සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඒ.එන්.අයි පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී ස්මිතා ප්‍රකාශ් ආසියානු සමූහයේ හවුල්කරු අශෝක් මලික් ශ්‍රී ලංකා - ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ සභාපති නිස්තාර් කාසිම් මීඩියාෆෙස්ට් උළෙල අධ්‍යක්ෂ සන්තෝෂ් මෙනන්
විමුක්ති එස්. රුද්‍රිගු
අතීතයේ ව්‍යාජ හෝ වැරදි තොරතුරක් ජනගත කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් වුවත් වර්තමානය වනවිට එය ඉතාමත් පහසු කටයුත්තක් වී තිබෙන බව ඒ.එන්.අයි පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී ස්මිතා ප්‍රකාශ් මහත්මිය පැවසුවාය.
ලෝකයේ එහා කෙළවරේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායමක් දියත් කරන සැලැසුමක් පිළිබඳ පුවතක් තත්පර කිහිපයක් තුළ ලෝකයේ ඕනෑම තැනකට ලැබෙන බවත් අපිට පුවත් ලැබීම වැළැක්වීමට ලෝකයේ කිසිදු පරිගණක ආරක්ෂණ වැඩසටහනකට හැකියාවක් නොමැති බවත් ඇය ප්‍රකාශ කළාය. ව්‍යාජ තොරතුරු සහ වැරදි තොරතුරු යනු එකම දේ යැයි අපි සිතුවත් එය එසේ නොවන බවද ඇය පෙන්වා දුන්නාය.
වැරදි තොරතුරු යනු ජනතාව නොමග යැවීම අදහසක් නොමැතිව නොදැනුවත්ව ජනගත කරන තොරතුරු යැයි ප්‍රකාශ් මහත්මිය ප්‍රකාශ කළාය. එහෙත් ව්‍යාජ තොරතුරක් යනු ජනතාව නොමග යැවීමේ අරමුණින් හිතමතාම ජනගත කරන තොරතුරු බවද ඇය පැවැසුවාය.
සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා රටවල්, දේශපාලන පක්ෂ, සමාගම් සහ බුද්ධි අංශ වැනි පාර්ශ්ව වර්තමානය වනවිට ව්‍යාජ තොරතුරු ජනගත කරන බවත් ව්‍යාජ තොරතුරු අවියක් බවට පත්වී අවසන් බවත් ඇය ප්‍රකාශ කළාය. පෞද්ගලික සමාගම් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගනිමින් සිය වෙළෙඳපොළ කොටස වැඩිකර ගැනීම සඳහාද ව්‍යාජ තොරතුරු භාවිත කරන බවත් වර්තමානය වනවිට ව්‍යාජ තොරතුරු ජනගත කිරීමේ වගකීම හිමි වන්නේ සමාජ මාධ්‍ය තුළ සිටින ප්‍රසිද්ධ චරිතවලට බවද ඇය පැවැසුවාය.
සමාජ මාධ්‍ය තුළ සිටින ප්‍රසිද්ධ චරිතවල ප්‍රසිද්ධිය යොදා ගනිමින් මහජනතාවගේ මතය තමන්ට අවශ්‍ය පරිදි හැඩගැස්වීම සඳහා ව්‍යාජ තොරතුරු අවියක් කරගත් පාර්ශ්ව එම තොරතුරු ජනගත කරන බවද ස්මිතා ප්‍රකාශ් මහත්මිය ප්‍රකාශ කළාය. තමන් විශ්වාස නොකරන දෙයක ආයෝජනයක් කිරීමට පෙළඹවීමට ව්‍යාජ තොරතුරු ජනගත කරන සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ චරිතවලට හැකියාවක් තිබෙන බවද ඇය පැවැසුවාය.
එය ඉතාමත් භයානක දෙයක් බවත් තමන් එම සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ චරිත “සින්ෆ්ලුවන්සර්” (පවුකාර සමාජ මාධ්‍ය චරිත) ලෙස හඳුන්වනු ලබන බවත් ඇය ප්‍රකාශ කළාය. තමන් ඉතුරු කරගත් මුදල් අන්තිම රුපියල දක්වා තමන් විශ්වාස නොකරන දෙයක ආයෝජනය කිරීමට පෙළඹවීමට මෙම චරිතවලට හැකියාව තිබෙන බවද ඇය පැවැසුවාය.
