සේවක අර්ථසාධක අරමුදල (EPF) ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනය වුවද, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ඒකක භාර (Unit Trusts) වැනි තෙවැනි පාර්ශව වෙනුවෙන් අරමුදල් කළමනාකරණය කරන අනෙකුත් ආයතනවලට සාපේක්ෂව එහි විනිවිදභාව සහ තොරතුරු අනාවරණය කිරීම අඩු මට්ටමක බව වේරිටේ රිසර්ච් පවසයි.
එම ආයතනය විසින් ඊයේ (24) ප්‍රකාශයට පත් කරන ලදි. ශ්‍රී ලංකාවේ සේවක අර්ථසාධක අරමුදල: තොරතුරු අනාවරණය කිරීමේ ප්‍රමාණවත්භාවය පිළිබඳ සංසන්දනාත්මක තක්සේරුවක්’ (The Employment Provident Fund in Sri Lanka: A Comparative Assessment of the Adequacy of Information Disclosure)  නම් නව පර්‌යේෂණ වාර්තාව මගින් මේ බව අනාවරණය කර සිටියි.
පොදු ජනතාවගේ ඉතුරුම් තැන්පතු පාලනය කරනු ලබන අනෙකුත් ආයතනවලට වඩා, සේවක අර්ථසාධක අරමුදල අඩු තොරතුරු ප්‍රමාණයක්, අඩු විස්තර සහිතව, අඩු වාර ගණනක් සහ ප්‍රමාද වී අනාවරණය කරන බව මෙම වාර්තාවෙන් සොයාගෙන ඇත. 
සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), තමන් විසින් නියාමනය කරනු ලබන අනෙකුත් මූල්‍ය ආයතනවලට අදාළ කරන විනිවිදභාවයේ ප්‍රමිතිවලට වඩා අඩු ප්‍රමිතියක් සේවක අර්ථසාධක අරමුදල සඳහා අනුගමනය කරන බව මෙයින් ඇඟවේ.
OECD හි විශ්‍රාම වැටුප් අධීක්ෂකවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ (IOPS) මූලධර්ම සහිගෝලීය විශ්‍රාම වැටුප් විනිවිදභාවයේ නිර්ණායක’ (GPTB) මගින් දක්වා ඇති, අරමුදල් තොරතුරු කාලීනව, සවිස්තරාත්මකව සහ ප්‍රවේශ විය හැකි පරිදි පොදුවේ අනාවරණය කිරීමේ ජාත්‍යන්තර මිණුම්දඬු සපුරාලීමට ද සේවක අර්ථසාධක අරමුදල අපොහොසත් වී ඇතැයිද එම ආයතනය පවසයි.
“සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් මුහුණ දෙන සුවිශේෂී තත්වය හේතුවෙන් මෙම අඩුපාඩු ඉතා බරපතළ වේ. පුද්ගලික අංශයේ සේවකයන් නීතියෙන්ම සේවක අර්ථසාධක අරමුදලට දායක විය යුතු අතර, අරමුදලේ කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු භූමිකාවක් නොමැත, එමෙන්ම තමන්ගේ ඉතුරුම් කැමැති පරිදි ආපසු ලබා ගැනීමටද ඔවුන්ට නොහැකිය. 
එබැවින්, ගෝලීය විනිවිදභාවයේ ප්‍රමිතීන්ට අනුකූල වීම යනු සාමාජිකයන්ගේ අනාගත සුබසාධනය ආරක්ෂා වී ඇති බව සහතික කර ගැනීමට ඔවුන් සතු එකම ආරක්ෂාවයි. 2019 වසරේ ප්‍රකාශයට පත් කරන ලද වෝහාරික විගණනවලින් (Forensic Audits) හෙළිදරව් වූ පරිදි, සේවක අර්ථසාධක අරමුදල මීට පෙර මූල්‍ය වංචාවලට ගොදුරු වී තිබීමත් මෙම තත්වය තවත් බරපතළ කරයි.“ වේරිටේ රිසර්ච් පවසයි.
ඊට පිළියම් ලෙස පළමුවැන්න සේවක අර්ථසාධක අරමුදල් පනතට පූර්ණ ලෙස අනුකූල වීම සහතික කිරීමයි. ජාත්‍යන්තර හොඳම භාවිතයන් අනුගමනය කිරීම දෙවැන්න වන අතර, තෙවැන්න සේවක අර්ථසාධක අරමුදල් තොරතුරු අනාවරණය කිරීම පිළිබඳ 2024 පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම වේ. 
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා සහ අරමුදලේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා වඩාත් ශක්තිමත් නියාමනයක අවශ්‍යතාව එහි දිගුකාලීන ප්‍රතිසංස්කරණවලට අත්‍යවශ්‍යම වන බවත් වේරිටේ රිසර්ච් අවධාරණය කර සිටියි.