නව කැබිනට්ටුව, භාරකාර ආණ්ඩුව, පළාත් සභා මැතිවරණය, උතුරු නැගෙනහිර ජන මනස, රාජ්‍ය ලාංඡනය භාවිත කරන හැටි, ජාතික ගීය ගයන්නේ මොන භාෂාවෙන් ද, අපරාධ පරීක්ෂණ අධ්‍යක්‍ෂගේ මාරුව, ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක කර්මාන්තය නැංවීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගයි.

ප්‍රශ්නය:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති ඉඩකඩටත් අඩු ඉඩක් තමයි නව ජනාධිපතිවරයා කැබිනට්ටුව පත්කිරීමේදී පාවිච්චි කළේ. එහෙම කළේ ඇයි?

පිළිතුර:- බලය ගත් දිනයේ පටන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතා බලාපොරොත්තු ක්‍රියාවෙන්ම ඉටුකරමින් පවතිනවා. එතුමා නිල නිවාස ගත්තේ නෑ. පරිවාර රථ ගණන පිළිබඳ පැහැදිලිව උපදෙස් දුන්නා. කැබිනට්ටුව අඩු කිරීම තවත් ප්‍රතිඵලයක්. භාරකාර රජයක් යටතේ කඩිනමින් ඉටු කළ යුතු දේවල් අපි කරනවා. ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ ජය ගැන අපට විශ්වාසයි. මේ වැඩ කරන්නේ එම ජයෙන් පසු රටේ ඉදිරි ගමනට අඩිතාලම දාන්නයි. මේක හොඳ ආරම්භයක්. ඇමැතිවරුන්ටත් උපදෙස් දී තිබෙනවා. අනුගාමිකයන් හැටියට ඒ උපදෙස් අනුව ක්‍රියා කරන්න සිදුවෙනවා.

ප්‍රශ්නය:- කැබිනට්ටුව පත්කිරීමට විද්‍යාත්මක පදනමක් තිබුණා ද? බලපෑවේ විෂය දැනුම ද? පක්ෂ පදනම ද?

පිළිතුර:- ඒ සියලුම දේ සැලකිල්ලට ලක්වුණා. මුලින්ම පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න සම්බන්ධ වූ දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉටුකරන්නට. ඊළඟට 2015 දී මහින්ද මහතා පරාජය වූ මොහොතේ පටන් විපක්ෂයක් හැටියට කටයුතු කළ අය ගැන බැලුවා. ඊළඟට මැතිවරණයේ දිස්ත්‍රික් ඡන්ද පදනම බැලුවා. ඒ වගේම අලුත් අයටත් අවස්ථාවක් දීලා තිබෙනවා.

ප්‍රශ්නය:- පොදුජන පෙරමුණ මේකට භාරකාර ආණ්ඩුවක් කියනවා. හැබැයි ව්‍යවස්ථාවේ භාරකාර ආණ්ඩුවක් කියන්නේ මේකට නෙවෙයි?

පිළිතුර:- මේක අපට බහුතරයක් නැති නිසා එකඟතාවයෙන් පත් වූ ආණ්ඩුවක්. අපට වුවමනා වුණේ පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ ජයග්‍රහණයකින් මේ රටේ පාලන බලය ගැනීමටයි. තුනෙන් දෙකේ බහුතර බලයක් ගෙන මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ හැකි ව්‍යවස්ථා සංශෝධනයකට අපේ කාලසීමාවේදී යන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව ක්‍රියා කළේ උතුරු නැගෙනහිර අන්තවාදී නායකයන්ගේ වුවමනා ඉටු කිරීමටයි. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුත්තේ සියලු දෙනාට සාධාරණයක් ඉටුවන අන්දමින්. එතැනදි එදාට වඩා අද ජනතාවගේ බලාපොරොත්තුත් අවශ්‍යතාත් වෙනස්. ඒ සියලු දේට ගැළැපෙන අයුරින් වැඩේ කරන්න නම් අපට තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. ඒ විශ්වාසය පෙරදැරිව මූලික කටයුතු කිරීමයි මේ ආණ්ඩුවෙන් සිදුවෙන්නේ.

ප්‍රශ්නය:- අතුරුදන් කළ පළාත් සභා මැතිවරණයට ප්‍රමුඛත්වයක් දෙන්නැයි මැතිවරණ කොමිසම නව ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළා. එතකොට ප්‍රමුඛත්වය ලැබෙන්නේ පළාත් සභාවට ද? පාර්ලිමේන්තුවට ද?

පිළිතුර:- දැන් පළාත් සභා විසුරුවලා තිබෙන්නේ. මේ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට දෙමළ සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දුන්නා. සුළු ජාතීන් නියෝජනය කරන අන්තවාදී දේශපාලකයන් මේ වැඩේ කඩාකප්පල් කළා. නීති හැදුවේ සියයට පනහ පනහ අනුපාත හා කොට්ඨාස ක්‍රමයේ මිශ්‍රණයකින් මන්ත්‍රීවරු තෝරා පත් කරගන්නයි. හැබැයි එතකොට ස්ථාවර පළාත් සභාවක් කවදාවත් පිහිටුවන්නට හැකිවෙන්නේ නෑ. එයින් පසු මාසයක් ඇතුළත මැතිවරණ පැවැත්වීමට අවස්ථාව තිබුණත් පැවැති ආණ්ඩුව ඊට උනන්දු වුණේ නෑ. අගමැතිවරයා වගකීම්වලින් ඉවත් වුණා. ජනාධිපතිවරයා වගකීම් පැවැරූ පසු පාර්ලිමේන්තුවෙන් ඊට අවශ්‍ය පියවර ගැනීමට කතානායකවරයා ගත් උත්සාහයට ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයවත් අනුගත වුණේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සංශෝධන කර කටයුතු කළ යුතුයි. ඒ සංශෝධනවලදී රටේ බහුතරයක් වෙසෙන සිංහල ඡන්දදායකයන්ට වාසියක් විය යුතුයි.

ප්‍රශ්නය:- දෙමළ දේශපාලන නායකයන් කිහිප දෙනකුම මේ ඡන්දෙය්දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියා. හැබැයි උතුරු නැගෙනහිර ජනතාවගේ එකඟතාවය ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වුණේ නෑ. ඒ ඇයි?

පිළිතුර:- මේ රටේ බහුතරයක් වූ සිංහල ජනතාව සමග එකට යන්නට දෙමළ හා මුස්ලිම් ජනතාව තේරුම් ගත යුතුයි. ඒ අය අන්තවාදී දේශපාලන පක්ෂ හදාගෙන ගියොත් ඔවුන්ගේ අවශ්‍යතා බලාපොරොත්තු ඉටුකරගැනීමට ලැබෙන්නේ නෑ. මැතිවරණ ව්‍යාපාරය පෙන්වලා අපි දිනනවා යැයි කියා අප හා සමග එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ට කිව්වේ ඒ නිසයි. අවාසනාවට ඔවුන් එකඟ වුණේ නෑ. මොකද ගෝඨාභය ආවොත් ඔවුන්ට කරදර වෙනවා යැයි බිල්ලකු මවා තිබුණා. ෆෙඩරල් ගෙන ඒමේ පොරොන්දු නිසා ඔවුන් ඡන්දය දුන්නේ නෑ. ප්‍රභාකරන්ගේ අරමුණ ඉටුකරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වෙලා කොන්දේසි 13ක් දැම්මා. ඉතින් අපටත් ඉදිරියේදී කටයුතු කරද්දි මේ කාරණා ගැන සැලකිල්ල යොමුකර කටයුතු කරන්න වේවි.

ප්‍රශ්නය:- ඒ කියන්නේ සිංහල ජන අනුමැතියෙන් පමණක් ආණ්ඩුකරණය ද?

