IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මෛත්‍රීගෙන් මහින්දට ප්‍රහාරයක්

 

අනෙක් අතට ආණ්ඩුව පොළොන්නරුවේ පොදු අපේක්‍ෂක දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීම උදෙසා අති මහත් වෙහෙසක් දැරීය. රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, රතන හිමියෝ ඇතුළු නායකයන් විශාල පිරිසක් සහභාගි වූ එම රැලිය අමතමින් මෛත්‍රී ඇමතිතුමා කියා සිටියේ තමාගේ ප්‍රචාරක කටයුතු සඳහා කටවුට් හා පෝස්ටර් භාවිත නොකිරීමට තමන් තීරණය කළ බවයි.


මේ සඳහා විශාල මුදලක් ලබාදීමට දැනටමත් තම හිතවතුන් හා සහයෝගය දක්වන්නන් ඉදිරිපත්ව සිටියත් තමන් කටවුට්, පෝස්ටර් ප්‍රතික්ෂේප කරන බව අවධාරණයෙන් පැවසූ අතර එය පෙරළා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ප්‍රබල අතුල් පහරක් විය.


දෙසැම්බර් පළමුවැනිදා පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ඉතා ජවසම්පන්න දිනයක් විය. එදින පෙරවරුවේ පොදු අපේක්‍ෂකයාට සහාය පළකරන පක්‍ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන 49ක් පමණ සාමූහිකව විහාර මහාදේවී උද්‍යානයේ දී එක්ව එකඟතා ගිවිසුමකට අත්සන් තබන ලදී. ඊට අත්සන් තැබූ පිරිස අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ, පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමා, රනිල් වික්‍රමසිංහ මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, සරත් ෆොන්සේකා මහතා හා රාජිත සේනාරත්න මැතිතුමා ද වූහ. එම එකඟතා ගිවිසුමෙහි අඩංගු, ප්‍රධාන කරුණු අතර විධායක ජනාධිපති ක්‍රමය දින 100කින් අහෝසි කිරීම, පාර්ලිමේන්තුවට වගකියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම, 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 17 වැනි සංශෝධනය නැවත බලාත්මක කිරීම, මනාප ඡන්ද ක්‍රමය වෙනුවට පැරණි කොට්ඨාස ක්‍රමය සමඟ සමානුපාතික ක්‍රමය මුසුකොට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම යන කරුණු මූලික වශයෙන් අන්තර්ගත විය.


දෙසැම්බර් දෙවැනිදා ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් සෝලිස් උත්සව ශාලාවේ දී පැවැති අතර ඊට පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමා ද සහභාගි විය. එහි දී එතුමා අවධාරණය කළ ප්‍රධානම කරුණ වූයේ තමන් රටට අහිතකර කිසිදු එකඟතා ගිවිසුමකට කිසිදු පාර්ශ්වයක් සමඟ ඡන්දය ලබා ගැනීමේ හුදු බලාපොරොත්තුවෙන් නොඑළඹෙන බවයි. මේ අතර චම්පික රණවක ඇමතිතුමා ප්‍රකාශ කළේ ‘තමන් ජාතික සමඟි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සහයෝගය ලබා දීමට තීරණය කර ඇත’ යන්නය.


මේ අතර දෙසැම්බර් දෙවැනිදාම ‘පුරවැසි බලය’ සංවිධානය ‘උගුලෙන් ගැලවෙමු’ නමින් රැලියක් හයිඞ් පිටියේ දී සංවිධානය කළ අතර එම අවස්ථාවට පොදු අපේක්‍ෂකයාට සහාය දෙන බොහෝ දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් සහභාගි වී සිටියහ. ඊට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ පොදු වෙළෙඳපොළ අසල පැවැත් වූ ජනහමුවක දී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර සිටියේ ‘මහින්ද ස්ටෝර්ස් එකේ සියලු බඩු පුස් කා ඇති නිසා එය වැසිය යුතුයි. මෛත්‍රී ස්ටෝර්ස් එක අලුත් වුණත් බඩු ගැන ෂුවර් එකක් නෑ.’ යනුවෙනි කෙසේ වෙතත් පොදු අපේක්‍ෂකයාට ඡන්දය ලබාදෙන ලෙස සෘජුව ප්‍රකාශ නොකළ ජ.වි.පෙ. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළ යුතු බව පමණක් අවධාරණය කළේය. නමුත් ප්‍රශ්නය පැන නඟින්නේ ප්‍රබල මහින්ද රාජපක්‍ෂ පරාජය කළ හැකි මග ඔවුන් සෘජුව හා ස්ථිරසාරව ජනතාවට කියා නොදීමය.


පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට ආරම්භයේ සිටම සෘජු සහයෝගයක් දැක්වූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවා දී පක්‍ෂයේ නියෝජිත හමුවක් ද දෙසැම්බර් 3 වැනිදා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මෛත්‍රී ඇමතිතුමා සිය කථාව තුළ දී ෆොන්සේකා මහතා පිළිබඳ සඳහන් කරමින් විශේෂ පොරොන්දුවක් එම සභාව හමුවේ තැබීය. එනම් ෆොන්සේකා මහතාට අහිමිකරන ලද නිල තනතුරු සහ විශ්‍රාම වැටුප ඇතුළු සියලු දේ තමා ජනාධිපති වූ වහාම යළිත් ලබාදීමට කටයුතු කරන බවයි. ඒ සැබවින්ම එම පොරොන්දුව එසේම ඉටුවිය.


පිටකෝට්ටේ පිහිටි පොලිස් උත්සව ශාලාව පොදු අපේක්‍ෂක මැතිවරණ ව්‍යාපාරයේ එක් ප්‍රධාන මූලස්ථානයක් බදු විය. ප්‍රධාන මාධ්‍ය සාකච්ඡා, නියෝජිත සමුළු, විද්වත් වෘත්තික හමු සහ වෙනත් රැස්වීම් දෛනිකව පැවැත්වෙන ස්ථානයක් බවට සෝලිස් උත්සව ශාලාව පත්ව තිබිණි. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය ප්‍රමුඛ රටේ සියලුම නගරවල පිහිටි ක්‍රීඩාපිටි නගර සභා පිටි හා රැස්වීමක් පැවැත්වීමට ඉඩකඩ ඇති සියලුම මංසන්ධි සන්ධානය විසින් සංවිධානාත්මක ලෙස යම් සංවිධානයක නමකින් යුතුව කලින් වෙන්කරවාගෙන තිබීම තුළ පොදු අපේක්‍ෂක මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මහත් අසීරුතාවකට මුහුණ දීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඊට මැතිවරණ කොමසාරිස්වරයාට ද මැදිහත්වීමට සිදු වූ අතර ඒ තුළ අයුක්ති සහගත ලෙස සන්ධානයේ දේශපාලනඥයන් වංචනිකව වෙන්කරවාගෙන ඇති ක්‍රීඩාපිටි සහ රැස්වීම් පැවැත්වෙන මංසන්ධි යම් ප්‍රමාණයක් පොදු අපේක්‍ෂකයාට ලබාගත හැකි විය. 


මේ අතර සිංහල බෞද්ධ සමාජය තුළට ජාතිවාදී දවටනයේ ඔතන ලද රස මසවුලක් පරිද්දෙන් ගෙන යන ලද තවත් එක් ප්‍රචාරයක් දිග හැරුණි. ඒ සන්ධානයේ දේශපාලනඥයන් විහාර මහාදේවී උද්‍යානයේ දී අත්සන් කරන ලද පොදු අපේක්‍ෂක එකඟතා ගිවිසුම පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනයයි. එමඟින් ඔවුන් කියා සිටියේ පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමා, රනිල් වික්‍රමසිංහ මහතා, චන්ද්‍රිකා මැතිනිය ඇතුළු පිරිස දෙමළ ජාතික සන්ධානය, ගෝලීය දෙමළ ජාතික සංසදය හා දෙමළ ඩයස්පෝරාව යන සංවිධාන සමඟ එක්ව එකඟතා ගිවිසුමක් අත්සන් කර ඇති බවයි. විහාර මහාදේවී උද්‍යානයේ දී අත්සන් කළ ගිවිසුම එහි එක් කොටසක් බව ද ඔවුන් මහ හඬින් කීහ. විශේෂයෙන් දෙසැම්බර් 2 වැනිදා පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී මෛත්‍රී ඇමතිතුමා කියා සිටි රටට අහිතකර ගිවිසුම් කිසිවකට තමා අත්සන් නොතබන බවට වන ප්‍රකාශය සන්ධානයේ මෙම අසත්‍ය ප්‍රචාරයට ලබාදුන් සෘජු පිළිතුරක් බඳුය.

 

 

 

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මෛත්‍රීගෙන් මහින්දට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site