මෙය ලෝකයේ සෑම රටකටම එල්ල වී ඇති තර්ජනයක් බවත් ඒ හේතුවෙන් සත්‍ය තොරතුරු ජනගත කිරීම සඳහා මෙවැනි පවුකාර සමාජ මාධ්‍ය ප්‍රසිද්ධ චරිත සමග සටන් වැදීමට මාධ්‍යවේදීන්ට සිදුව තිබෙන බව ස්මිතා ප්‍රකාශ් මහත්මිය ප්‍රකාශ කළාය. සුනාමි රැල්ලක් සේ වැරදි තොරතුරු සහ ව්‍යාජ තොරතුරු වර්තමානය වනවිට ජනගත වන බවද ඇය පැවැසුවාය. මාධ්‍යවේදීන් සැමවිටම සත්‍ය ගවේෂකයන් විය යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
මෙම සුනාමි රැලි සමග සටන් වැදීම ඉතාමත් අපහසු කරුණක් බවත් අද මාධ්‍යවේදීන්ට සටන් කිරීමට සිදුව ඇත්තේ සංවිධානාත්මක වංචාවකට එරෙහිව බවත් ස්මිතා ප්‍රකාශ් මහත්මිය පෙන්වා දුන්නාය. ව්‍යාජ තොරතුරු සහ වැරදි තොරතුරු අපගේ ජංගම දුරකතන සහ පරිගණකවලට ලැබීම වැළැක්වීමට කිසිදු ක්‍රමයක් නොමැති බවත් බවත් ඇය සඳහන් කළාය.
ඒ හේතුවෙන් අපිට ලැබෙන තොරතුරු අන්ධයන් ලෙස විශ්වාස නොකළ යුතු බවත් ඒ හේතුවෙන් තොරතුරක් දෙස තාර්කිකව බලා සොයා බැලීමෙන් පසුව පමණක් ලැබෙන තොරතුරක් පිළිගැනීමට පෙළඹිය යුතු බවත් ඇය පැවැසුවාය. සුනාමියක් සේ තොරතුරු ගලා ඒම හේතුවෙන් වර්තමානය වනවිට අපගේ ජංගම දුරකතන සහ පරිගණක යුද පිටියක් වී තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.
එහිදී යුද වැදීම සඳහා තෝරා ගන්නේ කුමන හමුදාවදැයි ඉතාමත් කල්පනාකාරීව සිතිය යුතු බව ඇය පැවැසුවාය. අපගේ ජංගම දුරකතනයට සහ පරිගණකයට පැමිණෙන ව්‍යාජ සහ වැරදි තොරතුරුවලට එරෙහිව සටන් වැදීමට, නරක පලවා හැර නිවැරදි දේ පමණක් ලබාගැනීමට එම හමුදාව යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අප කල්පනාකාරීව සිතිය යුතු බවද ඇය ප්‍රකාශ කළාය.
කෘත්‍රිම බුද්ධිය පැමිණීමත් සමග ඉතාමත් පහසුවෙන් ජනතාව රැවටීමේ සහ වංචාවලට ලක් කිරීමේ හැකියාව මෙම පාර්ශ්වවලට ලැබී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.
ව්‍යාජ හා වැරදි තොරතුරු ජනගත වීම හේතුවෙන් මාධ්‍ය පිළිබඳව තිබෙන විශ්වසනීයත්වය වර්තමානය වනවිට සම්පූර්ණයෙන්ම නැතිව ගොස් තිබෙන බවත් එය නැවත ගොඩනගා ගැනීමට මාධ්‍යවේදීන්ට සිදුවනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. ඉන්දියාවේ ජනගත වන ව්‍යාජ තොරතුරකින් ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම බලපෑමක් එල්ල විය හැකි බවද ස්මිතා ප්‍රකාශ් මහත්මිය පැවැසුවාය.
පුවතක් ජනගත කිරීමේදී සැමවිටම සමාජ මාධ්‍ය ඉක්මන් වනු ඇති බවත් එයට හේතුව සමාජ මාධ්‍ය තුළ පුවතක් පළ කිරීමේදී ආචාරධර්ම පද්ධතියක් හෝ නීති පද්ධතියක් නොමැතිවීම බවද ඇය ප්‍රකාශ කළාය. ඒ හේතුවෙන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය සංසන්දනය කිරීම බරපතළ වැරැද්දක් බවද ඇය පැවැසුවාය.
