IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විරැකියාවට විසඳුම කුමක්ද ?

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක විරැකියාව ජනතාවගේ ජීවන තත්වයට, ආර්ථික ස්ථාවරත්වයට සහ සමාජ සංහිඳියාවට බලපාන ප්‍රධාන සාධකයකි. 2025 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 3.8 දක්වා පහත වැටී ඇතත්, තරුණ ප්‍රජාව අතර පවතින ඉහළ විරැකියා අනුපාතය ආර්ථික හා සමාජයීය වශයෙන් පවතින්නා වූ විශාල අභියෝගයකි. ප්‍රධාන වශයෙන්ම රටේ නිෂ්පාදනයට දායක වන ව්‍යාපාර සඳහා අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීමේ ගැටලුව විරැකියාව හරහා උග්‍ර වේ.

ඇඟලුම් කර්මාන්තය වැනි අතිශයින්ම ශ්‍රම සූක්ෂම කර්මාන්ත සඳහා ශ්‍රමිකයන් සපයා ගැනීම අභියෝගයක් බවට අද වන විට පත්ව තිබේ. පසුගිය සමයේ මතභේදයකට තුඩු දුන් ආර්ථික සහයෝගිතා ගිවිසුම (ETCA) හරහා සේවා නිදහස්කරණය නොහොත් විදේශ ශ්‍රමිකයන් ලංකාවේ සේවයට පැමිණෙන්නේද යන්න සම්බන්ධයෙන් පුළුල්ව කතාබහට ලක්වුණි. ව්‍යාපාර ප්‍රජාව තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය ආකාරයේ සේවකයන් නොමැතිකම ආර්ථික වර්ධනයට එල්ල වී ඇති ප්‍රධානතම බාධකයක් බවට මැසිවිලි නගනු ලැබේ. අනෙක් අතට විමසා බැලූවිට ශ්‍රී ලංකාවේ පවතින්නේ රැකියා හිඟයක් නොව ශ්‍රම වෙළෙඳපොළේ ඇති ඉල්ලුම හා සැපයුම එකිනෙකට සමබර නොවීමයි. එකම රටක් තුළ විශාල රැකියා ඇබෑර්තු ප්‍රමාණයක් සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ දැකිය හැකි වන්නේ මෙම කරුණ නිසාය. වර්තමානය වන විට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවෙන් රජය අසරණ වන්නේ රාජ්‍ය සේවය තුළ නිර්මාණය කර ඇති සේවා අතිරික්තය හේතුවෙනි. මූලිකවම විරැකියාවෙන් රාජ්‍ය මූල්‍ය අවභාවිතවීමක් සහ පුද්ගලයන්ගේ දැනුම, කුසලතා අපතේ යාමක් සිදුවේ.
මීට අමතරව රැකියා නිර්මාණය සඳහා දේශීය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින් ඍජු විදේශීය ආයෝජන ආකර්ශනය කිරීම විසඳුම බවට පත්ව තිබේ. ස්ත්‍රී, පුරුෂභාවය අනුව ද විරැකියාවේ වෙනස්වීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා අනුව අනාවරණය කරගත හැකි  වේ. එම දත්තවලට අනුව 2023 වර්ෂයේ පුරුෂ විරැකියා අනුපාතය සියයට 3.6 සහ ගැහැනු විරැකියා අනුපාතය සියයට 7 ක මට්ටමක පවතී. ශ්‍රී ලංකාව වැනි ශ්‍රම සූක්ෂම නොහොත් නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රමය වැඩි වශයෙන් භාවිත කරනු ලබන රටකට තමන්ගේ ශ්‍රම බළකාය නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සහාය කථිකාචාර්යවරියක් වන රංගිකා නිල්මිණි සමග කළ සංවාද සටහනකි.


විරැකියාව වර්තමානයේ දී සමාජයට හා ආර්ථිකයට බලපාන්නේ කෙසේද?
වර්තමානය වන විට විරැකියාව ආර්ථිකය තුළ බහුආංශික එනම් ආර්ථිකයේ පවතින විවිධ අංශ කෙරෙහි බලපෑම් එල්ල කරනු ලැබේ. සමාජය දෙස බලන විට වැඩි වූ විරැකියා අනුපාතය සමගම ජනතාවගේ ජීවන තත්වය හා ඔවුන්ගේ පවුල් ආදායම අඩුවීමක් සිදුවේ. ඒත් සමගම සමාජ අස්ථාවර වීමක්ද උද්ගත වන අතර වර්තමානයේ දී බොහෝ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් රැකියා හා උසස් අධ්‍යාපනික කටයුතු සඳහා විදේශගතවීමෙන් බුද්ධි ගලනයේ වැඩිවීමක්ද සිදුවේ. ලංකාව තුළ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයෙන් හෝ පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයෙන් අධ්‍යාපනය ලබා විදෙස්ගත වන තරුණ ප්‍රජාව තුළින් ලාංකීය රැකියා ක්ෂේත්‍රයට දැනුමෙන් පිරිපුන් තරුණ කාර්යක්ෂම ශ්‍රමිකයන් බොහෝ අහිමි වේ. මෙය ආර්ථිකයට බලපාන මහත් ඛේදජනක සිද්ධියකි. ගෝලීය මට්ටමින්ද සලකා බැලිය යුතු ප්‍රධාන ගැටලුවකි. ගෝලීයව ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය හා ගුවන්ගත ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා මිලියන ගණනක්ද අහිමිවිය. මෙම විරැකියා තත්වය හේතුවෙන් ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිෂ්පාදන ඵලදායිතාව අවම කිරීමක් ද සිදුවේ. එයට හේතුව වන්නේ යම් ආයතනයකට ක්‍රියාවලියක් ඵලදායීව හා කාර්යක්ෂමව කිරීමට අවශ්‍ය මානව සම්පත නිසි පරිදි නොමැතිවීමෙන් එම නිෂ්පාදිතය ඵලදායීව ලබාගැනීමට හැකියාවක් නොමැතිවීමය. විරැකියාව නිසා ආර්ථික වශයෙන් මෙවැනි ගැටලුවලට මුහුණදීමට සිදුවන අතර රැකියා විරහිත තරුණ පිරිස් රටේ ආර්ථික සංවර්ධනයට දායක නොවී පාරිභෝගිකයන් ලෙස පමණක් ක්‍රියා කිරීම ඛේදජනකය. එමෙන්ම ගෝලීය වශයෙන් ගත්විට වෙළෙඳාම අඩුවීම, රාජ්‍ය බදු ආදායම අඩුවීම සහ නව ආයෝජන අවස්ථා සඳහා පවතින විශ්වාසය අඩුවීම වැනි තත්වයන් සමාජයට විරැකියාව හේතුවෙන් නිර්මාණය වේ.


විරැකියා අර්බුදයට බලපාන ප්‍රධාන හේතු මොනවාද?
ප්‍රධානතම හේතුව වන්නේ අධ්‍යාපන ක්‍රමය හා රැකියා වෙළෙඳපොළ අතර පවතින නොගැලපීමයි. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය හා පාසල් පද්ධතියෙන් ලබාදෙන දැනුම හා ඔවුන් රැකියාගත වීමේ දී බලාපොරොත්තු වන කුසලතා අතර නොගැලපීම මූලිකවම විරැකියාවට බලපානු ලැබේ. උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු තිබුණත් අධ්‍යාපනයෙන් ලබාදෙන න්‍යායික දැනුම පමණක් ප්‍රමාණවත් නොවී ප්‍රායෝගික දැනුම, පුහුණුව එම රැකියා සඳහා අවශ්‍යවීම හඳුනාගත හැකිය.
තවත් හේතුවක් වන්නේ දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය ඇතිකරනු ලබන බලපෑමයි. 2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවතුණු ආර්ථික අර්බුදයත් සමග ආයතන රැසක් බංකොලොත් වුණි. ඒ හේතුවෙන් ඒ ආශ්‍රිත නිර්මාණය වූ බොහෝ රැකියා අවස්ථා අහිමිවිය. තාක්ෂණික ප්‍රවණතාව ද විරැකියා අර්බුදයට බලපානු ලබන තවත් එක් හේතුවක් වන අතර විශේෂයෙන්ම වෙළෙඳ කටයුතු හා සේවා ක්ෂේත්‍රය සැලකූ විට ඒ තුළ ස්වයංක්‍රීය ක්‍රමවේද හා AI තාක්ෂණය භාවිතයත් සමග වර්තමානයේ දී බොහෝ රැකියා අවස්ථා අහිමි වී විරැකියා ගැටලුව උද්ගත වේ. උදාහරණයක් ලෙස ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන ඇමසන් සමාගම තම කර්මාන්තශාලාවේ සේවකයන් වෙනුවට ගබඩා පහසුකම් යන්ත්‍ර මගින් සලසනු ලැබේ.
විරැකියාවට බලපාන තවත් හේතුවක් ලෙස ආර්ථික මන්දගාමීත්වය හඳුන්වාදිය හැකිය. ඒ තුළින් වෙළෙඳ ක්‍රියාකාරකම්වල මන්දගාමීත්වයක් ඇතිවේ.


