IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තමන්ගේම උන් අතින් මියගිය දෙමළ නායකයා

1977 දී සමගි පෙරමුණ ආණ්ඩුව පෙරළා දමා විශිෂ්ට ජයග්‍රහණයක් කළ එක්සත් ජාතික පක්ෂ පාලනය හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමට උත්සුක විය. 


මෙම මැතිවරණයෙන් සුළුතර පක්ෂයක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වූයේ ආසන 8ක් පමණක් අත්පත් කර ගනිමිනි. මේ නිසා මන්ත්‍රී ආසන 18ක් සහිතව 6.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාසිටි ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කිරීමට වරම ලැබුණි. හයෙන් පහක පාලන බලයක් හිමි පිරිස සමග සටන් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොහැකි වූ වාතාවරණයක් මත එම පක්ෂයේ ප්‍රතිවාදීන් ලෙස ප්‍රකටව සිටි ෆෙඩරල් පක්ෂයෙන් ද මැතිනියට හා ඇගේ පක්ෂයට පහර එල්ල වෙතැයි ජනතාව සිතුහ. 


1972 මැයි 22 වැනිදා සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඒ. අමිර්තලිංගම් ප්‍රධාන ෆෙඩරල් පක්ෂය විරෝධය දැක්වීය. අනතුරුව එම පක්ෂය ද ද්‍රවිඩ සංගමය ලංකා කම්කරු කොංග්‍රසය වැනි දෙමළ පක්ෂ රැසක් එක්වී මහාචාර්ය සී. සුන්දරලිංගම් ද සමග ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගන්නා ලදී. 


දෙමළ ජනතාවට ඇති එකම විසඳුම ස්වාධීන ඊළාම් රාජ්‍යයක් බවට එම පෙරමුණේ ලේකම් ඒ. අමිර්තලිංගම් අත්සන් කළ 1976.05.14 දින දරන වඩුක්කෝඩෙයි යෝජනාවේ සඳහන් වේ. 


ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායකයා වූ එස්. ජේ. පී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු නායකත්වයට පත්වූ අමිර්තලිංගම් දෙමළ  ඊළම පෙරට දමා 1977 මහ මැතිවරණය ජය ගත්තේය. ඒ කන්කසන්තුරේ ආසනයයි. 


ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ පළමු දෙමළ ජාතික විපක්ෂ නායකයා වූයේ අමීර්තලිංගම්ය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තීරණය කළේය. එම අවස්ථාවේදී කවුරුත් නොසිතු පරිදි ඇය වෙනුවෙන් කතා කළ පක්ෂනායකයා වූයේ අමිර්තලිංගම්ය.


“කථානායකතුමනි. සිරිමාවෝ මැතිනියගේ පාලන කාලය තුළ එක්සත් ජාතික පක්ෂයට යම් අසාධාරණයක් වූවා විය හැකියි. ඊට වඩා කිහිප ගුණයකින් අපේ පක්ෂයට අතවරවලට මුහුණ දෙන්න වුණා. නමුත් මෙය එකට එක කිරීම හෝ පළිගැනීමේ අවස්ථාවක් නොව යුක්ති සහගතව ක්‍රියා කළ යුතු මොහොතක්. ඒ නිසා ඇගේ ප්‍රජා අයිතිය අහිමි කරනවාට මම එකහෙළා විරුද්ධයි.” 


විශිෂ්ට කථිකයකු වූ අමිර්තලිංගම්ගේ මුවින් සැර වදන් පිට වූයේ වෙඩි උණ්ඩවලටත් වඩා වේගයෙනි. 


එදා බුද්ධරක්ඛිත හාමුදුරුවන් එල්ලා මරන්න තීන්දු කළ දවසේ “භික්ෂුවක් එල්ලා මරන්න එපා” කීවිට “යුඇන්පිය මැතිනිය දේශපාලනිකව එල්ලුම් ගස් යවන්න හදනවා. ඒවාට මං ඉඩ දෙන්නේ නෑ.”


එහෙත් අමිර්තලිංගම්ට වැරදුණේ එතැනය. 1984 යාපනයේ ද්‍රවිඩ එක්සත් පෙරමුණේ රැස්වීමක දී තරුණ පිරිසක් වේදිකාවට කඩා වැදුණහ. එහි තිබූ පුටු හතර අතට විසි කළහ. කොඩි කැඩූහ. අමිර්තලිංගම්ගෙන් මයික්‍රෆෝනය උදුරා ගත්හ. එනපොට හොඳ නැති බව ඔහුට දැනිණ. 


