වසර දෙකකදී රු.බි. 20ක් රැස් කරගැනීමේ සැලසුමේ දෙවැනි නිකුතුව මෙයයි 


බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන තවත් ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 10ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ලබාදී තිබේ. 

වසර දෙකක කාලයකදී රුපියල් බිලියන 20ක මුදලක් රැස් කරගැනීම සඳහා වන සැලසුම යටතේ 2026 මාර්තු 30 වැනිදා ලැබුණු කොටස් හිමිකරුවන්ගේ අනුමැතියෙන් පසුව බැංකුව සිදු කරන දෙවැනි ණයකර නිකුතුව ලෙසින්ද මෙය සැලකෙයි. 

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 70ක් නිකුත් කිරිම සැලසුම වී තිබේ. එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 7 කි. ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කෙරෙන අතර, ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 3කි. ඒ අනුව සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10කි. 

මෙම ණයකර බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවා ගත හැකි වසර පහකින් සහ හතකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන බව බැංකුව පවසයි. කෙසේ වෙතත් අදාළ නිකුතුව සම්බන්ධයෙන් සියලු‍ම නියාමන අනුමැතිය අවශ්‍ය බවත් බැංකුව සඳහන් කරයි.