සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 16.6ක කැපී පෙනෙන වර්ධනයකි.
සමූහය ලබා ගත් මෙම ඉහළ ආදායම් වර්ධනයට එහි විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශ මෙන්ම, Joint Agri Products Ceylon (JAPC) පුද්. සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීමද ද ප්‍රධාන වශයෙන් හේතු විය. සුව සේවා අංශය මුළු ආදායමින් සියයට 49.2ක දායකත්වයක් ලබා දෙමින් සමූහයේ මෙම ඉහළ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් අතර පාරිභෝගික අංශය සහ කෘෂි ව්‍යාපාර අංශය ද පිළිවෙළින් සියයට 35.6ක් හා සියයට 15.2ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. කෙසේ වෙතත්, සුව සේවා අංශය මුහුණ දුන් ඖෂධ මිල නියාමන බලපෑම් සහ සැපයුම් දාමයේ පැවති අභියෝග මෙන්ම, කෘෂි ව්‍යාපාර අංශයේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම ද සමූහයේ ලාබදායීත්වයට යම් බලපෑමක් එල්ල කළේය.
පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සමූහයේ දළ ලාබය සියයට 3.2 කින් රුපියල් බිලියන 5.2 ක් දක්වා ඉහළ ගිය අතර, දළ ලාබ ආන්තිකය පදනම් ලකුණු (bps) 366 කින් සියයට 28.1 ක් දක්වා පහත වැටී ඇත. මේ අතර, පොලී සහ බදු පෙර ඉපැයීම් (EBIT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.8 කින් රුපියල් බිලියන 2.4 ක් දක්වා පහත වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් ලාබාන්තිකය සියයට 13.2 ක් දක්වා සුළු පහත වැටීමක් පෙන්නුම් කරයි. මෙම අභියෝග මධ්‍යයේ වුවද සමූහයේ බදු පසු ලාබය (PAT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.0 කින් රුපියල් බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම කාර්තුවේදී Sunshine Healthcare Lanka Ltd සහ ඉන්දියාවේ Zydus Lifesciences Ltd  යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences නමින් නව ව්‍යාපාරයක් ස්ථාපිත කරන ලදී. මෙම ව්‍යාපාරික සහයෝගීතාවෙන් ආයෝජන මණ්ඩලයට අයත් හොරණ අපනයන සැකසුම් කලාපයේ ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන්ට  (GMP) අනුකූලව ඖෂධ වර්ග නිෂ්පාදනය කෙරෙන නවීන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට නියමිතය. මෙම නව ආයෝජනය හරහා දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැකියාව තවදුරටත් පුළුල් කිරීමටත්, එමගින් මෙරට සුව සේවා සැපයුම් දාමය වඩාත් ස්ථාවර කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමූහයේ සුව සේවා අංශය 2027 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 9.1ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5.9ක වර්ධනයකි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් සිදු කරන ලද ඖෂධ මිල අඩු කිරීම් හා සැපයුම් දාමයේ පැවති විවිධ අභියෝග මධ්‍යයේ වුවද, වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන අංශවල අත්කරගත් ප්‍රගතිය හේතුවෙන් සුව සේවා අංශයේ වර්ධනය ස්ථාවරව පවත්වා ගැනීමට සමූහයට හැකි විය.
ඖෂධ විකුණුම් ප්‍රමාණය පහත වැටීම සහ සමස්ත සුව සේවා අංශයේ පැවති අභියෝග හේතුවෙන්, ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 18.2 ක පහත වැටීමක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, වෛද්‍ය උපකරණ අංශය සියයට 8.8 ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති අතර, Healthguard Distribution සහ හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම පිළිවෙළින් සියයට 0.3 ක සහ සියයට 0.9 ක සුළු පහත වැටීමක් අත්විඳින ලදී.
මේ අතර, පළමු කාර්තුවේදී රජයේ ඖෂධ සැපයුම් ඇණවුම් නියමිත පරිදි ලබා දීමට හැකි වීම හේතුවෙන්, සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව සියයට 20.5 ක ඉහළ ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.
FY27 පළමු කාර්තුවේදී පාරිභෝගික අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 38.0ක කැපී පෙනෙන වර්ධනයක් සමගින් රුපියල් බිලියන 6.6ක ආදායමක් වාර්තා කර ඇත. මෙම ඉහළ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමූහය JAPC සමාගමේ බහුතර කොටස්  හිමිකාරීත්වයක් අත්කර ගැනීමයි. කෙසේ වෙතත්, JAPC සමාගම හැර පාරිභෝගික අංශය පමණක් සලකා බැලීමේදී, සන්නාමගත තේ කාණ්ඩයේ ස්ථාවරත්වය සහ රසකැවිලි නිෂ්පාදන පෙළෙහි අඛණ්ඩ වර්ධනය හේතුවෙන් පාරිභෝගික අංශයේ ආදායම සියයට 2.1ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
මේ අතර වෙළෙඳපොළේ Watawala Tea සහ Ran Kahata  යන සන්නාමයන් පෙන්වූ ඉහළ කාර්යසාධනය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව සන්නාමගත තේ කාණ්ඩයේ ආදායම සියයට 8.3ක වර්ධනයක් වාර්තා කර ඇත. මේ අතර, චුයින්ගම් සහ වේෆර් නිෂ්පාදන පෙළෙහි අත්කරගත් ප්‍රගතියත් සමඟ රසකැවිලි අංශයේ ආදායම ද සියයට 6.9ක වර්ධනයක් සනිටුහන් කළේය.
ප්‍රධාන විදේශීය ගැනුම්කරුවන්ගෙන් ලැබුණු ඇණවුම් ප්‍රමාණය අවම වීම හේතුවෙන්, තේ අපනයන ආදායම සියයට 6.3 ක පහත වැටීමක් පෙන්නුම් කළේය. මේ අතර, කුරුඳු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ගම්මිරිස් සහ කරාබුනැටි යන නිෂ්පාදන පෙළෙහි ඉහළ ඉල්ලු‍ම හේතුවෙන් JAPC මේ කුළුබඩු අපනයන ව්‍යාපාරය සියයට 11.5 ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත.
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 12.7ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 2.8ක ආදායමක් වාර්තා කර ඇත.
වෙෙළඳපොළ මිල ගණන් ඉහළ යාම, විකුණුම් ප්‍රමාණය ඉහළ යාම සහ ඉහළ අස්වැන්නක් ලැබීම වැනි සාධක හේතුවෙන් පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායම සියයට 17.9කින් රුපියල් බිලියන 2.5ක් දක්වා වර්ධනය වී ඇත.