ප්‍රධාන විධායක නිලධාරී  නුවන්ප්‍රිය ගුණවර්ධන

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් පනවා තිබූ තාවකාලික නියාමන අත්හිටුවීම ඉවත් කිරීමෙන් අනතුරුව සණස ජීවිත රක්ෂණ සමාගම සිය ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ. ඒ සමගම පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම, විශිෂ්ට සේවාවක් ලබාදීම සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයක් කරා ගමන් කිරීමේ නව ගමන්මගකට සමාගම පිවිස ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියම කර තිබූ සියලු‍ නියාමන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යළි සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කළ සමාගම, යහපාලනය, නියාමන අනුකූලතාව සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිති පවත්වාගෙන යමින් සියලු‍ පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටී.


තාවකාලික අත්හිටුවීම පැවති කාලසීමාව තුළද, සණස ජීවිත රක්ෂණ සමාගම සිය රක්ෂණ වන්දි ගෙවීම් කිරීම අඛණ්ඩව සිදු කළ අතර, රක්ෂණ ඔප්පුහිමියන් වෙත සේවා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ලබාදෙමින් පාරිභෝගික ආරක්ෂාව සහ සේවා විශිෂ්ටත්වය පිළිබඳ සිය කැපවීම යළිත් තහවුරු කළේය.
සම්පූර්ණ ව්‍යාපාරික කටයුතු යළි ආරම්භ කිරීමත් සමග රක්ෂණ ඔප්පුහිමියන්ට තවදුරටත් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම, අලෙවි බලකාය සවිබල ගැන්වීම, රක්ෂණ තැරැව්කරුවන්, බැංකු, මූල්‍ය ආයතන හා ආයතනික ව්‍යාපාරික හවුල්කරුවන් සමග සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම සණස සමිති ජාලය හරහා දිවයින පුරා ප්‍රජාවට සේවය කිරීම සඳහා ද සමාගම නව ජවයකින් කටයුතු කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් සණස ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
 “මෙය සණස ජීවිත රක්ෂණ සමාගම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක්. නව අවධානයක්, නව ශක්තියක් සහ අලු‍ත් කැපවීමක් සමග අපි ඉදිරි ගමන ආරම්භ කරනවා. පසුගිය අභියෝගකාරී කාලසීමාව තුළ අප කෙරෙහි නොසැලෙන විශ්වාසය තැබූ අපගේ රක්ෂණ ඔප්පුහිමියන්ට, අලෙවි බලකායට, ව්‍යාපාරික හවුල්කරුවන්ට, සණස ව්‍යාපාරයට සහ සියලු‍ පාර්ශ්වකරුවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. අපගේ ඉදිරි අවධානය යොමුවන්නේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, පාරිභෝගිකයන්ට වැඩි වටිනාකමක් ලබාදීම සහ වසර තිහකට අධික කාලයක් පුරා අපට මගපෙන්වූ වටිනාකම් ආරක්ෂා කරමින් තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීමයි.”
සමාගමේ නව උපායමාර්ගික සැලැස්මට අනුව, පාරිභෝගිකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් සමග යළි සබඳතා ශක්තිමත් කිරීම, බෙදාහැරීමේ ජාලය සවිබල ගැන්වීම, පාරිභෝගික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කිරීම සහ දැරිය හැකි, විශ්වාසනීය ජීවිත රක්ෂණ විසඳුම් තවත් ලාංකිකයන් වෙත සමීප කිරීම සඳහා දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.