සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI)  ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey”  යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාව වැඩිදියුණු කිරීමෙන් සමූහයේ අනාගත සූදානම තහවුරු කිරීමෙහි ලා තැබූ වැදගත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
කොළඹදී පැවැති මෙම වැඩසටහන සඳහා සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය එක්ව සිටියහ. එහිදී දත්ත මත පදනම් වූ, ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වන ලද සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයට සූදානම් ආයතනයක් බවට පත්වීමේ සන්ෂයින් සමාගමේ ඉල්කකය නැවත වරක් අවධාරණය කෙරිණි. මානව සම්පත, ක්‍රියාවලි සහ තාක්ෂණය යන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ ප්‍රධාන අංශ 3ක් පදනම් කරගනිමින් මෙම පරිවර්තනය ක්‍රියාත්මක වේ. දෛනික තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා දත්ත සක්‍රීයව භාවිත කිරීම මෙන්ම දිගුකාලීන ව්‍යාපාරික වටිනාකමක් නිර්මාණය කිරීමට අවශ්‍ය හැකියාව ගොඩනැගීම මෙහි මූලික අරමුණයි.
මෙහිදී අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසුවේය. ”‍අනාගතය අයිති වන්නේ වැඩිපුරම මුදල් ආයෝජනය කරන ආයතනවලටම නොවෙයි. වඩාත් වේගයෙන් කරුණු අධ්‍යයනය කරමින්, නම්‍යශීලීව වෙනස්කම්වලට හුරුවෙමින් සහ වඩා හොඳ තීරණ ගන්නා ආයතනවලටයි. අපගේ අරමුණ වන්නේ දත්ත මගින් නිවැරදි තීරණ ගන්නා, ඩිජිටල් තාක්ෂණයෙන් පොහොසත් සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයට සූදානම් ආයතනයක් බවට පත්වීමයි. එහිදී, දත්ත හා තොරතුරු මගින් නිවැරදි තීරණ ගැනීමටත් තාක්ෂණය හරහා අපගේ කාර්යයන් සරල ගැනීමටත් හැකි වනවා- එමෙන්ම වඩාත් ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට ද අපගේ පිරිස දිරිගනුවනු ලබනවා. අපගේ කාර්ය මණ්ඩල, ක්‍රියාවලි සහ තාක්ෂණය එක් පොදු අරමුණක් වෙනුවෙන් පෙළගැස්වීමෙන්ම මෙම සාර්ථකත්වය ළඟා කරගත හැකියි.” 
මෙම පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන අංශ දෙකක් මෙහිදී හඳුන්වා දෙන ලදී. ඒ අනුව, දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා සමාගම සූදානම් කිරීමේ වැඩසටහන මෙහෙයවීම වෙනුවෙන් Beyond: Putting Data to Work   ආයතනය සහ සමූහයේ ආයතනික තාක්ෂණික ව්‍යුහය සහ ERP  පරිවර්තන සැලැස්ම සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා Ernst & Young Sri Lanka සමගින් සන්ෂයින් සමූහය අත්වැල් බැඳගෙන ඇත. මෙම ප්‍රවේශයන් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වූ, නම්‍යශීලී මෙන්ම දත්ත හා තොරතුරු මත පදනම් වූ ක්‍රියාකාරී පද්ධතියක් සමූහය පුරා ස්ථාපිත කිරීමට නියමිතය.