
කර්මාන්ත ආරම්භ කිරීමට හතළිස් දෙනකුට පමණ ඉඩම් දී ඇතත් කර්මාන්ත පවත්වාගෙන යන්නේ කිහිපදෙනෙක් පමණයි
අතෑර දැමු නිවාස රූස්ස කැලයෙන් යටවෙයි
දේශපාලන හිතවත්කම පමණක් සලකා නුසුදුස්සන්ට ඉඩම් සහ නිවාස දීලා
වැඩිදෙනකු ඉඩම් වෙනත් අයට විකුණලා
අතුරු මාර්ගත් ගන්නම දෙයක් නෑ
බුල්නෑව ප්‍රදීප් රණතුංග
1993 වර්ෂයේ දී අරඹා ඇති මිහින්තලය ඉසුරු උයන කාර්මික ජනපදය වල්වැදී විනාශ වීමේ අවදානමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මිහින්තලය විශ්වවිද්‍යාලයට සහ දුම්රිය ස්ථානයට යාබදව පිහිටි ඉසුරු උයන ගම්මානය, අංක 586 මරදන්කුලම ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් වන්නකි.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ මගපෙන්වීම සහිතව විවිධ කර්මාන්ත ඇරඹීම සඳහා එවක තෝරාගත් ප්‍රතිලාභීන්ට මෙහි ඉඩම් සහ නිවාස ලබාදීම සිදුකොට ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙසේ තෝරාගත් සමහරකු නිසි සුදුස්සන් නොවීම හේතුවෙන් අද වන විට මෙම ජනපදයේ බොහෝමයක් ගොඩනැගිලි වල්වැදී විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ඉසුරු උයන ආශ්‍රිතව කුඩා කර්මාන්තයක නියැලී සිටින නිර්මලා චාන්දනී මහත්මිය මෙසේ පැවසුවාය. “මේ කර්මාන්තපුරය පටන් ගත්ත මුල් කාලෙවත් පවුල් හතළිහක් මේ ගෙවල්වල පදිංචි වෙලා ඉදලා නෑ. මෙහේ ගෙවල් දීලා තිබුණ සමහර මිනිස්සු හොඳ රස්සා කරන, වෙන තැන්වල ගෙවල් තියෙන මිනිස්සු. ඒ අය කර්මාන්ත කරන අය නෙවෙයි. දැන් අපි කීපදෙනෙක් විතරයි මෙතැන පොඩි පොඩි ව්‍යාපාර කරන්නේ. තවත් කීපදෙනක් නිකං පදිංචි වෙලා ඉන්නවා. අනිත් ඉඩම්වලට අයිතිකාරයෝ හිටියට ඒ ගොල්ලෝ මෙතැන ව්‍යාපාර කරන්නෙත් නෑ. පදිංචි වෙලත් නෑ. ඒ ඉඩම් කැලෑ වැහිලා තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ පර්චස් විස්සේ, තිහේ ඉඩම් කෑලි. මෙතැන ඉන්න කිසිකෙනකුට දියුණුවක් නෑ.”
එවක ප්‍රතිලාභීන් හතළිස්දෙනකුට පමණ මෙසේ නිවාස සහිත ඉඩම් ලබාදී ඇතත්, වර්තමානය වන විට පවුල් පහළොවක් පමණ පිරිසක් මෙහි පදිංචිව සිටින බව ගැමියෝ පවසති. එසේ ලබාගත් ඉඩම් සමහරකු විකුණා දමා තිබේ. මෙතෙක් මේ කිසිදු ඉඩම් කැබැල්ලකට ඔප්පු ලබාදීමට පියවර ගෙන නොමැති බවද මෙහි ගැමියෝ පවසති.
කලක් තිස්සේ මෙහි දිවි ගෙවන ජී.ඩී. සුනිල් මහතා මෙසේ කරුණු කීවේය.
“ඇත්තටම ගෙයක් ඕන අසරණ මිනිස්සු හොයලා එහෙම අයට මේ නිකරුනේ වල් වැදිලා තියෙන ගෙවල් දෙන්න කියලා අපි කියන්නේ. තව තැන්වල හොඳ ඉඩම්, ගෙවල් තියෙන මිනිස්සුන්ට ගෙවල් දුන්නහම ඒ මිනිස්සු දුක් විඳගෙන මේ තැන්වල ඉන්නැති එකේ පුදුමයක් නෑනේ. ඉඩමක්, ගෙයක් නැති මොනතරම් මිනිස්සු මේ පළාතේ ඉන්නවද? එහෙම මිනිස්සුන්ට මේ නිකරුනේ විනාශ වෙලා යන ගෙවල් දුන්නොත් ඒකම ලොකු පිනක්නේ.”
විනාශ වෙමින් ඇති හුදකලා නිවාස සාමකාමී ජන ජීවිතයට මහත් තර්ජනයක් වී ඇති බව ද ගැමියෝ පවසති. විවිධ අපචාරි ක්‍රියාවල නිරතවන්නන්ට මෙම පසුබිම මහත් රුකුලක් විය හැකි බවට ද ඔවුහු සැක පහළ කරති. ගම්මානයේ ප්‍රවේශ මාර්ගය මෙන්ම අතුරු මාර්ග සියල්ලක්ම පාහේ වළ ගොඩැලි ඇතිවී ගල්, මුල් මතුවී දෙපයින් හෝ යා නොහැකි තරමින් අබලන්ව ඇති බව ගැමියෝ පවසති. ඉසුරු උයන කාර්මික ජනපදය රැකදෙන ලෙස ඔවුහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරති.
ගම්වාසී දුමිතා අබේරත්න මහත්මිය මෙසේ කරුණු දැක්වුවාය.
“මහත්තයා මරුණට පස්සේ දැන් අපි මොකුත් කර්මාන්තයක් මෙතැන කරන් නෑ. ඒත් පදිංචි වෙලා ඉන්නවා. අඩුම ගානේ මේ ඉඩම්වලට ඔප්පු ටික හදලා දෙනවා නම් ඒකත් ලොකු දෙයක්. මේකේ සමහර ගෙවල් පාලුවට ගිහිල්ලා තියන එකත් ලොකු කරදරයක්. මුල් කාලේ මෙතැනට දෙනවා කිව්වා කිසි පහසුකමක් ලැබිලා නෑ. මේ පාරවල් ගන්නම දෙයක් නෑ. වෙලාවකට පැය ගණන් වතුර නෑ. මෙතැන එකම පාලු පිටියක් වෙලා තියෙන්නේ.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd