සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය  (CAIA)  මෙහෙයවන, සීඩීබී ෆිනෑන්ස් (CDB Finance PLC)  ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සහිත “Motor Rally 2026” අගෝස්තු 16 වැනිදා පැවැත්වීමට සියලු‍ කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ ආනයනකරුවන්, ආයතනික හවුල්කරුවන් සහ මෝටර් රථ ලෝකයේ විවිධත්වය අදත්විදීමට උනන්දුව දක්වන පිරිස් එකම තැනකට ගෙන ඒම මෙම මෝටර් රැලියේ ප්‍රධානතම අරමුණ වී තිබේ.
“Motor Rally 2026”  නිල සමාරම්භය සනිටුහන් කිරීම ඉකුත්දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී සිදු විය. මෙම දැවැන්ත මෝටර් රථ සැණකෙළිය සඳහා සීඩීබී ෆිනෑන්ස් පීල්සී ආයතනය නිල අනුග්‍රාහකත්වය සපයන අතර, ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සින්ගර් ෆිනෑන්ස් පීඑල්සි ආයතනය කටයුතු කරනු ඇත. ප්ලැටිනම් අනුග්‍රාහකත්වය හෝම් ලෑන්ඩ්ස් සමූහය සපයනු ලබයි. 
මාධ්‍ය හමුව අමතමින් සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා මෙසේ පවසා සිටියේය. ”‍ සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය (CAIA) කියන්නේ ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ බලපෑමක් ඇති කළ හැකි විශාල සාමාජික සංඛ්‍යාවක් සිටින ප්‍රධානතම සංගමයක්. අපේ අරමුණ ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ සමගිය සහ විශිෂ්ටත්වය ඇති කිරීම. 2026 අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන මෝටර් රථ රැලිය කියන්නේ ඒ සාමූහික ශක්තියේ තවත් එක් ප්‍රතිබිම්බයක්. මේ දැවැන්ත කාර්යයේදී ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස එකතු වූ CDB, Singer Finance සහ Home Lands ආයතනවලට මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා. අපගේ විශාල සාමාජික පිරිසගේ කැපවීමත්, මේ ගෞරවනීය අනුග්‍රාහකයන්ගේ සහයෝගයත් එක්ක මේ රැලිය මෝටර් රථ ක්ෂේත්‍රයට අලු‍ත් මාවතක් පෙන්වන විශිෂ්ට මෝටර් රැලියක් වන බවට මම විශ්වාස කරනවා.”‍
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ ආනයනකරුවන් විසින් මෙරටට ගෙන්වන ලද විවිධ මාදිලියේ මෝටර් රථ රැසක් මෙම  “Motor Rally 2026” දී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෝටර් රථ ධාවනය සදහා එක්වන්නන්ට නවමු අත්දැකීමක් ලබා ගැනීමට හැකිවන පරිදි, කොළඹ සහ ඒ අවට තෝරාගත් සුවිශේෂී ගමන් මාර්ගයක් මේ සදහා යොදා ගැනේ. මෝටර් රථ ලෝලීන් තුළ ආරක්ෂාකාරී රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම සහ අනෙකුත් පාර්ශව සමග සහයෝගීතාව වර්ධනය කරමින්, දේශීය මෝටර් රථ ක්ෂේත්‍රයේ ඵලදායී ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම මෙම රැලිය මගින් අරමුණු වේ.
සිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය (CAIA) යනු, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ආනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රමුඛතම සහ නිල වෘත්තීය සංගමය වේ. වාහන ආනයනකරුවන්ගේ ව්‍යාපාරික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙම ආයතනය, රේගු රෙගුලාසි සහ බදු ප්‍රතිපත්ති ඇතුළු ක්ෂේත්‍රයට අදාළ තීරණ ගැනීමේදී රජය සහ ව්‍යාපාරිකයන් අතර ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරනු ලබයි.