පිළිතුර:- නැහැ. එක්සත් ජාතික පක්ෂය දැන් අලුතින් හිතන්න පටන් අරන් සිංහල බෞද්ධ කෑල්ල ඉස්සරහට දාගෙන ගිහින් දෙමළ අයගෙන් බහුතරයක් අරන් පාර්ලිමේන්තු බලය අල්ලන්න වැඩ කරාවි. හැබැයි ජනාධිපතිතුමා සමඟ වැඩ කළ හැකි කණ්ඩායමක්ම පත්කළ යුතු යැයි ජනතාව තේරුම් ගෙනයි තිබෙන්නේ. මේ ආකාරයට ඉදිරියේ ගහන දේශපාලන ගැට ගැනත් අපි අවධානයෙන් ඉන්නේ.

ප්‍රශ්නය:- මේ මාස කිහිපයේ ආණ්ඩුවේ මූලික බර තැබීම මොන කාරණාවලට ද?

පිළිතුර:- ජාතික ආරක්ෂාව හා ජනතා ආරක්ෂාව සුරක්ෂිත කිරීම තමයි පළමුවැනිම දේ. ඊළඟට මේ රටේ ග්‍රාමීය ජන ආර්ථිකය ශක්තිමත් කර ඔවුන්ව දිරිගන්වා මේ රටේ සංවර්ධනයට දායකත්වය ලබාගැනීමයි. ඊළඟට ආයෝජකයන් ගෙන්වා සංවර්ධන සැලැසුම් දියත් කිරීමයි. එදිනෙදා ජනතා අවශ්‍යතා ඉටුකළ හැකි වැඩපිළිවෙළ දියත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

ප්‍රශ්නය:- රාජ්‍ය ආයතනවල දේශපාලකයන්ගේ පින්තූරය වෙනුවට රාජ්‍ය ලාංඡනය යොදන්නැයි උපදෙස් දුන්නාම ප්‍රාදේශීය මාර්ගවල විගණන තොරතුරු සහිත පුවරුත් ඉවත් කරලා රාජ්‍ය ලාංඡනය යොදලා තිබුණා. මේක වැරැදීමක් ද? නැද්ද?

පිළිතුර:- මේක වැරැදීමක්. ඒ අය තේරුම්ගෙන ඉන්න හැටි. ගෝඨාභය මහත්තයා පැහැදිලිව කිව්වේ එතුමාගේ පින්තූරය නොගහා රාජ්‍ය ලාංඡනය ගහන්නයි. ජනාධිපතිවරයාගේ පින්තූරය ගහන්න එපා යැයි එතුමා නියෝග කරනවා නම් අනෙක් පින්තූරත් ඉවත් කරන්න ඕනෑ. ඒක හොඳ තීන්දුවක්. ඒ වගේම පාරවල් සංවර්ධනය කරන්නේ ජනතාවගේ මුදල්වලින්. අපේ කාලෙදිත් අපි වුණත් පින්තූරෙ ගහගෙන තමයි ඒවා කළේ. ඒත් අලුත් වැඩපිළිවෙළක් එක්ක යද්දි පළාත් පාලන ආයතනවලට පැහැදිලිව උපදෙස් දුන්නා. අසවල් මාර්ගය ජනතා මුදලින් සකස් කරන ලදී කියලයි ගහන්නෙ. එතකොට තමන්ගෙ මුදල් නිසා ජනතාවටත් එය ආරක්ෂා කිරීමේ වගකීමක් පැවැරෙනවා.

ප්‍රශ්නය:- ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට නීති සම්පාදනය වන බවට සමාජ මතයක් පැතිර යනවා. ආණ්ඩුව ඇත්තටම එවැනි පියවරක් ගන්නවා ද?

පිළිතුර:- ඒක මම හරියටම දන්නේ නෑ. එහෙත් මගේ පෞද්ගලික මතය නම් භාෂා විශාල සංඛ්‍යාවක් ඇති ඉන්දියාවේ පවා ජාතික ගීය කියන්නේ හින්දි භාෂාවෙන්. ලංකාවෙත් ඒක කරන්න බැරිකමක් නෑ. ජාතික ගීය කියන්නේ ජාතිය අනුව වෙනස් විය යුතු දෙයක් නොවෙයි. ජාතිකත්වය පිළිබඳ සංකේතයක්. දෙමළ හා මුස්ලිම් කියන්නෙත් ශ්‍රී ලාංකිකයන්. මැදපෙරදිග හෝ ඉන්දියානුවන් නෙවෙයි.

