- මැදපෙරදිග යුද ගැටුම් නිසා එම ඉපැයිම් තවදුරටත් පහළට යනු ඇතැයි අපේක්ෂාවක්
- 2026 තුළ ඒකක 20,000ත් - 21,000ත් අතර අගයක් ගන්නා ASPI 2027 දී ඒකක 24,000ත් 25,000 අතරට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ පළමු කාර්තුවේදී වාර්තා කළ ඉපැයීම් 2025 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 11.4ක අඩුවීමක් පවතින බව වාර්තා වෙයි. ඒ අනුව මෙය පිට පිට කාර්තු තුනක් (2025 සැප්තැම්බර් සියයට 20.5ක්, 2025 දෙසැම්බර් සියයට 21.2ක් සහ 2026 මාර්තු සියයට 11.4ක්) සඳහා ඉපැයීම් අඩුවීමක් ලෙස සටහන් වන බව ෆස්ට් කැපිටල් රිසර්ච් (First Capital Research) සිය අලුත්ම වාර්තාවක සඳහන් කරයි.
විශේෂයෙන්ම 2026 පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය පෙර වසරට සාපේක්ෂව සියයට 5.1ක අගයක් ගත් නමුත්, පෙබරවාරි මාසය අගදී ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් නිසා ආර්ථිකය වෙත එල්ල වූ බලපෑම් මෙලෙස එම ලැයිස්තුගත සමාගම්හි ඉපැයීම් අඩුවීම හරහා පෙන්නුම් කරන බව එම ආයතනය සඳහන් කරයි.
“මෙම බලපෑම තවදුරටත් පැවතීමත් සමගින්ම 2026 සඳහා සියයට 3ක - සියයට 4ක ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා. ආදාන පිරිවැය ඉහළ යාම, විදුලිබල ගාස්තු සංශෝධනයවීමේ අවස්ථා, රුපියලේ අවප්‍රමාණය, ඉහළ මූල්‍යමය පිරිවැය යන කරුණු නිසා සමාගම් ආන්තික වෙත පීඩනයක් එල්ල කරාවි. ඒ අතරම ඇති වන මෘදු දේශීය ඉල්ලුම ආදායම් වර්ධනය වෙත බලපාවි. මේ තත්වයට එදිරිව මෙම ලැයිස්තුගත සමාගම් වසර තුළ සියයට 8.2ක ඉපැයීම් වර්ධනයක් හිමි කර ගනීවි කියන පුරෝකථනය කරනවා.” යනුවෙන් පවසයි.
කෙසේ වෙතත් මෙම භූදේශපාලනික බලපෑම් නිසා එල්ල වන පීඩනයන් 2026 වසර තුළදී යම් තරමකින් මගහැරී යනු ඇති බවත්, ඒ අනුව 2027 වසරේදී මෙම ලැයිස්තුගත සමාගම් සතු ඉපැයීම් සියයට 14ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම ආයතනය සඳහන් කරයි.
විශේෂයෙන්ම සාපේක්ෂව පවතින අඩු ඉන්ධන මිල, රජයේ වියදම් කිරීම් ඉහළ යෑම සහ බොහෝ විට මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කිරීම යනාදිය ඊට හේතු වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
“මෙහිදී 2026 වසර සඳහා වන ඉපැයීම් පෙර දැක්ම වෙනසක් නොමැති පැවතීම සහ ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලිය වඩාත් ආකර්ෂණයවීමත් සමගින් වසර තුළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 20,000ත් 21,000 ත් අතර අගයක පවතීවි. එහෙත් භූ දේශපාලනික තත්වය තවත් දරුණු වුවහොත් එය ඒකක 18,000 ත් 19,000ත් අතර අගයකට පසු බසීවි.
කෙසේ වෙතත් ඉදිරියේදී මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත තවත් පදනම් අංක 50 කින් අඩු කිරීමක් සිදු කළ හොත් 2027 වසරේදී මෙම සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 - 25,000ත් අතර අගයකට පත් වේවි’’ ෆස්ට් කැපිටල් රිසර්ච් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd