IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තිස්සට මහින්දගෙන් තල්ලුවක්

 

2005 ජනාධිපතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පවත්වපු අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාව කළේ මම.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු නවත්තන්න කලින් කරපු අන්තිම කරුණු දැක්වීම තමයි ඒ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට කලින් කේම්බි්‍රජ් ටෙරස්වල තිබුණු විපක්ෂනායක කාර්යාලයේදී මුණගැහුණු ලසන්ත වික්‍රමතුංග මට වැදගත් තොරතුරක් දෙන්න තියෙනවා කියලා කිව්වා. ලසන්ත කිව්වා මහින්ද රාජපක්ෂගෙ ඡන්ද ව්‍යාපාරයේ අන්තිම මොහොතේ රටේ ජනතාවගේ අනුකම්පාව දිනාගන්න එයාලා යම් යම් දේවල් කරන්න සූදානම් වෙනවා කියලා.


ඒකෙ එක උපක්‍රමයක් විදියට එයාලා විසින්ම සූදානම් කරපු බෝම්බයක් පුපුරුවා හැරලා ඒ හරහා ජනතා අනුකම්පාව ලබාගන්න හදනවා කියපු කතාව. ඒකෙන් මහින්ද රාජපක්ෂ එයාට කොටි ත්‍රස්තවාදීන්ගේ මරණ තර්ජන තියෙනවා කියන එක ඔප්පු කරලා පෙන්නලා ජනතාවගේ ඡන්ද වැඩිකර ගැනීමේ සූදානමක් තියෙනවා කියලා ලසන්ත මාත් එක්ක කිව්වා. ලසන්ත මට යෝජනා කළේ අවසන් මාධ්‍ය සාකච්ඡාවේදී මේක මාධ්‍යයට කියමු කියලා. මමත් ඒකට ඒ වෙලාවෙ හා කිව්වා. මමත් ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි ලසන්ත මට කියපු ඒ තොරතුරු ටික ඔක්කොම මාධ්‍යයට ප්‍රකාශ කළා.


මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබුණෙ ජනාධිපතිවරණයට දවස් දෙකකට කලින්. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව උදේ පවත්වලා මැතිවරණ කටයුතු ගැන බලන්න මම එහෙම්ම නුවර ගියා. මම නුවර ගිහින් ටික වෙලාවකින් දුරකථන ඇමතුමක් ආවා ඒ කාලේ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගෙන්. පොලිස්පතිතුමා මගෙන් ඇහුවෙ “හදිසියකට කටඋත්තරයක් ගන්න ඕනෑ වෙලා තියෙනවා කොහෙද ඉන්නේ” කියලා. මම ඇහුවා නුවර ඉන්නේ මොකක්ද කාරණය කියලා. එතකොට පොලිස්පතිතුමා කිව්වා ශ්‍රීපති සූරියආරච්චියි මංගල සමරවීරයි පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා. පොලිස් මූලස්ථානයට තමයි ඒ පැමිණිල්ල ඇරලා තියෙන්නේ. ඒකෙන් ඔවුන් කියලා තියෙන්නේ මම එවකට අගමැති මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක තොරතුරු දන්නවා, ඒ බව මම කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියලත් තියෙනවා කියලා. අගමැති ඝාතන සැලසුමක් තියෙන බවත් ඒ ගැන තොරතුරු මම දන්න නිසා මේ සම්බන්ධව මගෙන් ප්‍රකාශයක් ගන්න ඕන බවත් පොලිස්පතිතුමා මට දැන්වුවා.


මම කල්පනා කළා කොහේවත් යන මරාලයක් තමයි මගේ ඔළුව උඩ කඩාගෙන වැටෙන්නේ කියලා. ලසන්ත කියපු තොරතුරු ටිකනේ මම කිව්වෙ. මම ඒක පොලිස්පතිතුමාටත් කිව්වා. පොලිස්පතිතුමා කිව්වා “ප්‍රශ්නයක් නෑ ප්‍රකාශයක් දුන්නම හරිනේ ඒක නිසා කටඋත්තරයක් ඇවිත් දීලා යන්න” කියලා.