සමාජ මාධ්‍ය සමග තරග කිරීමට සිදුවීම මෙම ඩිජිටල් යුගයේ මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවන විශාල අභියෝගයක් බවද ඇය පෙන්වා දුන්නාය. ඒ හේතුවෙන් තොරතුරක් ලැබුණු පමණින් එය විශ්වාස නොකළ යුතු බවත් විශ්වාස කිරීමට ප්‍රථම ඒ පිළිබඳව තාර්කිකව සිතිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා - ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කර තිබූ “මීඩියා ෆෙස්ට් 2026” උත්සවයට සහභාගී වෙමින් ඒ.එන්.අයි පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී ස්මිතා ප්‍රකාශ් මහත්මිය මෙම අදහස් පළ කළාය. “වෙනස් වන ලෝකයට ගැලපෙන ලෙස හැඩගැසීම” යන තේමාව යටතේ මෙවර “මීඩියා ෆෙස්ට් 2026” උත්සවය පැවැත්විණි.
“මීඩියා ෆෙස්ට් 2026” උත්සවයට ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් පෙන්වා දී සිටියේ මහජන විශ්වාසය අවතක්සේරුවට ලක් නොවන අයුරින් නව තාක්ෂණයට හැඩගැසීමට මාධ්‍ය ආයතන කටයුතු කළ යුතු බවයි. එසේම “මීඩියා ෆෙස්ට් 2026” උත්සවයේදී කෘත්‍රිම බුද්ධිය මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම, ප්‍රේක්ෂකයන්ගේ වෙනස් වන හැසිරීම සහ වෙනස් වන ව්‍යාපාර පරිසරය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ගැනිණි.
උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වූවේය.
එහිදී පැමිණි සිටි පිරිස අමතමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කර සිටියේ “මීඩියා ෆෙස්ට්” වාර්ෂික උත්සවය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෘත්තීය සංවාදයක් ගොඩනගා ගැනීමට ප්‍රධාන වේදිකාවක් සපයන බවයි. උත්සවයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සහ ඉන්දීය මාධ්‍යවේදීන් විශාල පිරිසගෙන් තහවුරු වන්නේ එකිනෙකාගෙන් යමක් ඉගෙන ගැනීමට තිබෙන පොදු ආශාවක් තිබෙන බව යැයිද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ සමීප සංස්කෘතික සබඳතා සහයෝගීතාව සඳහා ස්වභාවික පදනමක් නිර්මාණය කර තිබෙන බවද ඔහු පැවැසුවේය. කීර්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙකක් ලෙස ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍යවේදීන්ට පොදු අභියෝග කිහිපයක් තිබෙන බවත් ඒ අතර මහජන විශ්වාසය තබා ගැනීම සඳහා ව්‍යාජ සහ වැරදි තොරතුරුවලට එරෙහිව සටන් වැදීම මෙන්ම නවීන තාක්ෂණයට හැඩගැසීමට තිබෙන බවත් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් දෙරටේ මාධ්‍යවේදීන්ට දැනුමට යමක් එකතු කර ගත හැකි බවත් “මීඩියා ෆෙස්ට් 2026” එයට කදිම වේදිකාවක් සපයන බවත් ඔහු පැවැසුවේය. එසේම ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍ය ආයතන අතර තිබෙන හවුල්කාරිත්වය වැඩිදියුණු කර ගැනීමටද මෙම උත්සවය කදිම වේදිකාවක් සපයන බවද ඔහු ප්‍රකාශ කළේය.
මාධ්‍ය ක්ෂේත්‍රය සැලකිය යුතු පරිවර්තනයකට භාජනය වෙමින් තිබෙන බවත් කෘත්‍රිම බුද්ධිය, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් වේදිකා එයට හේතු වී තිබෙන බවත් මහ කොමසාරිස්වරයා පැවැසුවේය. මාධ්‍යවේදීන් හුවමාරු කර ගැනීම, කර්තෘ මණ්ඩල චාරිකා, මාධ්‍ය පුහුණුව සහ ආයතනික හවුල්කාරිත්ව ඔස්සේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට ඉන්දියාව අඛණ්ඩව සහාය ලබාදෙන බවද ජා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධ කරන වැදගත්ම පාලම ජනමාධ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා සහ ඉන්දියානු මාධ්‍යවේදීන් අතර වෘත්තීමය ශක්තිමත් මිතුදමක් මෙන්ම හවුල්කාරිත්වයක් ගොඩනගා ගන්නා දෙරටේ මාධ්‍යවේදීන් දිරිමත් කරන බවද ඔහු පැවැසුවේය.
