
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා සැපයුම් අංශ කෙරෙහි දැඩි අවධානයක්
GSP+ වෙළෙඳ පහසුකම වඩාත් බලපෑම්සහගතව යොදා ගැනීමටත් අවධානය
දැනටමත් ජර්මානු සන්නාම 300කට වැඩි ගණනක් ශ්‍රී ලංකාවේ භානුක අමරසිංහ
කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ සහාය ඇතිව, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත මණ්ඩලය (AHK Sri Lanka) සංවිධානය කරන ශ්‍රී ලංකා-ජර්මානු ව්‍යාපාරික සංසදය (Sri Lanka – German Business Forum) මැයි 27 සිට 29 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.
දෙරට අතර සහයෝගීතාව, ආයෝජන සහ දැනුම හුවමාරුව මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා මෙම සංසදය වැදගත් වනු ඇතැයි, මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී එහි සංවිධායකයෝ සඳහන් කළහ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා සැපයුම් අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, විදේශීය සෘජු ආයෝජන (FDI) සඳහා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ හැකියාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකික සහ ජර්මානු සමාගම් අතර වඩාත් අර්ථවත් ව්‍යාපාරික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම මෙම සංසදයේ මූලික අරමුණ වී තිබේ.
එසේම GSP+ වෙළෙඳ පහසුකම වඩාත් බලපෑම් සහගතව යොදා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කිරීම අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් මහතා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අගමැතිනිය ජර්මනියේ සිදුකළ සංචාරවල ප්‍රතිඵල ලෙස මෙම සංසදය පැවැත්වෙන බවත්, එම සංචාරවලදී ශ්‍රී ලංකාවේ දෙරට අතර වෙළෙඳාම තවදුරටත් ශක්තිමත් කිරීම, ඩිජිටල් ආර්ථිකය සහ වෘත්තිමය පුහුණුව සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවත් පවසා සිටියේය.
මෙම තෙදින වැඩසටහන යටතේ පළමු වැඩසටහන මැයි 27 වන දින කොළඹ TRACE Expert City හිදී පැවැත්වෙන අතර, එහිදී මෙරට ආරම්භක සමාගම් (Startups) සඳහා සිය නවෝත්පාදන හැකියාව ඉදිරිපත් කිරීමටත්, ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමටත් අවස්ථාව ලබා දෙයි.
එසේම දෙවැනි දිනය වන මැයි 28 වන දින ITC රත්නදීප හෝටලයේදී පැවැත්වෙන ප්‍රධාන සමුළුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපාරික නායකයන් සහ ජාත්‍යන්තර විශේෂඥයන් එක්රැස් කර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන AHK හි ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස්, “ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීමත් සමග, වරාය, සැපයුම් සහ සමුද්‍රීය සේවා සඳහා තරඟකාරී කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවස්ථාව තිබෙනවා.
ඒ අනුව මෙම සංසදයේදී නාවික, බලශක්ති, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, මූල්‍ය සේවා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ අවස්ථා සහ ඒකාබද්ධ ව්‍යාපාර පිළිබඳව අවධානය යොමු වේවි.” යනුවෙන් සඳහන් කළේය.
AHK ශ්‍රී ලංකා ආයතනික කටයුතු සහ වාණිජ අංශ ප්‍රධානී මලින්ත ගජනායක අදහස් දක්වමින්, අද වනවිට ජර්මානු සන්නාම 300කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ පවතින බව සඳහන් කළේය.
ඡායාරූපය: ප්‍රදීප් පතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd