• ධීවර වරායේ පිවිසුමේ  වැලි තට්ටු තට්ටු ලෙස තැන්පත්  වීම බරපතළ ප්‍රශ්නයක්
  • එදා හික්කඩුව ධීවර වරායේ  ගාල් කර තිබූ බහුදින ධීවර  යාත්‍රාවලින් බොහෝමයක්ම  ගාල් කරන්නේ ගාල්ල, බේරුවල  වැනි දුර බැහැර ධීවර වරායවල
  • සමහරු හික්කඩුව ධීවර වරායේ  නොවිසඳෙන ප්‍රශ්නය නිසාම  ධීවර රැකියාවෙන්  ඉවත්වී වෙනතක් බලාගෙන
  •  වරායේ පිවිසුමේ හිරවෙන  වැලි පරය ඉවත් කර කර ඉන්න  තාවකාලික පැලැස්තර විසඳුම්  නැතිව ස්ථීර විසඳුමක් අවශ්‍යයි
  • වැලි පරය ඉවත් කිරීමට ගේන  යන්ත්‍රය හැමදාම වැඩ නැහැ. 
  • සමහර දවස්වලට ඒක කැඩෙනවා. 
  • රජයේ නිවාඩු  දවස්වලටත් වැඩ නැහැමේ ගැන අපි කොච්චර  බලධාරීන්ට කිව්වද? අපිට ධීවර  ඇමති කෙනෙක් නැති පාටයි
  • ප්‍රශ්නය විධිමත්ව විසඳීමට අවශ්‍ය පියවර ගන්නවා
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ධීවර කර්මාන්තය හික්කඩුව හා බද්ධව සිටියේ අද ඊයේ නොවේ. අනාදිමත් කාලයක සිට කීවොත් එය වඩාත් නිවැරදිය. ධීවර කර්මාන්තය ඉදිරියෙන්ම සිටි නිසා එය සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට තද රුකුලක් වූවේය. ලංකාවටම මත්ස්‍ය සම්පත සැපයු හික්කඩු ධීවරයෝ සිය නගරයේ ලැගුම්ගත් දෙස් විදෙස් සංචාරකයන්ටද රස ගුණ සපිරි මත්ස්‍ය සම්පත සැපයූහ.
හික්කඩුවේ ධීවර කර්මාන්තය දියුණුවේ හිනි පෙත්තටම පැමිණීමත් සමගම ධීවර වරායකද අඩුපාඩුව තදින්ම දැනෙන්නට පටන් ගත්තේය. හික්කඩුවේ ධීවරයෝ ඒ සඳහා පෙරමුණ ගත්හ. මේ වෙනුවෙන් ඔවුහු අදාළ බලධාරීන් හමුවේ පෙනී සිටියහ. ඔවුනට ගතු කීහ. කන්කෙදිරි ගෑහ. අදාළ බලධාරීන් නෑසූ කන්ව සිටිවිට ඔවුනට තදින් කීහ. බලපෑම් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස එදා හික්කඩුවට ධීවර වරායක් ලැබුණේය.
තමන්ට ලැබුණු ධීවර වරාය නිසා හික්කඩුවට පමණක් නොව මුළු ලංකාවටම අවශ්‍ය මත්ස්‍ය සම්පත දීමට හැකි යයි හික්කඩුවේ ධීවරයෝ සිතූහ. ඒ අනුව තමන් මෙතෙක් කලක් වෙනත් ධීවර වරායවල ගාල්කර තැබූ බහුදින ධීවර යාත්‍රා ගාල් කිරීමට පටන් ගත්තෝය. ඒ සමගම හික්කඩුව වරාය බහුදින ධීවර යාත්‍රාවලින් පිරී ගියේය. කාලයක් යද්දී තමන්ගේ ධීවර වරාය මුහුදු රස්සාවට නොව වෙනත් කර්මාන්තයක් සඳහා සුදුසු යයි හික්කඩුවේ ධීවරයන්ට තේරුම් ගියේය. එසේ තේරුම් යන විටත් මේ වරායේ ගාල් කර රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රා රැසකටම දෙවියන්ගේම කරුණාව ලැබී තිබුණේය.
