වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අනාගත පුරවැසින් ලෙස ඇති වැදගත්ක ම හා ඒ අනුසාරයෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය ප්‍රධාන අරමුණ විය.
“අද ගන්නා ක්‍රියාමාර්ග තුළින් ආරක්ෂිත, හරිත සහ තිරසාර හෙටක් ගොඩනගමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්වූ අතර, එය සමාගමේ පරිසර තිරසාරභාවය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳ දිගුකාලීන කැපවීම නිරූපණය කරයි. 
මෙම වැඩසටහනේදී තිරසාර ප්ලාස්ටික් භාවිතය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වුණි. පරිසර දූෂණය අවම කිරීම සහ චක්‍රීය ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම සහ එකතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම, සිසුන්ගේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සඳහා පරිසර සංරක්ෂණය, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණය යන කරුණු මූලික කරගනිමින් චිත්‍ර තරගයක්ද සංවිධානය කරන ලදී. තවද රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පරිසර නියාමන රාමුව යටතේ හඳුන්වාදීමට නියමිත ව්‍යාප්ත නිෂ්පාදක වගකීම හෙවත් Extended Producer Responsibility (EPR) සංකල්පයටද අනුකූල වේ. EPR මගින් වෙළෙඳපොළට නිකුත් කරන ඇසුරුම් ද්‍රව්‍ය පසුභාවිත අවස්ථාවේදී එකතු කිරීම, නැවත ලබා ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයන්ට වැඩි වගකීමක් ලබා දීම අරමුණු කරයි.