IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වගඋත්තරකරුගේ බිරිය දැක්කාම පොලිසිය නීතියත් නමලා

පැමිණිලිකරුගේ තොරතුරු නොසලකා හරිමින් වගඋත්තරකරුගේ රූමත් බිරියගේ වදනට පමණක් සවන් යොමු කොට පැමිණිල්ලක් විභාග කළ සිද්ධියක් බස්නාහිර පළාතේ උතුරු පැත්තේ අඩවියක එක්තරා පොලිස් ස්ථානයකින් වාර්තා විය. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


රටම දන්නා පුද්ගලයකුට අයත් පොල් ඉඩමක් සියනෑ කෝරළයේ පොලිස් බල ප්‍රදේශයේ තිබේ. අයිතිකරු වෙනත් ප්‍රදේශයක පදිංචි නිසා අල්ලපු ගෙවල්වල චෞරයන්ට කල්ල මරේය. වත්ත වටේ වූ කමිබ් වැට වරින් වර එකම ස්ථානයකින් කම්බි පොටවල් හතරක් පහක් කපා වත්තට ඇතුළුවීම සිරිතක් කරගත් අයකු ද විය. වසර කිහිපයක් තිස්සේ මෙසේ කම්බි පොටවල් කැපූ වාර ගණන 11කි. දහ වතාවක්ම අයිතිකරු සිදුවූ පාඩුව නොසලකා කම්බි පොටවල් අලුත්වැඩියා කරනු ලැබූයේ කළ හැකි දෙයක් නොවූ නිසාය. 


අනතුරුව දැඩි සෝදිසියෙන් සිටි අයිතිකරු වැටේ කම්බි කපා වත්තට ඇතුළුවන පුද්ගලයා පිළිබඳව සියලු තොරතුරු දැනගත්තේ සාක්ෂි ද සහිතවය. පොල් ඉඩමට ආසන්නයේ පදිංචි කුඩා නිවෙසක වෙසෙන අයකු මෙසේ කම්බි කපා වත්තට ඇතුළු වී හොර රහසේ පොල් කඩන බවට වත්තේ හිමිකරු පොලිසියට පැමිණිල්ලක් කළේය. ඊට සාක්ෂි ද ඔහු අත විය. 


රුපියල් ලක්‍ෂ ගණනක් වැය කර අවස්ථා 11කදී ඉඩම වටා වූ වැට අලුත්වැඩියා කළේ දැඩි සිත් තැවුලෙනි. 


පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීහු පැමිණ මූලික පරීක්ෂණය කළේය. පසුව පැමිණිලිකරුට හා වගඋත්තරකරුට පොලිසියට එන්නැයි දැන්වීය. 


ඒ අනුව දෙපිරිසම පොලිසියට පැමිණියහ. පැමිණිලිකරු, විත්තිකරු හා ඔහුගේ යොවුන් පෙනුමැති බිරිය ද පොලිසියේ පෙනී සිටියහ. පොලිස් නිලධාරියකු විමර්ශනයට සූදානම් විය. වගඋත්කරකරුගේ බිරිය ඉදිරියට වී නීතිඥයකු සේ කටයුතු කළේ සැමියා වෙනුවට උත්තර දෙමිනි.


වයස නොපෙනෙන රූමතිය සිටියේ අන් අය වසඟ කරගන්නා අන්දමින් සැරැසීගෙනය. පැමිණිලිකරු වියපත්ය. වගඋත්තරකරු මැදිවියේය. රටම දන්නා ඉහළ තරාතිරමේ පුද්ගලයකු වූ පැමිණිලිකරු සාමාන්‍ය ඇඳුමෙන් සැරැසී සිටියත් වෘත්තියෙන් පොල් කඩන්නකු වූ වගඋත්තරකරු යුරෝපීය ඇඳුමින් සන්නද්ධව සිටියේ තමන් මහත්මයකු බව ඇඳුමෙන් පෙන්වන්නටය. 


පොලිස් පරීක්ෂකවරයකු ඉදිරියේ විමර්ශනය කෙරිණි. විමර්ශන නිලධාරියාගේ දෑස් යොමුව තිබුණේ වගඋත්තරකරුගේ රූමත් බිරිය දෙසය. ඔහු හා ඇය දෑසින් කතා කරනු අවට සිටියවුන්ට දකින්නට ලැබිණි. 


තමන්ගේ ප්‍රශ්නය මොකක්දැයි පැමිණිලිකරුගෙන් ඇසූ පොලිස් නිලධාරියා පසුව වගඋත්තරකරුවන් වෙත හැරී, ‘ඔය මහත්මයා මොකද කියන්නේ’ යැයි වගඋත්තරකරුගෙන් ඇසුවේ ඔහුගේ බිරිඳ දෙස බලමිනි. 


ඔහු නිහඬව සිටියදී බිරිය උත්තර දුන්නාය. ‘අනේ සර්, අපේ එක්කෙනා දවාලට වැඩට යනවා. මේක පට්ටපල් බොරුවක් සර්.’


‘මගේ ඇහින් දැක්ක නිසයි පැමිණිල්ල දැම්මේ’ පැමිණිලිකරු කීවේය. 


‘ඔබතුමා ප්‍රශ්න අහන්න ඕනෑ මෙයාගෙන් මිස පවුලගෙන් නොවෙයි’ ඔහු පොලිස් නිලධාරියාට කීවේ යටහත් පහත්වය. 


‘ප්‍රශ්න කරන හැටි කාගෙන් ද අහන්නේ මොකක් ද කියන එක කියා දෙන්න තමුන්ට බලයක් නෑ. මේ මහත්තයා කම්බි කපනවා තමුන් දැක්ක ද?’ පොලිස් නිලධාරියා ටික්ක සැරෙන් ගිගිරුවේය. 


තමන් ඒ බව නොදුටු බව කියද්දී වගඋත්තරකරුගේ බිරිය පැවැසුවේ දිරච්ච කොස් අත්තක් වැටිලා කම්බි කැඩිලා තිබෙන බවයි.ඒ අවස්ථාවේදි පැමිණිලිකරු ජංගම දුරකතනය ආශ්‍රයෙන් කැඩුණු කම්බිපොටවල් තිබූ අන්දම පෙන්වා දී කොස් අත්තක් වැටී ඉහළින් වූ කම්බි බේරුණු ආකාරය විමසුවේය. කම්බි කැඩී තිබුණේ පහළ පොටවල් කිහිපයකි. විමර්ශන නිලධාරියාට ඒවා ඇසුණේ නැත. ඔහුගේ ඇල්ම බැල්ම තිබුණේ කාන්තාවගේ දෙනෙත දෙස පමණි. දෙදෙනා දෙනෙතින් රහස් කොඳුරන බව පැමිණිලි කරුට තේරුම් ගියේය. 


‘මේ මහත්තයා කියනවා කොස් අත්තක් වැටිලා කම්බි කැඩිලා තිබෙන්නේ’ යැයි විමර්ශන නිලධාරියාගේ ද අවසාන තීන්දුව විය. පැමිණිලි කරු හුනස්නෙන් නැගී සිටියේ මේක නීතිය නවන කලියුග කාලේ කියමිනි.

 



අදහස් (0)

වගඋත්තරකරුගේ බිරිය දැක්කාම පොලිසිය නීතියත් නමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site