ශ්‍රීපති සූරියආරච්චි පොලිස්පතිතුමාට දිගින් දිගටම කියලා තියෙනවා මාව අත්අඩංගුවට ගන්න කියලා. මම පොලිස්පතිතුමාට කිව්වා ඒ වෙලාවෙ කොළඹ නම් ආපහු එන්න අමාරුයි ජනාධිපතිවරණයෙන් පස්සෙ මම කටඋත්තරයක් දෙන්නම් කියලා. මොකද අපිට ලොකු විශ්වාසයක් තිබුණා ජනාධිපතිවරණයෙන් අපි දිනාවි කියලා. පොලිස්පතිතුමා දිගටම කිව්වා මේක ගැන කටඋත්තරයක් දැන්ම නොගත්තොත් ප්‍රශ්නයක් වේවි කියලා. එයාම යෝජනා කළා පොලිස් නිලධාරීන් නුවරට එවන්නම් ඒ අයට කටඋත්තරය දෙන්න කියලා. පොලිස්පතිතුමා මට පොරොන්දු වුණා කටඋත්තරය දෙන්න ඉන් එහාට මේක ගෙනියන්නේ නෑ කියලා.


එදා රෑ අටට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් කීපදෙනෙක් නුවර ඇවිත් මගෙන් කටඋත්තරයක් අරගත්තා. පැය හතරක් විතර මගෙන් කටඋත්තරය ලබාගත්තා. ඒ වෙලාවෙ පොලිස්පතිතුමත් මේක දුරදිග ගෙනියන්නේ නෑ කියලා පොරොන්දු වුණේ එයත් හිතුවෙ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ දිනාවි කියලා.

 


ජනාධිපතිවරණය ඉවර වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වෙලා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ටික දවසකින් මේ අගමැති ඝාතන කුමන්ත්‍රණය ගැන කතාව ආපහු උඩට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියෙක් උත්සාහ කරලා තියෙනවා. මේ පරීක්ෂණයට සම්බන්ධ ලිපිගොනු එහෙමත් අරගෙන මේ නිලධාරියා ජනාධිපතිතුමාට මේ සිදුවීම මතක් කරලා තියෙනවා. ඒ නිලධාරියා කියලා තියෙනවා දැන් මේ සිදුවීමට අදාළව


තිස්ස අත්තනායක අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. මේ ඔක්කොම අහගෙන ඉඳලා මහින්ද රාජපක්ෂ ඒ නිලධාරියාට කිව්වා ‘අයිසෙ ඔය ඔක්කොම කතා ඡන්දෙ කාලෙට කියන ඒවා විතරයි. ඕවා එච්චර බරපතළ විදියට ගන්න ඕන නෑ ඔන්න ඕක අල්ලලා දානවා’ කියලා.


ඔය සිදුවීම එහෙමම අවසන් වුණා. පස්සෙ දවසක මඟුල් ගෙදරකදී මුණගැහුණු වෙලාවක මහින්ද රාජපක්ෂ මැතිතුමා මට කිව්වා “අන්න අරුන් ඔයාව හිරේ යවන්න ලෑස්තිවුණා. අර ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය ආපහු උඩට අරගෙන මට ඕක කිව්වම මම උන්ට බැණලා එළවගත්තා” කියලා.


මේ නඩුව දාපු ශ්‍රීපති සූරියආරච්චිලත් ඒ ගැන අවුස්සන්න උනන්දු වුණෙ නෑ. මොකද එයාලත් ආණ්ඩුව ගැන කලකිරිලා හිටියේ එයාට ඇමතිකමක් නොලැබුණු එකට. ඒ එක්කම ශ්‍රීපතිලත් මහින්ද රාජපක්ෂට විරුද්ධව පෙළගැහෙන්න පටන්ගත්තා ආණ්ඩුව ඇතුළෙම ඉඳගෙන.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

තිස්සට මහින්දගෙන් තල්ලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site