 
 ධීවර රැකියාව එපාවන තරමටම මේ ධීවර වරාය හික්කඩුවේ ධීවරයන්ට එපා විය. ඒ නිසාම දැන් දැන් හික්කඩුවේ ධීවරයන් එදා මෙන් සිය බහුදින ධීවර යාත්‍රා වෙනත් ධීවර වරායවල ගාල් කිරීමට පටන් ගෙන ඇත්තේය. තවත් සමහරු හික්කඩුව ධීවර වරායේ නොවිසඳෙන ප්‍රශ්නය නිසාම ධීවර රැකියාවෙන් ඉවත්වී වෙනතක් බලාගෙන සිටිති. මේ ප්‍රශ්නය නිසාම මේ වනවිට හික්කඩුවේ ධීවර කර්මාන්තය ඇත්තේ කන්ද උඩකය. බිම වැටී සී සී කඩ යන මට්ටමකය. හික්කඩුවේ ධීවර කර්මාන්තයට අද උදාවී ඇති තත්වය අදාළ බලධාරීන්ට පෙන්වාදී එය රැක ගැනීම අපේ වගකීමක් මෙන්ම් වගවීමකි. එහෙයින් අපි හික්කඩුවේ ධීවර කර්මාන්තයට විශේෂයෙන්ම ප්‍රධාන අඩුපාඩුවකින් පෙළෙන හික්කඩුව ධීවර වරාය පිළිබඳව සොයා බැලීමට එහි ගියෙමු. එහිදී අපට හික්කඩුව ධීවර වරාය ප්‍රයෝජනයට ගෙන ධීවර කර්මාන්තය කරන ධීවර ව්‍යාපාරිකයන් මෙන්ම ධීවරයන් කිහිපදෙනකුම මුණගැසිණ. මේ ඔවුන්ගේ දුක් කතාවය.
මුලින්ම කට හඬ අවදිකළ හික්කඩුව ධීවර වරාය සංවර්ධන කමිටුවේ සභාපති ඒ. සී. ටී. ධනරත්න: හික්කඩුවේ ධීවර කර්මාන්තය අනාධිමත් කාලයක් තිස්සේ පැවත එන්නක්. අපි හිතුවා හික්කඩුවේ ධීවර වරායක් හදන කොට එය අපේ කර්මාන්තයට විශාල පිටුවහලක් වේවී කියලා. ධීවර වරායක් හදපු එක හොඳයි. එහෙත් මේ ධීවර වරායෙන් අපිට නිසි ප්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තියෙනවා. එයට මේ ධීවර වරායේ පිවිසුම විශාල බාධකයක් වෙලා තියෙනවා. අපේ ධීවර වරායේ පිවිසුමේ වැලි තට්ටු තට්ටු ලෙස තැන්පත් වීම එයට ප්‍රධානතම හේතුවක්. මේ වැලි තට්ටුව නිසා ධීවර වරාය තුළ ඇති බහු දින ධීවර යාත්‍රා මුහුදට දාන්න බැරිවෙලා තියෙනවා. මසුන් අල්ලගෙන එන ධීවර යාත්‍රා වරාය තුළට ගන්නත් බැරිවෙලා තියෙනවා. මේ නිසාම මේ වනවිට එදා හික්කඩුව ධීවර වරායේ ගාල් කර තිබූ බහුදින ධීවර යාත්‍රාවලින් බොහෝමයක්ම දැන් ගාල් කරන්නේ ගාල්ල, බේරුවල වැනි දුර බැහැර ධීවර වරායවලයි. එම ධීවර වරායවල සිට ධීවර රැකියාව කිරීමෙන් අපේ කාලය ශ්‍රමය හා මුදල් විශාල ලෙස වැයවෙනවා. ඒක දරන්න අපිට අපහසුයි. ඒ වගේම අපේ ධීවර වරායෙන් පිට ධීවර වරායක බහුදින ධීවර යාත්‍රාවක් ගාල් කළාම ප්‍රශ්න ගොඩයි. සියලු‍දේම අපිට එහිදී ගන්න වෙන්නේ මුදලටයි. මේ නිසාම දැන් දැන් හික්කඩුවේ ධීවරයන් සිය රැකියාවලින් ඉවත් වෙමින් තියෙනවා.
හික්කඩුව වරායේ පිවිසුමේ ඇති වැලි පරය ඉවත් කළාට වැඩක් නැහැ. ආයෙත් ඒක බැදෙනවා. දවසින් දෙකෙන් බැදෙනවා. මේ වැලි පරය මතින් ධීවර යාත්‍රාවක් මුහුදේ සිට වරාය තුළටත් වරායේ ඇති ධීවර යාත්‍රාවක් මහ මුහුදටත් දානවා කියන්නේ ඉතා බැරෑරුම් ක්‍රියාවක්. පොඩ්ඩ එහෙ මෙ​ෙහ වුණොත් අපේ ධීවර යාත්‍රාවලට දෙවියන්ගේම පිහිට තමයි. ඒ වගේම තමයි වැලි පරය මග හැරලා යන්න ගියොත් ඒ ආසන්නයේම ගල් පරයේ ඇති ගල්වල බහුදින යාත්‍රාව ගැටුණොත් එම යාත්‍රාවටත් වෙනදේ දන්නෙත් දෙයියෝම තමයි.