“තොපි ගැන මං දන්නවා. මාව මරා දැම්මත් අපේ පක්ෂයටත් ප්‍රජාතන්ත්‍රවාදයත් මරන්න දෙන්නේ නෑ.” එසේ කෑ ගැසු ඔහු කොල්ලන් දෙදෙනා වේදිකාවෙන් පහළට තල්ලු කර දැමීය. 


යුක්තිය වෙනුවෙන් කතා කළ අමිර්තලිංගම්ට දිගින් දිගටම මැර ප්‍රහාර එල්ල විය. වාහනයෙන් එළියට ඇද දමා පහරදීමට තරම් ඔවුහු කුරිරු වූහ. “වාහනය කුඩු කළත්, මාව මැරුවත් ඇත්ත යුක්තිය මරන්න බෑ” ඔහු කීය. 


1981 ජනවාරි 05 දින ඉන්ඩියන් එක්ස්ප්‍රස් පත්‍රයේ පළවූ වාර්තාවක් දඩමීමා කරගෙන අමිර්තලිංගම්ට විශ්වාසභංගයක් එල්ලවිණි. ඊට මදුරාසියේ ද්‍රවිඩ සහෝදරයන්ගේ සංගමය සංවිධානය කළ ලෝක ද්‍රවිඩ සම්මේලනය අමතා ඔහු කළ ප්‍රකාශයක් ද අඩංගුව තිබිණි. 


කරුණු කාරණා මෙසේ යෙදෙද් දී 1983 හයවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යු.ඇන්.පි. ආණ්ඩුව ගෙන ආවේය. 


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවටත් අනියම් මාර්ගයකින් රට තුළ දී හෝ ඉන්පිට දී ශ්‍රී ලංකා ජනරජ භූමිය තුළ වෙනත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ආධාර සැපයීම හෝ අනුබලදීම හෝ මුදල් සැපයීම නොකරන බවට දිවුරුම් දෙයි. 


ඊළම පෙරටු කරගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙම දිවුරුම ප්‍රතික්ෂේප කළ අතර පාර්ලිම්න්තුව ද වර්ජනය කළේය. ජේ. ආර්. යුගයේ විපක්ෂයත් නොමැති ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය වූයේ එසේය. 


පාර්ලිමේන්තු නොපැමිණි නිසා දෙමළ මන්ත්‍රීධුර අහෝසි විය. අමිර්තලිංගම් නැවත පාර්ලිම්න්තු ආවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසිනි. ඒ 1989 පෙබරවාරි 21 වැනිදාය. 
එල්ටීටීඊය අමිර්තලිංගම් සමග අමනාපවීමට ප්‍රධාන කාරණා තුනක් ඇත. 1977 දී ස්වාධීන ඊළමක් ගැන කියා අනතුරුව සාකච්ඡා මගින් ගැටලුව නිරාකරණය කර ගැනීමට රජය හා එකඟ වීමත් ඉන්දියාව සමග සමීප ඇසුරක් පැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් සමග ගැටීමක්  නිසා ඔහු ද්‍රෝහියකු බවට නම් කළ එල්ටීටීඊය අමිර්තලිංගම් මරා දැමීමට නියෝග කළ බව කියැවේ. 


එම නියෝගය ක්‍රියාත්මක වූයේ 1989.07.13 වැනිදා රාත්‍රී 7.10ට ඔහුගේ නිවසේ උඩුමහල් තලයේදීය. 


බුලර්ස් පටුමගේ අමිර්තලිංගම්ගේ නිවස තුළ දේශපාලන කතාබහක් සූදානම්ව තිබුණි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙක් වූ සිවසිත්තම් පරම් හා යෝගේෂ්වරම් සමග ඔවුන්ගේ බිරින්දෑවරුන් ද කලින්ම පැමිණ සිටිය අතර පහළ මාලයේ සේනාධිරාජා විය. අමිර් හා බිරිඳ ඒ වනවිට රූපවාහිනියේ දෙමළ ප්‍රවෘත්ති නරඹමින් සිටියහ.
සෙමින් ආ කැබ් රියක් නිවස අසල නතර වූ අතර තරුණයෝ තිදෙනෙක් ඉන් බැස ආහ. ආරක්ෂක නිලධාරියා ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂ කළහ. උඩුමහලේ සිටි යෝගේෂ්වරම් ඔවුන්ට ආරාධනා කළේ සාකච්ඡාවට ආ බව සිතාය. 


එක් තරුණයෙක් බිම් මහලේ නතරව අනෙක් දෙදෙනා ඉහළට නැංගේය. 


“සර් කට්ටිය ආවා” 


පණිවුඩය ලද අමිර්තලිංගම් රූපවාහිනියෙන් මෑත්ව තරුණයා ඉදිරියට පැමිණි අතර අනතුරුව ඉතා සුහදව දේශපාලන සාකච්ඡාව ඇරඹූහ. ඒ අතරතුර යෝගේෂ්වරන් මහත්මිය තේ පැන් සංග්‍රහය ඇරඹුවාය. ඔවුන්ගේ උස් හඩ සිනහාව මහ පාරටත් ඇසිණි. 


