IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මගෙන් උදුරාගත් මට හිමි විය යුතු ගෞරවය

 

කිසියම් පුද්ගලයකු ඇමරිකානු ඩොලර් මිලියන 140 ක් (සැබෑ පිරිවැයෙන් 50% ක්) එනම් රුපියල් බිලියන 15 ක් යටිමඩි ගසා ඇති බව මෙහිදී පැහැදිලිය. සැබැවින්ම මේ සියල්ලම එකතුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙවනු ලබනා බිලටය.


වර්තමාන ආණ්ඩුව යටතේ ෆ්‍රෑන්කන්ස්ටයින් යක්ෂයා පරිද්දෙන් පරිවර්තනයට ලක් කර ඇති මගේ එකම ව්‍යාපෘතිය නොරච්චෝලේ ව්‍යාපෘතිය නොවන බව සඳහන් කළ යුතුය.


හම්බන්තොට වරාය - මේ වනාහි උදක්ම නෞකාවන්ට ඉන්ධන ඇතුළු පහසුකම් සපයන වරායක් (Bunkering Port)  පමණක් විය යුත්තකි. මේ ගැන කරන ලද අධ්‍යයනයන් විසින් පෙන්වා දෙන ලද්දේ ශ්‍රී ලංකාව තුළ නෞකාගත භාණ්ඩ ප්‍රවාහනය උදෙසා එක් ප්‍රධාන වරායකට වඩා පවත්වා ගැනීම ලාභදායී නොවන බවකි.


සංස්කෘතික මධ්‍යස්ථානය - අපි මෙහිදී ඉතා වෙනස් සංකල්පයක් සහ වෙනස් ගෘහ නිර්මාණ සැලසුමක් ගැන කල්පනා කළෙමු. එය බෙහෙවින් සජීවී, ගතික ජනතා සංස්කෘතික මධ්‍යස්ථානයක් විය යුතුය (ප්‍රධාන ශාලාවට අමතරව විවෘත අවකාශයන් සහ ඇවැසි විටක පිවිසිය හැකි රඟහල් සහිතව) මගේ ආණ්ඩුව ජනතා මතකයෙන් මකා දැමීමට රාජපක්ෂ ආණ්ඩුව තැත් දැරූ ආකාරය එය කෙතරම් පහත් තාලේ ප්‍රයත්නයක් වුවද - පිළිබඳව ඇති එක් පැහැදිලි උදාහරණයක් වන්නේ මවිසින් උක්ත මධ්‍යස්ථානය ඉදිකිරීම පිණිස තබන ලද මුල්ගල ඉවත් කර දමා ඇති ආකාරයයි. මේ ව්‍යාපෘතියෙහි ගෞරවය වෙනත් අයකු විසින් අත්කර ගනිමින් තබන ලද නව මුල් ගලකින් පෙර මුල්ගල ඉවත් කෙරිණි. 
කොළඹ/කටුනායක අධිවේගී මාර්ගය - මේ ව්‍යාපෘතිය පළමුවෙන් 1999 වසරේදී ඇමරිකානු ඩොලර් 230 ක මුදලකට කොරියානු සමාගමකට පිරිනමන ලද අතර 2001 වසර වන විට ඉන් අඩක් පමණ සම්පූර්ණ කරන ලදී. 2002 වසරේදී මෙකී ටෙන්ඩරය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අවලංගු කරන ලද අතර යළිත් වරක් සැලකිය යුතු අඩු පිරිවැයක් සහ ඉතා පහත් පොලී අනුපාතයක් යටතේ 2005 වසරේදී මගේ ආණ්ඩුව විසින් ටෙන්ඩරය චීන සමාගමකට නැවත පිරිනමන තුරු එහි වැඩ නතරව තිබිණි. මෙකී ටෙන්ඩරයද නතර කරන ලද අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් ඊට වඩා බෙහෙවින් වැඩි පිරිවැයක් සහ පොලියක් මත එය නැවත පිරිනමනු ලැබිණි. මේ ව්‍යාපෘතියෙහි ගෞරවයටද හිමිකම් කීවේ රාජපක්ෂය. 


