IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රනිල් වෙනුවෙන් තිස්ස බෙල්ල දෙයි

 

ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව රනිල් වික්‍රමසිංහ පරාජය වෙලා තිබුණා. අපිටත් හිතාගන්න අමාරුයි වෙච්ච දේ. එදා උදේම මම ගියා පස්වැනි පටුමගේ රනිල් වික්‍රමසිංහලගෙ ගෙදර. රෑ එතකොට අන්තිම ප්‍රතිඵලයත් ඇවිත් ඉවරයි. මම යනකොට කීප දෙනෙක් හිටියා. පක්ෂෙ ප්‍රධාන වගකීම දරපු අය කවුරුවත් හිටියෙ නෑ. සාමාන්‍ය අය තමයි කීප දෙනෙක් ඇවිත් හිටියේ. රනිල් වික්‍රමසිංහ මේස් බැනියමකුයි කොට කලිසමකුයි ඇඳගෙන සාලෙ වාඩිවෙලා හිටියා. මම යනකොට උඩුවේ ධම්මාලෝක හාමුදුරුවො ඇවිත් රනිල් වික්‍රමසිංහ එක්ක කතා කර කර හිටියේ. මෛත්‍රී වික්‍රමසිංහත් රනිල් ළඟ වාඩිවෙලා හිටියා. මටත් එතෙන්ට වාඩි වෙන්න කතා කරලා රනිල් කිව්වා, “තිස්ස මට උඩුවෙ හාමුදුරුවො කියනවා ටික දවසකට දේශපාලන වැඩවලින් ඈත්වෙලා ඉන්න කියලා. තිස්ස මොකද හිතන්නේ” කියලා. 

 

 

මම එකපාරටම කිව්වා “එහෙම කරන්න වුවමනාවක් නෑ. ඡන්දයක් පැරදුණා කියලා ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕන නෑ” කියලා. මම පැහැදිලි කරලා දුන්නා. ඒ උණුසුමේම රනිල් ඉල්ලා අස්වුණොත් පාක්‍ෂිකයෝ තවත් අතරමං වෙනවා කියලා. අපි පැරදුණු ගමන් පැත්තකට වෙන එක පාක්‍ෂිකයින්ට හොඳ නෑ” කියලා මම කිව්වා. මොකද දිනපු අයගෙ අඩම්තේට්ටම්වලට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය පාක්‍ෂිකයට. අපි ඒ අය වෙනුවෙන් ඉන්න ඕනෑ. ඒ අය ගැන හොයා බලන්න ඕනෑ. මම මේ හැමදේම උඩුවෙ හාමුදුරුවො ඉස්සරහම පැහැදිලි කළා. 


උඩුවෙ හාමුදුරුවො එතකොට කිව්වේ “මම මේ නායකතුමාට ඉල්ලා අස්වෙන්න කියලවත් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අයින් වෙන්න කියලවත් කියනවා නෙවෙයි. ටික දවසකට විවේකීව ඉන්න පුළුවන්” කියලා. රනිල් වික්‍රමසිංහ ඒ වෙලාවෙ ඉඳපු මානසික පීඩනය දැකලා වෙන්න ඇති උඩුවෙ හාමුදුරුවෝ ඒ වගේ යෝජනාවක් ගේන්න ඇත්තේ. රනිල් වික්‍රමසිංහ එතකොට කිව්වා ඒ ගැන තව ටිකක් හිතලා බලන්න ඕනෑ කියලා. එතන ඉඳපු මෛත්‍රී වික්‍රමසිංහ ඒ වෙලාවෙ කිව්වේ “හාමුදුරුවො කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ දේශපාලනය දැන් මට නම් ඇති වෙලා තියෙන්නේ, කොහෙද ඉතිං රනිල් කියන දේ අහන්නෙ නෑනේ, මමත් කියන්නේ දැන් කොහේ හරි පිටරටකට ගිහින් පදිංචි වෙන්න පුළුවන්” කියලා. 


මෛත්‍රී වික්‍රමසිංහත් හිටියෙ උඩුවෙ හාමුදුරුවන්ගේ මතයේ. මම එතකොට රනිල් වික්‍රමසිංහට කිව්වා පක්ෂෙ අනිත් අය එක්කත් සාකච්ඡා කරලා හරියට තීන්දුවක් ගන්න කියලා. මම ඒත් එක්කම ඇහුවා රනිල් යනවනම් කාටද නායකකම බාර දෙන්නෙ කියලා. රනිල්ට එක පාරට දමලා ගහලා යන්න බෑනේ. යනවනම් කාට හරි මේ වැඬේ හරියට බාර දෙන්න ඕනෑ කියන කතාවත් මම රනිල්ට මතක් කළා. 


එදා හවස බී.බී.සී. සිංහල සේවයේ රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් යනවා. ඒ ප්‍රකාශයෙන් රාජිත කියන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා කියලා. රාජිතලා ඒ වෙනකොට එක්සත් ජාතික පක්‍ෂයේනේ හිටියේ. රාජිත මේ කතාව කියන්නේ නායකතුමා කිව්වා කියලා. මම එවෙලෙම රනිල් වික්‍රමසිංහට කතා කරලා මේ ගැන ඇහුවා. රනිල් කිව්වේ එයා එහෙම කකාවත් කිව්වෙ නෑ කියලා. රාජිතලා ඇවිත් රනිල් වික්‍රමසිංහ එක්ක කතාබහ කරලා ගිය විත්තිය රනිල් මට කිව්වා. ඒත් ඔය දෙයක් කතා වුණේ නෑ කියලා රනිල් දිගටම මට කිව්වා.


මම රනිල්ට කිව්වා රාජිතගෙ මේ කතාවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයො කලබල වෙන්න ඉඩ තියෙනවා කියලා. රනිල් මට කිව්වා එහෙනම් තිස්සත් බී.බී.සී. එකට ප්‍රකාශයක් දෙන්න මම එහෙම කතාවක් කොහෙදිවත් කියලා නෑ, ඒ අසත්‍ය ප්‍රකාශයක් කියලා. මම බී.බී.සී. එකේ එල්මෝ ප්‍රනාන්දුට කිව්වා මේ රාජිතගෙ ප්‍රකාශය වැරැදි එකක්. ඒක නිසා ඒක නිවැරදි කරන්න මට අවස්ථාවක් දෙන්න කියලා. එල්මෝ ඒකට කැමති වෙලා, ඊළඟ දවසෙ මගේ ප්‍රකාශය ගන්න පොරොන්දු වුණා. 


මම එල්මෝට මගේ ප්‍රකාශය දෙද්දී කිව්වා රනිල් වික්‍රමසිංහ කිසිම තීන්දුවක් අරගෙන නෑ පක්‍ෂයෙන් අයින් වෙන්න, පක්‍ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ඊළඟ ජනාධිපතිවරණයට දැන් ඉඳලම සූදානම් වෙනවා කියලා. රාජිතගෙයි, මගෙයි ප්‍රකාශ දෙක නිසා පක්ෂෙ අයට හරි අදහස මොකක්ද කියලා හිතාගන්න බැරිවෙලා. මේ වාදය ටික දවසක් ගියා. මේ අතරෙම වගේ පක්‍ෂ අභ්‍යන්තරයේ විවිධ අර්බුද මතුවුණා. කොටින්ම කියනවානම් පක්ෂෙ ඇතුළෙ ඊළඟ කැරැල්ල මේ වෙනකොට ආරම්භ වෙලා තිබුණෙ.


තවත් කොටසක් ලබන සතියට....

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

රනිල් වෙනුවෙන් තිස්ස බෙල්ල දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site