විරැකියාවෙන් ජනතාවට හා ආර්ථිකයට ඇතිවන බලපෑම කෙබඳු ද?
ජනතාවට ඇතිවන බලපෑමක් ලෙස ජනතාවගේ ජීවන තත්වය මූලිකවම පහළ යාමෙන් පවුල් අස්ථාවරත්වයත්, මානසික ආතතිය සහ අධ්‍යාපනික, සෞඛ්‍ය අවශ්‍යතා සම්බන්ධව ද බාධා ඇතිවේ. එමෙන්ම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා සඳහා අයැදුම් කිරීමේදී වයස් මට්ටම ඉක්මවා යාම නිසාද රැකියා අහිමිවීමේ අවදානමක් පැවතීම ජනතාවට විරැකියාවෙන් ඇතිකරනු ලබන බලපෑමකි. ගෝලීය වශයෙන් ගත්විට දුගී බව ඉහළ යාමෙන් ආර්ථිකයට මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයට ද අභියෝගයක් එල්ල කරයි. එනම්, රැකියා අහිමිවීම නිසා පාරිභෝගිකයන්ට නිෂ්පාදන මත යෙදීමට හැකි වියදම අඩුවන අතර පාරිභෝගික ගාස්තු අඩු වූ විට එතුළින් වෙළෙඳාම හා ආයෝජනය යන ක්ෂේත්‍රවල කටයුතු ද මන්දගාමී වේ. රාජ්‍ය බදු ආදායම පහළ වැටීමෙන් ගෝලීය වශයෙන් මූල්‍ය අර්බුදවලට මුහුණදීමට සිදුවීම විරැකියාවෙන් ආර්ථිකයට ඇතිකරනු ලබන බලපෑමකි.


විරැකියාවට ගත හැකි විසඳුම් මොනවාද?
මූලික වශයෙන්ම රට තුළ පවතින අධ්‍යාපන ක්‍රමය නවීකරණය කර රැකියා වෙළෙඳපොළට ගැලපෙන විෂයන් න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ද ඉගැන්වීම කළ යුතු අතර එම ක්ෂේත්‍ර හා සම්බන්ධ පුහුණු වැඩසටහන් මගින් ද දැනුම, කුසලතා වර්ධනය කළ හැකිය.
එමෙන්ම නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමෙන්ද ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනංවාගත හැක. එමගින් පුද්ගලයන් නව ව්‍යාපාර කටයුතු සඳහා පෙළඹෙන අතර නව රැකියා අවස්ථා ද බිහි වේ. විරැකියා මට්ටම අඩුවීමට විසඳුමක් ලෙස එය යොදාගත හැකි අතර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ස්වයංරැකියා සඳහා ආණ්ඩු හෝ වෙනත් මූල්‍ය ආයතන මගින් ලබාදෙන මූල්‍ය ආධාර පුළුල් කිරීමෙන් ස්වයංරැකියා අවස්ථා පුළුල් කරගැනීමටත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට හැකිවීමෙන් නව රැකියා අවස්ථා නිර්මාණය වේ. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයටම රැකියා උත්පාදනය සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලබන නීති රීති, ප්‍රතිපත්තිවලින්ද විරැකියාව අවම මට්ටමකට ගත හැකිය. නෙදර්ලන්තය, ජර්මනිය වැනි රටවල් රැකියා විරහිත පුද්ගලයන්ට පුහුණු වැඩසටහන් නිර්මාණය කර දී තිබෙන අතර ඒ තුළින් රටේ විරැකියාව අඩුකිරීම අපේක්ෂාව වේ.
වර්තමානයේදී විරැකියාව පුද්ගල නොහැකියාවට වඩා ආර්ථික නොහැකියාවක් බවට පත් වී ඇති අතර, අනාගතයේ දී විරැකියාවෙන් තොර නිර්මාණශීලී හා නිෂ්පාදනශීලී තරුණ ප්‍රජාවක් ගොඩනංවා ගැනීමට නම් විරැකියාව අවම මට්ටමක පවත්වාගත යුතුය.

 



අදහස් (0)

විරැකියාවට විසඳුම කුමක්ද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site