දක්ෂිණ අධිවේගී මාර්ගය - සැලසුම් සකස් කිරීම, අරමුදල් සම්පාදනය සහ ඉදිකිරීම් කටයුතුවලින් 50% සම්පූර්ණ කිරීම සිදුවූයේ මගේ ආණ්ඩුව යටතේ 2005 වසරෙහි අවසාන භාගයෙහිදීය. මෙහිදීද නැවත වරක් අර පුද්ගලයාම මෙහි ගෞරවයටද හිමිකම් කී අතර සැබෑ මුල්ගල ඉවත් කරනු ලැබිණි.


කොළඹ දකුණ වරාය - මේ ව්‍යාපෘතියද ආරම්භ කරන ලද්දේ මගේ ආණ්ඩුව සමයෙහිය. මගේ ආණ්ඩුව විසින් ටෙන්ඩර් කැඳවන ලද අතර ටෙන්ඩරය ප්‍රදානය කිරීම සිදුවූයේ රාජපක්ෂ ආණ්ඩුව මගිනි. ටෙන්ඩර් ප්‍රදානය තෙවරක් සිදුවූවා සේම තෙවරක්ම ටෙන්ඩර් අවලංගු කරනු ලැබිණි. ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී අක්‍රමිකතාවන් සිදුවූවේ යයි චෝදනා කරමින් ඇතැම් ටෙන්ඩර්කරුවෝ අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වූවෝය.


මෙහිදී වඩාත්ම විසුළු සහගත කරුණ ලෙස මට පෙනී යන්නේ පුරා වසර දහහතක් බලය අහිමිව සිටීමෙන් පසුව මවිසින් බලයට ගෙන එන ලද, එසේම පුරා වසර විස්සක කාලයක් බලයේ රැඳෙන්නට හැකිවන සේ මවිසින් ශක්තිමත් කරන ලද සහ බොහෝ සාර්ථක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද මගේ පක්ෂයෙන් ප්‍රධාන වශයෙන්ම සමන්විත වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන කාර්යයන්හී ගෞරවයට හිමිකම් පෑමට ඉදිරිපත් වීමයි.


දේශපාලන බලාධිකාරිය විළිබිය රහිතව ශ්‍රී ලංකාවේ මෙම යටිතල පහසුකම් ව්‍යාපෘතීන් පිළිබඳ ගෞරවයෙන් කොටසක් නොව මුළුමනින්ම එය තමන්ගේම ව්‍යපෘතියක් ලෙස හුවා දක්වමින් එහි පූර්ණ ගෞරවයට හිමිකම් කියමින් තම අභිමතය පරිදි ඒවා කොල්ලකා විකුණා දැමීමට උත්සුක වූ පසුබිමක මවිසින් දියත් කරන ලද බොහෝ සංවර්ධන ව්‍යාපෘතීනට අත් වූ ඉරණම මෙයයි.


