ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවයක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය.

සිය වන්දනාමාන හා ආගමික කටයුතු සඳහා අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ගමන් බිමන් ආරක්ෂිතව සහ බාධාවකින් තොරව පහසුවෙන් ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් මෙම සේවය හරහා සලසා දීම SLIC General හි ප්‍රධාන අරමුණ විය.

වන්දනා ගමන් අතරතුරදී තම රථවාහනවල සිදුවන හදිසි ආපදාවලට මුහුණ දෙන ජනතාවට කඩිනම් සහ විශ්වාසනීය සේවයක් ලබා දෙමින් ආපදාවට ලක් වූ රථවාහන නොමිලේ ඇදගෙන යාම, සුළු කාර්මික දෝෂ එම ස්ථානයේදීම හැකි පමණින් අලු‍ත්වැඩියා කර දීම, අවශ්‍ය අවස්ථාවලදී වාහන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සහ හදිසි අවස්ථාවලදී රියැදුරන්ට හා රථවාහනවල පැමිණි සිය පවුල්වලට කඩිනම් සහන සලසා දීම මෙම විශේෂ ආපදා රථ සේවය මගින් සිදු කෙරිණි.