‘ලීමා ක්‍රියේෂන්ස්’ ආයතනයේ (Leema Creations) දොම්පේ කර්මාන්ත ආයතනයට පාරිසරික සම්මානයක් ලැබී ඇත. එම කර්මාන්ත ආයතනය සදහා අවශ්‍ය කරන සම්පූර්ණ විදුලිබලය පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයකින් ලබා ගෙන පරිසරහිතකාමී තිරසාර කාර්මික සංවර්ධනයට ලබාදුන් දායකත්වය සඳහා මෙම පරිසර සම්මානය පිරි නමා ඇත.
2000 වසරේදී ආරම්භ කරන ලද ‘ලීමා ක්‍රියේෂන්ස්’ ගෘහස්ථ සහ ආයතනික පාරිභෝගිකයන් සඳහා අභ්‍යන්තර අලංකරණ විසඳුම් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයකි. එම ආයතනයේ දොම්පේ පිහිටා ඇති ගෘහ භාණ්ඩ සහ අභ්‍යන්තර අලංකරණ නිර්මාණ නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතනය අක්කර හතරක භූමි භාගයක පිහිටා ඇත. එහි වර්ග අඩි 200,000කට අධික බිම් ප්‍රමාණයක අති නවීන නිෂ්පාදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. මෙම නිෂ්පාදන මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය විදුලිබලය සූර්ය බලයෙන් ලබා ගැනීමට කිලෝ වොට් 500 ක සහ කිලෝ වොට් 400 ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කර ඇත. මෙම ව්‍යාපෘතිය ඩේවිඩ් පීරිස් රිනියුවබල් එනර්ජි සමාගම විසින් ක්‍රියාත්මක කරන ලදී.
පොසිල ඉන්ධන සහ ගල්අගුරුවලින් විදුලිබලය නිෂ්පාදනය කිරීමේදී කාබන්ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හැරේ. එමගින් වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ ගොස් ගෝලීය උෂ්නත්වය වැඩි වී, පාරිසරික සමතුලිත බව බිද වැටී දේශගුණික විපර්යාස ඇති වේ. දේශගුණික විපර්යාස නිසා අසාමාන්‍ය නියඟ සහ වැසි ඇති වී ලෝකය පුරා විවිධ ව්‍යසන ඇති වේ. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීමට වර්තමානයේ වැඩි උනන්දුවක් දක්වයි.
මේ පිළිබද අදහස් දක්වන ලීමා ක්‍රියේෂන්ස් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත අබේසුන්දර මහතා මෙසේ පැවසීය. ‘සූර්ය බලය උපයෝගී කරගෙන විදුලි බලය උත්පාදනය කිරීම නූතන ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද නව ප්‍රවණතාවක්. එමගින් ගෝලීය උණුසුම වැඩි වීම අවම කිරීමට දායක විය හැකියි. පොසිල ඉන්ධන සහ ගල් අගුරු භාවිත කර උත්පාදනය කරන විදුලිය මිල අධිකයි. ඒ වගේම එහි මිල නැවත නැවත වැඩි වෙනවා. ඉන්ධන සහ ගල් අගුරු ආනයනය කිරීමට විශාල වශයෙන් විදේශ විනිමය වැය වෙනවා. විදුලි බලාගාරවලින් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරෙනවා. තවත් පැත්තකින් ගැටුම් බහුල ලෝකයේ ආනයනික ඉන්ධන මත විදුලිබල ශක්තිය යැපීම අවදානම්. එහෙත් සූර්ය විදුලිය කියන්නේ පරිසර හිතකාමී, වියදම් අඩු, ස්වාධීන, ස්වාභාවික බල ශක්ති ප්‍රභවයක් අපේ දොම්පේ කර්මාන්ත ආයතනයට අවශ්‍ය විදුලි බලය සූර්ය බලයෙන් ලබා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භක කළේ මෙම තත්වය සැලකිල්ලට අරගෙනයි. දැන් අපට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන කර්මාන්තායතනය පවත්වාගෙන යන්න පුළුවන්. මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට දෛනිකව විශාල විදුලිබල ධාරිතාවක් ඉතිරි කර දීමට අපට පුළුවන් වුණා. ඒ වගේම අපේ අතිරික්ත ධාරිතාව ජාතික විදුලි බල පද්ධතියට ලබා දෙන්නත් පුළුවන්. මෙමගින් අපි රටේ තිරසාර කාර්මික සංවර්ධනයට අපේ ඇති කැපවීම ප්‍රායෝගිකව පෙන්වා තියෙනවා.