෙලාවෙම චෙක් එකක් ලියා මගේ අතටම දීලා යනවා. අවුරුදු ගාණක් යනකම් ඔය ට්‍රැක්ටරය අලු‍ත්වැඩියා කළේ මගේ ගරාජ් එකෙන් තමා.


අද වාගේ ආරක්ෂකයන් පිරිවරාගෙන එතුමා ගමන් කරන්නේ නැහැ. බොහොම නිහතමානී ගති පැවතුම් තිබුණ ජනාධිපතිවරයෙක්.
ඒ උපාලි රත්නායක මහතාගේ හඬයි.


මාදම්පේ නව නගරයේ පිහිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට අයත් ඉඩම ඔහුගේ පුත් රවි ජයවර්ධන මහතා විසින් විකුණා දැමුවේ මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියටය.


සමුපකාර සමිතිය විසින් මිලදී ගත් ජේ.ආර්ගේ ඉඩම පසුව කොටස් කර විකුණා දැමීය.


ජේ. ආර්.ගේ ඉඩම මිලදී ගෙන එය කොටස් කර විකුණා දැමුවේ එවකට මාදම්පේ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයාව සිටි වර්තමානයේ වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන පාලිත රෝහණ මහතාගේ මූලිකත්වයෙනි.


පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතා ඒ ගැන තොරතුරු හෙළි කරමින් මෙසේ කීය.


ජේ. ආර්. ජයවර්ධන මහතාට අයත් අක්කර 40 ක පමණ ඉඩම විකිණීමට යනබව දැන ගත් මා එතුමාගේ පුතා රවි ජයවර්ධන මහතාට දුරකථනයෙන් කතාකළා. අක්කර 32 ක් පමණ විකුණා දමන බවත් ඉතිරි අක්කර 8 වත්තේ සේවය කළ අය අතරේ නොමිලයේ බෙදා දෙන බව එතුමා ඒ වෙලාවේ මාත් එක්ක කියා සිටියා. රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අක්කර 32 මිලදී ගැනීමට තීන්දු වුණා. ඒ අනුව 2006 වසරේ කොළඹ වෝඞ් පෙදෙස් නිවසේදී ඉඩමට ඔප්පුව ලිව්වා. ඉඩමේ ඔප්පුව ලියන්න මාත් එක්ක ගියේ අධිනීතිඥ පී. එන්. ගුණවර්ධන මහත්තයා.


ප්‍රසිඩන්ට් පාර්ක් කියා මේ ඉඩම කොටස් කර වික්කා. මේ ඉඩම මිලදී ගෙන කොටස් කර වික්කේ විවිධ සේවා සමුපකාර සමිතිය විසින් බවද පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතා පවසයි.
තව ​කොටසක් ලබන සතියේ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

රතිඤ්ඤා හඬට මහ රෑ කලබල වී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 316 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site