“මීඩියා ෆෙස්ට් 2026” උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය හෝ වෘත්තීය ආචාරධර්මවලට හානි නොකර, පුවත්පත් කලාව තාක්ෂණික වෙනස්කම් වැළඳ ගත යුතු බවයි. පුවතක් නිර්මාණය සහ ජනගත වන ආකාරය තීරණය කිරීමට කෘත්‍රිම බුද්ධියට, සමාජ මාධ්‍යයට හැකියාව ලැබී තිබෙන බවත් වර්තමානය වනවිට ප්‍රේක්ෂකයාද පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බවත් වෛද්‍යවරයා පැවැසුවේය.
එසේම පළවන ඕනෑම පුවතක් ඒ ආකාරයෙන් බාර ගැනීමට ප්‍රේක්ෂකයා සූදානම් නොමැති බවත් පුවත් තහවුරු කර ගැනීමට ඔවුන් පෙළඹී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වෙනස්කම් සිදුවුවද තවමත් නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගවීමේ මාධ්‍යකරණයක් මහජනතාව අපේක්ෂා කරන බවද ඔහු පැවැසුවේය.
ව්‍යාජ තොරතුරු සහ වැරදි තොරතුරු මිනිත්තු ගණනක් තුළ පැතිර යන බැවින් වෘත්තීයමය මාධ්‍යවේදීන්ට තිබෙන වගකීම තවත් වැඩි වී තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විශ්වසනීයත්වය තවදුරටත් හුදෙක් වෘත්තීමය වටිනාකමක් නොවන බවත් එය මාධ්‍යවේදියකු සතු ශ්‍රේෂ්ඨතම වත්කම බවට පත්ව ඇති බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේය. කතුවැකි අන්තර්ගතය නියම කිරීමට වඩා ස්වාධීන පුවත්පත් කලාවට දියුණු විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ආණ්ඩු කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
පුවතක් නිවැරදි දැයි සොයා බැලීමට, ඒ පිළිබඳ විමර්ශනය කිරීමට සහ පර්යේෂණය කිරීමට මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය යොදා ගත හැකි නමුත් එය කතුවැකි විනිශ්චයට ආදේශකයක් ලෙස යොදා නොගත යුතු යැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම මාධ්‍ය ක්ෂේත්‍රයේ වඩාත් හොඳ සහයෝගීත්වයක් ගොඩනගා ගැනීමට තමන් දෙරටේ මාධ්‍යවේදීන් දිරිමත් කරන බවද ඔහු පැවැසුවේය.
“මීඩියා ෆෙස්ට් 2026” උත්සවයට ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ 2024 වසරේ මැයි මස 29 වැනිදා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය පිහිටුවන විට ඒ පිටුපස විශාල අරමුණක් තිබූ බවයි.
දෙරටේ මාධ්‍ය සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට, අන්‍යොන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීමට සහ පුද්ගල අන්තර් සබඳතා වැඩිදියුණු කර ගැනීමට සහයෝගීතා වේදිකාවක් සැපයීම ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ අරමුණ වූ බවද ඇය පැවැසුවාය. මෙවර “මීඩියා ෆෙස්ට් 2026” උත්සවයට සහභාගී වී ඇති පිරිස දෙස බැලූ විට ශ්‍රී ලංකා - ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ අරමුණ මේ වනවිට ඉටුවී තිබෙන බව පැහැදිලි යැයිද ඇය ප්‍රකාශ කළාය.
මුද්‍රිත, විද්‍යුත් සහ රේඩියෝ මාධ්‍ය වෙන්කළ සාම්ප්‍රදායික සීමා වර්තමානය වනවිට වෙනස් වී තිබෙන බවද ඇය පැවැසුවාය. සංකීර්ණ ඩිජිටල් වේදිකාවක් වෙත ඒ සියල්ල ගෙනවිත් තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය. ප්‍රේක්ෂකයන් සාම්ප්‍රදායික අන්තර්ගතයන්ගෙන් මිදී වැඩි වශයෙන් ඩිජිටල් අන්තර්ගතයන් වෙත නැඹුරුවීමේ ප්‍රවණතාවක් වර්තමානය වනවිට පෙන්නුම් කරන බවද ඇය පැවැසුවාය.
