• සියයට 60ක කොටස් මිලදී ගත් ගනුදෙනුවේ වටිනාකම ඩො. මිලියන 1.9 ක්

සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම බංග්ලාදේශයේ ඩයමන්ඩ් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සියයට 60 ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීම සම්පූර්ණ කළ බව පවසයි. පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මේ බව සඳහන් කරයි. වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1.9  කි.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම බංග්ලාදේශයේ ක්‍රියාත්මක තෙවැනි විදේශීය රක්ෂණ සමාගම බවට සොෆ්ට්ලොජික් ලයිෆ් පත්ව තිබේ. මීට පෙර එක්සත් ජනපදයේ පිහිටි MetLife සමාගමත් ඉන්දියාවේ ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (LIC) සමාගමත් බංග්ලාදේශය තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යයි. වර්තමානයේදී බංග්ලාදේශයේ ජීවිත රක්ෂණයේ පංගුව දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 0.24 කි.

මෙලෙස බංග්ලාදේශ ජීවිත රක්ෂණ සමාගමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මීට පෙර පැවැති සංවාදයකදී අදහස් දක්වා සිටි සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉෆ්තිකාර් අහමඩ් මහතා, “අද වන විට බංග්ලාදේශයේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ පංගුවෙන් සියයට 25ක් හිමි MetLife සමාගමට. පසුගිය වසරේදී එහි වටිනාකම බංග්ලාදේශ ටකා බිලියන 80 ඉක්මවූවා. මේ අවුරුද්දේදී සොෆ්ට්ලොජික් ලයිෆ් ලංකාව තුළ වර්ධනය රුපියල් බිලියන 50ක් ඉක්මවාවි. බංග්ලාදේශයේ රක්ෂණයේ පංගුව අපේ රටේ වගේ අඩක්. එහෙත් එහි විශාල ජනගහනයත් සමගින් පවතින අවස්ථා වැඩියි.’’  යනුවෙන් පවසා සිටියේය.