ඉදින් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වැනි බලාධිකාරියෙහි ඉහළම ස්ථරයන්ට සමීපව කටයුතු කරනා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු 1948 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් ගැන කතා කිරීමේදී දැඩි විසුළු සහගත පිළිවෙතක පිහිටමින් 1994 - 2005 දක්වා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගය යටපත්කර දැමීමට මහත් සේ සැලකිලිමත් වූවෝය. මෙකී අවස්ථාවන්ට සහභාගී වූ පුද්ගලයන් මට පවසන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි මේ කාලපරිච්ඡේදය ඉන්දියන් සාගරයෙහි පත්ලටම ගිල්වා ඇත්තාක් මෙන් පෙනෙන බවයි. ආණ්ඩුවෙහි ඉතා වැදගත් පුද්ගලයන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝද මෙකී උපායමාර්ගයම අනුගමනය කරති.
මවිසින් කරන ලද උපකාරයන්ගේ පිහිටෙන් බලයට ගෙනෙනු ලැබූ පුද්ගලයන් මේ ආකාරයට ඊර්ෂ්‍යාපරවශව, දුෂ්ට අභිලාසයන්ගෙන් යුක්තව හැසිරෙනු දකින විට මට ශෝකයක් සහ අසහනකාරී බවක් දැනිණි. එහෙත් මගේ ආණ්ඩුව විසින් තමන්ගේ සුබසිද්ධිය උදෙසා ළඟාකරදුන් දේවල් පිළිබඳව මේ රටෙහි ජනතාවගෙන් බොහෝ පිරිසකට අමතකව නැතැයි යන සත්‍යය තුළින් මම නැවත දිරිය සහ ශක්තිය උපදවා ගත්තෙමි. මගේ ආණ්ඩුව විසින් අත්කරගනු ලැබූ විවිධ ජයග්‍රහණ ඇගයීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් මට සිය කතවේදීත්වය පළකිරීමට මහමගදී මෙන්ම විවිධ අවස්ථාවන්හිදී මා පුද්ගලිකව නොහඳුනන බොහෝ අය මා නතර කරගනිති. ඔවුන් සියල්ලම සිය කතාව අවසන් කරනුයේ මා නැවත දේශපාලන භූමිකාවට පිවිසීම වඩා යහපත් බව පවසමිනි. එසේම ඔවුහු නැවත දේශපාලනයට පැමිණෙන්නැයි පුන පුනා මගෙන් ඉල්ලීම් කරති.


විශාලතම වැටුප් වැඩිකිරීම සිදු කරන ලද්දේ මගේ ආණ්ඩුව යටතේ බවත් අවම දේශපාලන බලපෑම් යටතේ වඩා නිදහස්ව සහ අභිමානයකින් යුතුව කටයුතු කිරීමට හැකි පරිසරයක් රාජ්‍ය සේවයට නිර්මාණය කරන ලද්දේ මගේ ආණ්ඩුව විසින් බවත් පවසමින් රාජ්‍ය සේවකයන් නොයෙක්වර සිය ඇගයුම පළ කරද්දී මට ඉන් මහත් අභිමානයක් දැනී යයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වීමේ බියෙන් තොරව සාධාරණ ලෙස ක්‍රියාකිරීමට රාජ්‍ය සේවකයන්ට හැකියාව ලැබෙනා තත්ත්වයන් නිර්මාණය කිරීම යනු යහපාලනය උදෙසා වන මගේ දර්ශනයෙහි තීරණාත්මක අංගයක් බව කිව යුතුය. 

 

 


කිසිදු ආකාරයක කොමිස් මුදලක් හෝ අල්ලසක් නොගෙන මගේ දරුවන් හට විදෙස් අධ්‍යාපනය ලබාදීම පිණිස ඇවැසි වූ විශාල මුදල් ප්‍රමාණය සපයා ගැනීමට මා සමත් වූයේ කෙසේද යන්න පිළිබඳව කිසියම් ආකාරයක පැහැදිලි කිරීමකින් තොරව දූෂණය සහ යහපාලනය ගැන සඳහන් කෙරෙන කිසිම පරිච්ඡේදයක් සම්පූර්ණ නොවනු ඇත්තේය. මෙකී ක්‍රියාදාමය සම්බන්ධයෙන් මගේ ප්‍රතිවාදීන් විසින් විවිධ කතන්දර ගොතා ඇති අතර වෙනකක් තබා මගේ මිතුරෝ මෙන්ම ආධාරකරුවෝ පවා තමන් විශ්වාස කළ යුත්තේ කවර කතාවක්දැයි විපිළිසරව සිටියෝය. මම මෙතෙක් මේ කරුණ අරභයා මුනිවත රැකීමි. එනමුදු මේ විවේචනයන් නිහඬ කරනු පිණිස මා සහ මගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අදාළ විස්තර හෙළිකිරීම මගේ වගකීමකැයි මම කල්පනා කරමි.



අදහස් (0)

මගෙන් උදුරාගත් මට හිමි විය යුතු ගෞරවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site