කොළඹ, තුම්මුල්ල ප්‍රදේශයේ හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් ඉදිකිරීමට යෝජිත ‘Pentara Residencies’ දැවැන්ත මහල් නිවාස ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් ඉකුත්දා අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

විනිසුරු පී. කුමාරරත්නම්, විනිසුරු එම්.සී.එල්.බී. ගොපල්ලව සහ විනිසුරු ආචාර්ය ඩී.එෆ්.එච්. ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් බහුතර තීරණය මත මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි පවා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් අදාළ පෙත්සම් ඉවත දමන ලදී.

ක්ලාසන් පෙදෙසේ (Classen  Place) පදිංචිකරුවන් කිහිප දෙනකු විසින් 2025 වසරේදී මෙම රිට් පෙත්සම් ගොනු කර තිබුණේ, යෝජිත මහල් නිවාස සංකීර්ණය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් ලබා දී තිබූ අනුමැතීන් අභියෝගයට ලක් කරමිනි. එකී අනුමැතීන් නාගරික සංවර්ධන සැලැස්මට සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පනවා ඇති රෙගුලාසිවලට පටහැනි බව පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන තර්කය විය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණය සිය බහුතර තීරණය මගින් ස්ථිර කර සිටියේ අදාළ ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති අනුමැතීන් සියල්ලම සංවර්ධන සැලැස්මට සහ පවතින රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වන බවයි. එපමණක් නොව, අධිකරණය හමුවේ පාර්ශ්වයක් විසින් පවත්වාගත යුතු උපරිම විශ්වසනීයත්වයේ (Uberrima Fides) වගකීම ඉටු කිරීමට ද පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව අභියාචනාධිකරණය විසින් නිගමනය කරන ලදී.

මෙම නඩුවේ 5 වැනි සිට 8 වැනි වගඋත්තරකරුවන් වෙනුවෙන් Sudath Perera Associates නීතිඥ ආයතනයේ උපදෙස් මත, ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා යන මහත්වරුන් සමග නීතිඥවරුන් වන ශානක කුරේ, රජීව් විජේසිංහ, නාමික් නෆාත්, ශමිත් ප්‍රනාන්දු, අකලංක උක්වත්ත, දමින්ද විජයරත්න සහ සංජන මාපටුන යන මහත්වරු පෙනී සිටියහ.