ප්‍රශ්නය:- මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රතිසංවිධානය කර යහපාලන රජයේ දූෂණ සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් ප්‍රකාශ කළා. ඒත් ප්‍රධාන පක්ෂවල අය ඒ ඒ අයව රකිනවා කියලා මිනිසුන්ගේ මතයක් තිබෙනවා. මිනිසුන්ගේ විශ්වාසය හරි ද?

පිළිතුර:- පහුගිය ආණ්ඩුව කාලේ පැහැදිලිවම වුණේ දේශපාලන පළිගැනීම් තමයි. අපි නොවෙයි, ඒ ආණ්ඩුවේම එෆ්.සී.අයි.ඩී. ප්‍රධානියාව සිටි රවී වෛද්‍යාලංකාර මහත්තයයි මේක මාධ්‍යට කිව්වේ. එහෙමය කියලා දේශපාලන පළිගැනීම් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ අය කවුරු හරි වරදක් කරලා තිබෙනවා නම් ඔවුන්ට නීතියෙන් පියවර ගත යුතු යැයි අපි කියනවා. දේශපාලන පළිගැනීම් නෙවෙයි. මූලික පරීක්ෂණවලින් ඔවුන් වැරැදි කර ඇති බව පෙනෙනවා නම් නීතියට අනුව ක්‍රියා කරන ක්‍රමවේදයක් අවශ්‍යයයි.

ප්‍රශ්නය:- එහෙත් චෝදනා එල්ලවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇත්තේ එවැනි ක්‍රමවේදයකින් නොවන බවටයි. මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්නේ නැද්ද?

පිළිතුර:- ඇත්තටම ඔව්. මොකද ශානි අබේසේකර පහුගිය ආණ්ඩුව කාලේ එක්සත් ජාතික පක්ෂ වුවමනා එපාකම් ඉටුකරන්න ගිහින් අහිංසක මිනිසුන්ගේ ජීවිත පවා විනාශ කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතැම් දේට සම්බන්ධ යැයි කියවාගන්න මිනිස්සු අවුරුදු ගණන් හිරගෙවල්වල තිබ්බා. ඒ අය දේශපාලකයන් නොවෙයි. ඒ නිසාම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී පවුල් පිටින් බිඳවැටිලා තිබෙනවා. ඒ වගේ අය පිළිබඳව රජය කටයුතු කරන්න ඕනේ. වැරැදි කරල තිබෙනවා නම් ඒ නිලධාරීන්ට වුණත් නීතිය අනුව දඬුවම් කරන්න ඕනේ.

ප්‍රශ්නය:- එහෙත් මෙවැනි දෙයින් සිදුවන්නේ ස්වාධීන කොමිෂන්වලට දේශපාලන අතපෙවීම් යැයි චෝදනාවක් තිබෙනවා. මේ හදන්නේ 19 වැනි සංශෝධනය වෙනස් කරන්න ද?

පිළිතුර:- මේ ගැන ආණ්ඩුවේ දේශපාලන පක්ෂ සාකච්ඡා කර තීන්දුවක් ගත යුතුයි. ස්වාධීන කොමිෂන් සභා කියලා පත් කළේ දේශපාලකයන්ගේ වුවමනා එපාකම් ඉටු කළ හැකි පුද්ගලයන් පිරිසක්. ඒ අයව පත් කළේ අගමැතිවරයා කතානායකවරයා ඇතුළු එවකට පැවැති ආණ්ඩුවේ පක්ෂ නායකයන්. ස්වාධීන නම් ස්වාධීන වෙන ක්‍රමවේද තිබිය යුතුයි. පොලිස්පති පත්කරද්දිත් කටයුතු කළේ ඒ විධියටයි. තනතුරු ලැබිය යුතු අයට නොලැබී ලැබුණු අය නීතිය නවන්න ගිහින් දැන් රස්සාවලුත් නැතිව ඉන්නේ ඒ නිසයි. 19 වැනි සංශෝධනය හරහා රටේ මිනිස්සුන්ට ස්වාධීන කොමිෂන් සභා යැයි පෙන්නුවාට එතන කෙරුණේ තනිකර දේශපාලන වැඩපිළිවෙළක්.

