• සමස්ත ආදායම් වටිනාකම 
  • රු. ට්‍රිලියන 3 ආසන්නයට 
  • බදු ආදායම බිලියන 2,711ක් දක්වා සියයට 25.9 කින් ඉහළට 
  • මුල් මාස හය තුළ අයවැය ශේෂයේ රුපියල් බිලියන 9.51 ක අතිරික්තයක් 

2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ පළමු මාස හය තුළදී රජයේ ආදායම් සහ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 2,956ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 මුල් මාස හයේදී වාර්තා වූ රුපියල් බිලියන 2,325ක ආදායම් හා ප්‍රදානවල වටිනාකම හා සැසඳීමේදී මෙය සියයට 27.1 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 
මෙහිදී ආදායම රුපියල් බිලියන 2,322ක සිට රුපියල් බිලියන 2,954ක් දක්වා සියයට 27.2 කින් ඉහළ ගොස් තිබේ. මේ අතරින් බදු ආදායම රුපියල් බිලියන 2,152 ක සිට රුපියල් බිලියන 2,711ක් දක්වා සියයට 25.9 කින් ඉහළ ගොස් තිබේ. එසේම බදු නොවන ආදායම රුපියල් බිලියන 169.63 ක සිට 243.64 ක් දක්වා සියයට 43.6 කින් ඉහළ ගොස් තිබේ. 
කෙසේ වෙතත් වසරේ මුල් මාස හය තුළ ලැබුණු ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 1.81 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 මුල් මාස හයේදී වාර්තා වූ රුපියල් බිලියන 3.39 ට සාපේක්ෂව සියයට 46.6 ක අඩුවීමකි. 
මේ අතර 2026 වසරේ මුල් මාස හය තුළ වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ශුද්ධ ණයදීම් රුපියල් බිලියන 2,946ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 පළමු මාස හය තුළ වාර්තා වූ රුපියල් බිලියන 2,731 හා සැසඳීමේදී සියයට 7.9 ක වර්ධනයකි. 
එහිදී පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 2,670ක් ලෙස සටහන් වන අතර, ප්‍රාග්ධන වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළ පසු ශුද්ධ ණයදීම් රුපියල් බිලියන 276.60ක් ලෙස සටහන්ව තිබේ. 
ඒ අනුව වසරේ මුල් මාස හයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 1,244ක් ලෙස සටහන්ව ඇති අතර, 2025 මුල් මාස හයේදී එය රුපියල් බිලියන 859ක් විය. එසේම අදාළ කාලසීමාවේදී සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 9.51 ක අතිරික්තයක් ලෙස සටහන්ව ඇති අතර, 2025 මුල් මාස හයේදී එය රුපියල් බිලියන 405.60 ක හිඟයක් ලෙස සටහන් විය.