2026 පළමු කාර්තුවේදී මෙරට සේවා වියුක්ති අනුපාතය සියයට 3.7 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 පළමු කාර්තුවේ පැවැති සියට 3.8 ක සහ 2025 වසරේ පැවැති සියයට 3.9ක සේවා වියුක්ති අනුපාතයට සාපේක්ෂව සියයට 0.1 සහ 0.2 ක සුළු අඩුවීමකි. 
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 
මෙහිදී 2026 පළමු කාර්තුව සඳහා වන ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය සියයට 49.2 ක් ලෙස සටහන්වන අතර, එය 2025 පළමු කාර්තුවේදී පැවැති සියයට 49.7ට සහ 2025 වසර සඳහා පැවැති සියයට 49.4 ට සාපේක්ෂව පිළිවෙළින් සියයට 0.5 ක සහ 0.2 ක අඩුවීමකි. 
මේ අතර ආර්ථිකයේ අංශ අනුව ගත් විට, 2026 පළමු කාර්තුවේදී සමස්ත සේවා නියුක්තියෙන් සියයට 23.7 ක් කෘෂිකර්මාන්තය යටතේද, සියයට 25.9 ක් කර්මාන්ත අංශය යටතේද, සියයට 50.4 ක් සේවා අංශය යටතේද සටහන්ව තිබේ. 
මෙය 2025 සිව්වැනි කාර්තුවේදී කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තියේ පංගුව වන සියයට 23.1 ට සාපේක්ෂව වැඩිවීමක් සහ කර්මාන්ත සහ සේවා යන අංශවල වාර්තා වූ සියයට 26.3 සහ සියයට 50.6 ට සාපේක්ෂව යම් අඩුවීමක් බවත් මහ බැංකුව සඳහන් කරයි.