මෙම පරිවර්තනය “මීඩියා ෆෙස්ට් 2026” උත්සවයේ තේමාවටද අදාළ වන බව ඇය පෙන්වා දුන්නාය. මෙම උත්සවය සංවාද තුනක් මත ගොඩනැගී තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය. තාක්ෂණය වෙනස් වුවද මාධ්‍ය කලාවේ හරය කිසිම දිනක වෙනස් නොවිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඩිජිටල් වේදිකාව තුළ ප්‍රථමයා වීමට යන ගමනේදී සැමවිටම විශ්වසනීයත්වය සහ ආචාරධර්ම ආරක්ෂා කර ගත යුතු බවද ඇය පැවැසුවාය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ සභාපති නිස්තාර් කාසිම් මහතා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන්ට, සංස්කාරකවරුන්ට, මාධ්‍ය විධායකයන්ට, ඩිජිටල් නිර්මාණකරුවන්ට, ආයතනික සන්නිවේදන වෘත්තිකයන්ට, ශාස්ත්‍රඥයන්ට සහ කර්මාන්ත විශේෂඥයන්ට සිය දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට “මීඩියා ෆෙස්ට්” උත්සවය කදිම වේදිකාවක් සපයන බවයි.
වසර දෙකකට පෙර ශ්‍රී ලංකා - ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය පිහිටුවීමේ සිට දෙරටේ මාධ්‍ය ප්‍රජාව අතර සමීප සම්බන්ධතාව ප්‍රවර්ධනය කරන අද්විතීය වෘත්තීය වේදිකාවක් බවට වේගයෙන් පරිණාමය වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ආසියානු සමූහයේ හවුල්කරු අශෝක් මලික් මහතා ප්‍රකාශ කර සිටියේ ජනමාධ්‍යවේදීන් සත්‍ය කියන්නන් ලෙස හැඳින්විය හැකි බවයි. මාධ්‍යවේදීන් විටෙක රාජ්‍ය පාලනයේ සහ ප්‍රතිපත්තිවල අඩුපාඩු පෙන්වා දෙන බවත් විටෙක ඔවුන් විමර්ශනාත්මක මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය.
ජනමාධ්‍යවේදය බොහෝ විට දූෂණය හෙළිදරව් කිරීමේ සහ ආයතන වගවීම සඳහා මාධ්‍යයක් ලෙස සේවය කරන අතර, ප්‍රතිපත්ති සම්පාදනයේ සහ මහජන සේවයේ යෙදීමට මාර්ගයක් ද සපයන බව ඔහු පැවසීය. මාධ්‍යවේදීන් විවිධ හේතු මත වෘත්තියට පිවිසෙන අතර, සමහරුන් සත්‍ය කියන්නන් වීමේ ආශාවෙන් ඊට පෙළඹෙන බවත් ඔවුන්, රාජ්‍ය ප්‍රතිපත්ති, පාලනය සහ ව්‍යාපාරවල අඩුපාඩු හෙළි කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම තවත් සමහරු මාධ්‍යවේදය රාජ්‍ය ප්‍රතිපත්තිය හැඩගැස්වීමේ මාර්ගයක් ලෙස සලකන බවද ඔහු ප්‍රකාශ කළේය.
“මීඩියා ෆෙස්ට් 2026” විද්වත් කථිකා දෙකකින්ද සමන්විත විය. එම විද්වත් කථිකා දෙක සඳහා ශ්‍රී ලංකා - ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ සභාපති සහ ඩේලි එෆ්.ටී පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම්, සී.අයි.ආර් ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දිල්රුක්ෂි හඳුන්නෙත්ති, ඒ.එෆ්.පී ශ්‍රී ලංකා ප්‍රධානී අමල් ජයසිංහ, ඩේලි මිරර් ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන්, නිව්ස් වයර් කර්තෘ කලනි කුමාරසිංහ, නියෝන් උපදේශක කර්තෘ ඉන්දික සකලසූරිය, පල්ස් ඩිජිටල් කර්තෘ විමුක්ති කරුණාරත්න, වීරකේසරි සහකාර කර්තෘ රොබට් ඇන්තනි, අද දෙරණ ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහීෂ් ජොනී, ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු, නීතිය සහ ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නිලන්තන් නිරුතන්, වෙරිටේ ආයතනයේ මාධ්‍ය පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී දීපාංජලී අබේවර්ධන සහ ලිබරල් තරුණ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ කැඳවුම්කරු නාමිනී පණ්ඩිත ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ.




ඡායාරූප: ශෙහාන් ගුණසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd