ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින් උණවටුන, Araliya Beach Resort & Spa හෝටලයේදී ‘Together We Rise’ යන තේමාව යටතේ පවත්වනු ලැබූ 2025 වාර්ෂික සාමාන්‍ය රක්ෂණ සමුළුව පසුගිය ජූනි 13 දා සාර්ථකව නිමාවට පත් කළේය. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම දක්ෂතා දැක්වූ සිය කණ්ඩායම් සහ සාමාජිකයන්ගේ ජයග්‍රහණ මෙම සමුළුවේදී සුවිශේෂී ඇගයීමට ලක් කෙරිණි. මේ හරහා විශිෂ්ටත්වය අගය කරමින්, නව අදහස් දිරිගන්වමින් සහ තිරසර වර්ධනයක් කරා යාම සඳහා SLIC General විසින් දක්වන කැපවීම නැවත වරක් මනාව පිළිබිඹු විය. 
පසුගිය ජූනි මස 12 සහ 13 යන දෙදින පුරා පැවැත්වුණු මෙම සමුළුවට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ඉහළම දක්ෂතා දැක්වූ අලෙවි නිලධාරීන්, කළමනාකරුවන් සහ ආයතන නියෝජනය කරමින් ජයග්‍රාහකයන් විශාල පිරිසක් සහභාගී වූහ. සමාගමේ ජයග්‍රහණ සහ දියුණුව සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම සමුළුව ඇගයීම්, වෘත්තීය සංවර්ධනය සහ සාමූහිකත්වය වර්ධනය කිරීම සඳහා කදිම වේදිකාවක් නිර්මාණය කර දෙනු ලැබීය. එමෙන්ම, සේවකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට සහ ඒ සඳහා ප්‍රමුඛතාව සලසා දෙන ආයතනික සංස්කෘතියක් ගොඩනගමින්, SLIC General සතු අරමුණ තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙය අවස්ථාවක් විය. 
මෙම සමුළුව, අලෙවි අංශය යටතේ පැවති තරගයේ ජයග්‍රාහකයන් ඇගයීමට ලක් කරමින් ආරම්භ වූ අතර, එහිදී සමාගමේ ආදායම් ඉලක්ක පසුකර යමින්, ලංකාවේ දීපව්‍යාප්තව සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය වර්ධනය කිරීම වෙනුවෙන් අලෙවි නිලධාරීන් දැක්වූ සුවිශේෂී දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළේය.
සේවකයන්ගේ සෞඛ්‍යය යහපැවැත්ම වෙනුවෙන් ආයතනය දක්වන ප්‍රමුඛතාව පෙන්නුම් කරමින්, කායික හා මානසික සුවතාවය කළමනාකරණය සහ සමබර ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ විශේෂ වැඩසටහනක්ද මෙම සමුළුවට සමගාමීව පැවැත්විණි. කායික හා මානසික යහපැවැත්ම ඇති කිරීම, සේවා ස්ථානයේ ඵලදායීතාව වර්ධනය කිරීම සහ සමස්ත ජීවන තත්වය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රමවේද රැසක් පිළිබඳව මෙම වැඩසටහන හරහා සේවකයන් වෙත ඉදිරිපත් කළේය.
සමුළුවේ දේශන ඇතුළත් සැසිවලට අමතරව සේවකයන්ට විනෝදජනක ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් සාමූහිකත්වය වැඩිදියුණු කරනු ලබන ක්‍රීඩා ද ඇතුළත් වීම විශේෂත්වයක් විය. ඒ හරහා ඔවුන්ට, විවේකීව අන් අය සමග සබඳතා ගොඩනගා ගනිමින්, සේවා ස්ථානයෙන් ඔබ්බට ගිය මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමි විය.
සමුළුවේ සියලු‍ම දෙනා මහත් උනන්දුවකින් බලා සිටි සුවිශේෂීම අවස්ථාව වූ තේමා රාත්‍රිය (Theme Night), එම සැමරුම් උත්සවයට නව ජීවයක් එක් කළේය. ලංකාවේ ප්‍රමුඛ පෙළේ කලාකරුවන් සහ විශේෂ ආරාධිත ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම්වලින් වර්ණවත් වූ වින්දනය පිරී ගිය ප්‍රාසාංගික රාත්‍රියක් සමගින් මෙම සමුළුව නිමාවට පත් විය.
SLIC General හි 3,000කට අධික සේවක පිරිසක් සහිත අලෙවි කණ්ඩායම් අතරින්, ඉහළම සේවයක් ලබා දෙමින්, සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරනු ලැබූ විශිෂ්ටතම රක්ෂණ උපදේශකවරුන් 200 දෙනකු මෙම සමුළුවේදී ඇගයීමට ලක් කළේය. එමෙන්ම, නිවැරදි මගපෙන්වීම් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වෙනුවෙන් ශාඛා සහ ප්‍රාදේශීය කළමනාකරුවන්, සමාගමේ දියුණුවට විශාල දායකත්වයක් ලබාදුන් ප්‍රධාන කාර්යාලයේ සහ විවිධ අංශවල ඉහළම දක්ෂතා දැක්වූ නිලධාරීන්ද මෙහිදී ගෞරව ඇගයීමට ලක් විය.
මෙහිදී FBD හා FBD නොවන අංශවල අලෙවි විධායක නිලධාරීන්ගේ දක්ෂතා, පාරිභෝගික සබඳතා මෙන්ම ව්‍යාපාර වර්ධනය සහ අදාළ අංශයේ දියුණුව වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීමට ලක් කෙරිණි.