ප්‍රශ්නය:- ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩුව අසමත් වෙද්දී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයත් කඩා වැටුණා. නව කැබිනට්ටුවේ ඔබට වගකීම පැවැරෙන්නේ මෙම ක්‍ෂේත්‍රවලට අදාළවයි. ඔබට තිබෙන සැලැස්ම මොකක් ද?

පිළිතුර:- 2009 යුද්ධය නිමාවීමෙන් පසුව මේ රටේ සංචාරක කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගත්තා. ඒ වගේම ආයෝජකයන් විශාල සංඛ්‍යාවකුත් පැමිණියා. මෙය ආපස්සට හැරුණේ 2015 දී පැමිණි දේශපාලන අස්ථාවරභාවය නිසයි. ඒ වගේම ජාතික ආරක්ෂාව කඩාවැටීම සමග සංචාරක කර්මාන්තයත් වේගයෙන් කඩාවැටුණා. ඒත් නව ජනාධිපතිවරයාගේ පැමිණීම සමග දැන් නැවතත් කොටස් වෙළෙඳපොළ වේගයෙන් ඉහළ යමින් ව්‍යාපාරිකයන් අතර ලොකු විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. මේ තත්ත්වය තුළ මෙතෙක් කල් මෙරටට නොපැමිණි ආයෝජකයන් කැඳවා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වගකීම අපට පැවැරෙනවා. ජාතික ආරක්ෂාව ස්ථාවර වෙද්දී මේ රටට විදේශිකයන් පැමිණීම අනිවාර්යයෙන්ම ඉහළ යාවි. අත්දැකීම් සහ නිපුණතා ඇති පිරිස් සම්බන්ධ කරගෙන අමාත්‍යාංශයේ කටයුතු කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය:- හෝටල් හා නවාතැන් ක්‍ෂේත්‍රය ගැන විශේෂ අවධානයක් තිබෙනවා ද?

පිළිතුර:- මීගමුව වගේම කොළඹින් බැහැර ප්‍රදේශවල පවා හෝම් ස්ටේ කියන සංකල්පය යටතේ සංචාරක කර්මාන්තයට විශාල පිරිසක් සම්බන්ධ වුණා. බැසිල් රාජපක්ෂ මහතා ඒ කාලේ මේ අයට ආර්ථික වශයෙන් විශාල සහායක් දුන්නා. ඒ අයගේ බලාපොරොත්තු ඔක්කොම පහුගිය කාලේ කඩා වැටුණා. මුදල් අමාත්‍යාංශය සමඟත් කතා කරලා ඔවුන් නඟාසිටුවීමට වැඩපිළිවෙළක් දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ණය විතරක් බිලියන 3ට වඩා වාර්ෂිකව ගෙවන්න වෙනවා. වසර අවසානයේ සමස්ත ණය ප්‍රමාණය මේ වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 55ට වඩා වැඩියි. ආණ්ඩුව ගත් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 34ට වැඩියි. මේ ණය ගෙවන්න වෙන්නෙත් ණය ලබාගෙනම නේද?

පිළිතුර:- ඇත්තටම රටේ පවතින තත්ත්වය සමග මම විශ්වාස කරන්නෙත් ණය අරගෙන තමයි මේ රට ගොඩගන්න වෙන්නේ. හැබැයි ණය ගැනීම කළ යුත්තේ අද මේ රට පත්ව තිබෙන තත්ත්වයත් සැලකිල්ලට ගෙනයි. ණය ගන්න ඕනේ ණය ගෙවන්නට ක්‍රමවේද හදාගෙනයි. මුදල් ඇමැතිවරයා හැටියට අගමැතිවරයා 2009 සිට කළ වැඩපිළිවෙළ ක්‍රියාවට නගද්දී මේ ණය ගෙවා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. ඒ අභියෝගය ජය ගැනීමට අගමැතිවරයාට පුළුවන්.

සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