අමිර්ගේ බිරිඳ පහත මාලයේ දුරකථනය අසල රැදුණාය. ඒ විශේෂ ඇමතුම් බලාපොරොත්තුවෙනි. ගත වූයේ මොහොතකි ඉහළ මාලය දෙසින් වෙඩි හඬ කීපයක් සහ වීදුරු බිඳෙන හඬක් ඇසිණ.


“නෝනා ඉස්සරහින් උඩට එන්න එපා.” 


ආරක්ෂක නිලධාරියා කෑ ගැසීය. ඒ අනුව වම්පස පඩිපෙළෙන් ඇය උඩුමහලට දිව ගියාය. අමිර්තලිංගම්ගේ සිහිසුන් දේහය වේවැල් පුටුව මත වැතිර තිබිණ. වෙඩි වැදුණ හිස පසෙකට කඩා වැටි තිබූ අතර සිවසිත්තම්පරම් හා යෝගේෂ්වරන් ඒ අසල වැටී උන්හ. ඇගේ විලාපයෙන් මුළු ගෙයක් බුලර්ස් මාවතත් දෙදරුම් කෑවේය. රෝහලට ගෙන යද්දීම අමිර්තලිංගම් තම දේශපාලන සගයා වන යෝගේෂ්වරම් සමග මෙලොවින් සමුගෙන තිබිණි. සිවසිත්තම්පරම්ට බරපතළය. 


තේ බොමින් සිටි තරුණ සගයෙක් තම ඉණෙහි සඟවා ගෙන තිබු රිවෝල්වරයෙන් මන්ත්‍රීවරුන්ට වෙඩි තබා තිබිණි. එහෙත් ඝාතකයන්ට පැන යන්නට නොහැකි වූයේ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට ගොදුරු වූ බැවිනි. දෙමළ නායකයන් තරුණ බලවේගය විසින් බිළිගත්තේ එසේය. 

 

 


ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිමින් පැරණි වැරදි නිවැරදි කර ගන්නට ගිය පැරණි නායකයත්වය එසේ අන්තවාදී දේශපාලන බලවේගය මගින් බිලි ගන්නා ලදී. 
1927 අගෝස්තු 26 වැනිදා උපත ලැබු අප්පාපිල්ලේ අමිර්තලිංගම් මෙයි කන්නන් දෙමළ පාසලෙන් හා චුල්ලපුරමින් වික්ටෝරියා විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පසුව විශ්වවිද්‍යාලයට හා නීති විද්‍යාලයට ඇතුළත් විය. 


1949 දෙසැම්බර් 03 වැනිදා ඉලංගෙයි තමිල් අරසු හෙවත් පෙඩරල් පක්ෂය පිහිට වූ දා පටන් ඊට සහය දුන් අමිර් විශ්වවිද්‍යාලය හා නීතිවිද්‍යාලය තුළ ශිෂ්‍ය සංගම්වල දී කැපී පෙනෙන සේවයක් කළේය. 


නිීති විද්‍යාලයෙන් පිට වූ වහාම පෙඩරල් පක්ෂයේ වඩුක්කෝඩෙයි ආසනයට 1952 දී මහ මැතිවරණයක දී තරග කළ අමිර්තලිංගම් මෙන්ම පක්ෂයේ නායකයා වූ එස්. ජේ. වී. චෙල්වනායගම් ද තම අසුනෙන් පරාජය විය. 


එහෙත් 1956, 1960 මාර්තු 1960 ජුලි, 1965 යන මහ මැතිවරණවලින් උසස් ලෙස අසුන දිනාගත්තේය. 1958 දී කෝලාහලවල දී මෙන්ම 1961 පක්ෂය පැවැත් වූ සත්‍යග්‍රහයේදී අමිර් හා චෙල්වා ඇතුළු සගයෝ අත්අඩංගුවට පත්වූහ. 


1965 සභාග ආණ්ඩුවට ඩඞ්ලි සේනානායක හෙවත් යුඇන්පි නායකයාට ගිවිසුම් ගතව ඔව්හූ සහය දුන්හ. 1970 දී පරාජය විය. 1972දී සම්මත නව ආණ්ඩුක්‍රම පනතට එරෙහිව විරෝධය පළ කළ අතර අනතුරුව පිහිටුවා ගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මිය යනතුරුම විපක්ෂ නායකයකත්වය නියෝජනය කළේය.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

තමන්ගේම උන් අතින් මියගිය දෙමළ නායකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site