හික්කඩුව වරාය පිවිසුමේ නිර්මාණයවී ඇති වැලි පරය නිසා හික්කඩුවේ බහුදින යාත්‍රා හිමියන්ට වූ පාඩුව මෙතෙකැයි කියන්න බැහැ. ඒ තරමටම විශාල පාඩු සිදුව තිබෙනවා. එසේ පාඩුවූ අයට දැන් හික්කඩුවේ ධීවර කර්මාන්තය එපා වෙලයි තියෙන්නේ. මේක ඉතාම නරක තත්වයක්. මෙය වහාම සමනය නොකළ හොත් හික්කඩුවෙන් ධීවර කර්මාන්තය නුදුරේදීම සමුගෙන යාවී. 
හික්කඩුව ධීවර වරාය සංවර්ධන කමිටුවේ උප සභාපති සමන්ත කුමාර: මම හික්කඩුව ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හිමියෙක්. අපේ වරායේ පිවිසුමේ ඇති වැලි පරය හරහා යන්න ගිහිල්ලා මගේ ධීවර යාත්‍රාවකට විශාල හානියක් වුණා. එය යථා තත්වයට පත් කරන්න මට රුපියල් ලක්ෂ දහතුනක් පමණ ගියා. වැලි පරයේ වැදී හානිවුණු එම යාත්‍රාව අලු‍ත්වැඩියා කරන්න ගොඩබිමට ගන්න විශාල පරිශ්‍රමයක් දරන්න වුණා. ඒ සඳහා විශාල පිරිවැයක් දැරුවා. ඒ වගේම ධීවර යාත්‍රාව අලු‍ත්වැඩියා කර වරායට දමන තෙක් වරාය භූමියේ තියෙන සෑම දිනකටම බිම් කුලියක් ගෙවන්න ඕන. මේක මට විතරක් සිදුවුණු දෙයක් නෙමෙයි. බොහෝ අයට වෙලා තියෙනවා. මේ හේතුව නිසාම අපිට හික්කඩුව ධීවර වරායේ සිට ධීවර කටයුතු කිරීම දැන් තිත්ත වෙලයි තියෙන්නේ.
වැලි පරය ඉවත් කිරීමට ගේන යන්ත්‍රය හැමදාම වැඩ නැහැ. සමහර දවස්වලට ඒක කැඩෙනවා. රජයේ නිවාඩු දවස්වලට වැඩ නැහැ. ඔයිල් නැහැ කියලා තවත් සමහර දවස්වලට ඒක වැඩ කරන්නේ නැහැ. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ හික්කඩුව වරායේ පිවිසුමේ හිරවෙන වැලි පරය ඉවත් කර කර ඉන්න තාවකාලික පැලැස්තර විසඳුම නැතිව ස්ථීර විසඳුමක් දෙන්න කියලා. එහේම නොවුණොත් හික්කඩුවේ ධීවර කර්මාන්තයට හෙට දිනයක් නැති වේවී.
බී. ජේ. නිශාන්ත: හික්කඩුව ධීවර වරායෙන් අපිට දැන් රස්සාව කරන්න බැරි මට්ටමකයි තියෙන්නේ. මේ ගැන අපි කොච්චර බලධාරීන්ට කිව්වද. අපිට ධීවර ඇමති කෙනෙක් නැති පාටයි. රටක ධීවර ඇමති කෙනෙක් ඉන්නවනම් ධීවරයන්ට යම් ගැටලු‍වක් ආවාම එය විසඳන්න ඉදිරිපත් වෙන්න ඕන නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. ධීවර ඇමතිලාට ප්‍රශ්නය කීවාට ඒ අයට වගේ වගක් නැහැ. ඒ අය මේවාගැන සොයා බලන්න ඕනනේ. මේ ප්‍රශ්නය දැන් කාලයක ඉදලාම එනවා. පැලැස්තර විසදුම් දෙනවා. ප්‍රශ්නය එතනමයි. විසදුමක් පේනතෙක් මානයක නැහැ. හික්කඩුවේ ධීවර වරායේ පිවිසුමේ වැලි පරයෙන් අපි ඔක්කෝම හෙම්බත් වෙලයි ඉන්නේ.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය ගාලු‍ දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූවිට මෙසේ කීවේය.
හික්කඩුව ධීවර වරායේ පිවිසුමේ ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. මේ වනවිට එය තාවකාලිකව සමනය කිරීමට පියවර ගත්තා. ඉදිරියේදී හික්කඩුව ධීවර වරායේ ඇති ප්‍රශ්නය විධිමත් විදිහට විසඳීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සම්පාදනය කරමින් සිටිනවා.