• 2026 දෙවැනි කාර්තුව සඳහා අද සිට ASPI ප්‍රතිතුලනය කෙරේ

කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE)  සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) 2020 මැයි මාසයේ සටහන් කළ ඒකක 4,846 ක සිට 2026 මැයි මාසයේ සටහන් වූ ඒකක 22,311ක් දක්වා වසර හයකදී සියයට 360 කින් වර්ධනය වී ඇතැයි එම හුවමාරුව සඳහන් කරයි. 

ඒ අනුව මෙය පසුගිය වසර හයක කාලය තුළ CSE පෙන්නුම් කළ කැපී පෙනෙන වර්ධනයක් බවත්, එහි සමුච්චිත වාර්ෂික වර්ධන අනුපාතය  (CAGR)  ආසන්න වශයෙන් සියයට 28.98ක් බවත් පවසයි. එහිදී හුවමාරුවේ ගනුදෙනු හරහා හිමිවන ප්‍රාග්ධන ලාභ තවදුරටත් බදුවලින් නිදහස්වීමත් විශේෂත්වයකි.

මේ අතර 2026 දෙවැනි කාර්තුව සඳහා සියලු‍ කොටස් මිල දර්ශකය ප්‍රතිතුලනය කිරීම අද (22) දිනයේ සිට සිදු කෙරෙන බව එම හුවමාරුව සඳහන් කරයි. ඒ අනුව ජූනි 19 වැනිදා වෙළෙඳපොළ ගනුදෙනු අවසන්වීමෙන් අනතුරුව නැවතත් ගනුදෙනු සඳහා විවෘත කරන පළමු දිනය වන අද දිනයේ සිට මෙය බලාත්මක වෙයි.

කොටස් වෙළෙඳපොළේ ASPI දර්ශකය නිවැරදිව සහ සාධාරණව පවත්වාගෙන යෑම සඳහා හැම මාස 3කට වරක්ම සිදු කරන යාවත්කාලීන කිරීමක් ලෙස මෙම කාර්තුමය ප්‍රතිතුලනය සිදු කෙරේ. 

කොටස් වෙළෙඳපොළේ සැබෑ තත්වය සහ ආර්ථිකයේ ස්වභාවය මෙම දර්ශකය මඟින් නිවැරදිව පිළිඹිබු වෙනවාද යන්න තහවුරු කිරීම එහි අපේක්ෂාවයි. 

එසේ නොමැති වුවහොත් පැරණි දත්ත නිසා දර්ශකය පෙන්වන අගය සාවද්‍ය විය වීමේ අවස්ථාවක් පවතී.

සාමාන්‍යයෙන් කොළඹ කොටස් හුවමාරුව විසින් සෑම වසරකම මාර්තු, ජුනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් යන මාස අවසානයේදී මෙම කාර්තුමය ප්‍රතිතුලන සිදු කරයි. 

2026 තෙවැනි කාර්තුව සඳහා වන මීළග ASPI ප්‍රති තුලනය කිරීම ලබන සැප්තැම්බර් 18 වැනිදා සිදු කෙරේ.