IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ප්‍රභාගේ සහයට බාලසිංහම්

ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා තනා තිබූ ශාලාවේ පීඨිකාවේ ප්‍රභාකරන් වාඩිවී සිටි තැන ඔහු සමීපයේම වාඩි වී සිටියේ එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ය. මාලදිවයිනේ සිට ඇන්ටන් බාලසිංහම් හා ඔහුගේ බිරිඳ ඇඩෙලා පැමිණ තිබුණේ මාලදිවයිනේ සී ප්ලේන් ගුවන් යානයකිනි.


ජලය මත ගොඩ බෑමට හැකියාව ඇති සැහැල්ලු යානයක් වූ මෙම යානය ගොඩ බස්සවා තිබුණේ කිලිනොච්චිය ඉරණමඩු ජලාශයටය. දෙස් විදෙස් මාධ්‍යවේදීන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දී සමහර ප්‍රශ්නවලට උත්තර දුන්නේ බාලසිංහම්ය.


සමහර ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවකට පත්වූ නිසාදෝ ප්‍රභාකරන් බාලසිංහම් දෙස බැලුවේය. තම නායකයා කිසියම් අසීරුතාවකට පත්ව ඇති බව තේරුම් ගන්නා බාලසිංහම් ඒ ප්‍රශ්නවලට උත්තර දීමට ඉදිරිපත් විය.


බාලසිංහම් ප්‍රශ්නයට උත්තර දෙද්දී ප්‍රභාකරන් කළේ හිස වනා උත්තරය හරියැයි අනුමත කිරීමය. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය ගැන මාධ්‍යවේදීන් ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට කළේ බාලසිංහම් දෙස බැලීමය.


ප්‍රශ්නයට උත්තරය ලැබුණේ බාලසිංහම්ගෙනි.


ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂකයන් ඔහු වටකර ගෙන සිටි අතර එම ශරීරාරක්ෂකයන් අව් කණ්ණාඩි පැලඳ සිටි හැඩි දැඩි තරුණ කොටි සාමාජිකයෝ වූහ. ප්‍රවෘත්ති සාකච්ඡාවට ප්‍රභාකරන් ආවේ සෆාරි ඇඳුමකින් සැරසිලාය.


මුළු ප්‍රවෘත්ති සාකච්ඡාව පුරාවටම ප්‍රභාකරන් වට පිට දැඩි විපරමින් බලන ආකාරයක් පෙනෙන්නට තිබිණි. අපිත් එක්ක සිටි මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් මේ දසුන දුටු පසු කිව්වේ ප්‍රභාකරන් කිසියම් අපහසුතාවකට පත්ව සිටිනවා කියාය.


අපේ නායකයාගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති විය හැකි නිසා චන්ද්‍රිකා දුරකථන හෝ සජීවී රූපවාහිනිී විකාශවලට ඉඩදිය නොහැකි බව එල්.ටී.ටී.ඊයේ පරිපාලන ප්‍රධානියා වූ සුදා මාස්ටර් කිලිනොච්චියට පැමිණ සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට කල්තියාම පවසා තිබිණි.
සමහර රූපවාහිනී මාධ්‍ය ආයතන මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සජීවීව ප්‍රචාරය කිරීමට අවශ්‍ය උපකරණ ගෙනැවිත් තිබුණත් ඒවා ඒ අහලකටවත් ගෙන ඒම සපුරා තහනම් කර තිබුණේය.


මෙතැන් සිට දිගහැරෙන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කී කරුණුකාරණාය. 


එල්.ටී.ටී.ඊය මගින් ගෙන යන සන්නද්ධ අරගලය අත හැරීමට නම් දෙමළ ජනතාවට නිජ භූමියක් සඳහාත් ස්වයං පාලනයක් හා ජාතිකත්වයක් සඳහාත් ඇති අයිතිය ශ්‍රී ලංකා රජය විසින් පිළිගත යුතුව ඇතැයි වේලුපිල්ලේ ප්‍රභාකරන් පැවසීය.


මේ වකවානුවේ රටේ අගමැතිවරයාව සිටියේ වර්තමානයේ ද අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාය.


රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔබගෙත් අගමැතිවරයාද කියා මාධ්‍යවේදියෙක් ප්‍රභාකරන්ගෙන් විමසා සිටියේය. මගේ මතකයේ හැටියට මාධ්‍යවේදියා ඒ ප්‍රශ්නය ප්‍රභාකරන්ගෙන් ඇසුවේ සිංහල භාෂාවෙනි.


පැය 3කට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිංහලෙන් ඇසූ එකම ප්‍රශ්නය ද එය විය.


මාධ්‍යවේදියා ඇසූ ඒ ප්‍රශ්නය ප්‍රභාකරන්ට කියා දුන්නේ සිංහල භාෂාව දන්නා දෙමළ මාධ්‍යවේදියකු විසිනි. මේ ප්‍රශ්නය ඇසූ මාධ්‍යවේදියාගේ නම මගේ මතකයේ දැන් නොමැත.


ප්‍රභාකරන්ගෙන් ඇසූ ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ඔහු නොව ඇන්ටන් බාලසිංහම්ය.


ඔබම ඒ ප්‍රශ්නයට උත්තරය දෙන්න යැයි කියා මාධ්‍යවේදීන් ප්‍රභාකරන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ප්‍රභාකරන් සමඟ යමක් රහසින් කතා කළ බාලසිංහම් ඊට පසුව ඒ ප්‍රශ්නයට උත්තර දුන්නේය.


රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව තෝරාගත් අගමැතිවරයාය. ඒ නිසා ඔහු ඒ ජනතාවගේ අගමැතිවරයා වෙනවා. මේ දෙමළ ඊළමේ අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් වෙන කවුරුවත් නොව එල්.ටී.ටී.ඊයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්මයි.
මේ ඒ ප්‍රශ්නයට බාලසිංහම් දුන් පිළිතුරයි.


සන්නද්ධ අරගලය අතහැරීමට තරම් සුදුසු වාතාවරණයක් තවම උදාවී නොමැති බව පැවසූ ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය අවංක ලෙසත් ස්ථිර ලෙසත් සාමය වෙනුවෙන් කැපවී සිටින බවද කියා සිටියේය. ඔබ දෙමළ නිජ බිම පිළිබඳ ඉල්ලීම අතහැරීමට සූදානමක් තිබෙනවාද? කියා මාධ්‍යවේදියෙක් ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ අපේ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාගැනීමට තදබල ලෙස සලකා බලනවා කියාය.


දෙමළ නිජ බිම් සංකල්පය අතහැර දැමීමට සූදානම් බව නොකීමට ප්‍රභාකරන් වගබලා ගත්තේ කෙසේ හෝ ඊළම දිනාගත යුතු යැයි කියන අරමුණේ සිටිය නිසා විය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණ ගැන ඔබ දරන්නේ කුමන ආකල්පයක් ද යනුවෙන් මාධ්‍යවේදියෙක් ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න කළේය.
ඔවුන් අන්තවාදී දේශප්‍රේමී අදහස් මතුකරමින් දෙමළ ජනතා විරෝධී ආකල්ප දරන නිසා ඔවුන් ප්‍රගතිශීලීන් ලෙස හැඳින්වීමට මා කිසිවිටකත් සූදානම් නැහැ යැයි කියා ප්‍රභාකරන් ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.


ඉන්දියන් අගමැතිවරයාව සිටි රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී.ඊය විසින් මරාගෙන මැරෙන කොටි කතක් යොදවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් ඇසූ විට එය අතීත සිද්ධියක් බවත් එය නැවත හාරා ඇවිස්සීම අවශ්‍ය නොවන බවත් ප්‍රභාකරන් පවසා සිටියේ කිසියම් නොරිස්සුම් බවක් පෙන්නුම් කරමිනි.


අතීතය හාරා අවුස්සන්න හදන්න එපා යැයි ද ඒ ප්‍රශ්නය ඇසූ මාධ්‍යවේදියාට ප්‍රභාකරන් කියා සිටියේය. එතැනින් එහාට කිසිම මාධ්‍යවේදියෙක් ප්‍රභාකරන්ගෙන් ප්‍රශ්න කරන්නට ගියේ ද නැත.


ඊළාම් රාජ්‍යයක් පිහිටුවා එය අතහැරීමට සූදානමක් පවතින බව ඔහු මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ ද නැත.


බැරෑරුම් යැයි සිතුන ප්‍රශ්නවලදී ප්‍රභාකරන් බාලසිංහම්ගේ පිහිට පැතීය. 


මාධ්‍ය සාකච්ඡාව අවසන් වන විට කොටි අඩවියට අඳුර වැටී තිබිණි. මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවූ මාධ්‍යවේදීන් එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයෙන් පිටවී රජයේ පාලන ප්‍රදේශයට පැමිණිමේ අපේක්‍ෂාවෙන් වවුනියාව ඕමන්තට පැමිණෙන විට හොඳටම රෑබෝවී තිබුණේය.
සවස 6.00 පසු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිතයන් ද ඕමන්තේ රැඳී නොසිටින අතර ඕමන්ත හමුදා මුර කපොල්ලද ඒ වෙලාවේ සිට පසුදින උදේ වනතෙක් වසා දමන නිසා අප මුහුණ දුන්නේ දැඩි අසීරුතාවකටය. 


නමුත් අවසානයේ හමුදාවේ උසස් නිලධාරීහු මාධ්‍යවේදීන් වෙනුවෙන් ඕමන්ත හමුදා පිරික්සුම් මුරපොළ විවෘත කර දීමට කරුණික වූහ. දවස් ගණනාවක් තිස්සේ තරමක චකිතයකින් හරිහැටි කෑමක් බීමක් නොමැතිව සිටි බාලසූරිය සැනසුම් සුසුම් හෙළුවේ රජයේ පාලන ප්‍රදේශයට පැමිණි දවසේය.


එසේ නොවන්නට එදා අපට සිදුවනුයේ වාහනවලට වී රැය පහන්වනතෙක් කුසගින්නේ ගත කිරීමටයි.


ප්‍රසන්න සංජීව හා මාත් එක්ක ලංකාදීපය වෙනුවෙන් ප්‍රභාකරන්ගේ මාධ්‍ය සාකච්ඡාවට ගිය අපේ හිතවත් මාධ්‍යවේදී රත්නපාල ගමගේ මේ වෙනකොට පදිංචිව සිටින්නේ ස්විට්සර්ලන්තයේය.

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය : ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

ප්‍රභාගේ සහයට බාලසිංහම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1638 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 497 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site