පරිවර්තනීය විදේශ විනිමය අදහසක් ඕනෑම තැනකින් මතුවිය හැකිය. එහෙත්, ජාත්‍යන්තර ස්වෛරී අරමුදල් සහ බැඳුම්කර මත යැපීමට හේතු වූ දශක ගණනාවක අප්‍රමාණවත් විදේශ විනිමය මාර්ගවලින් පසුව පවා, ශ්‍රී ලංකාව තුළ තවමත් වඩාත්ම ප්‍රබල යෝජනා ලබා ගැනීමට, ඇගයීමට සහ සක්‍රිය කිරීමට ජාතික යාන්ත්‍රණයක් නොමැත. අනාගත ණය කැපවීම් හමුවේ නව විදේශ විනිමය ගැලීම් ලබා ගැනීම වඩ වඩාත් අත්‍යවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකාව වැදගත් ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. ආර්ථික කඩාවැටීමෙන් පසුව, විදේශ විනිමය කොන්දේසි ස්ථාවර වී, විදේශ සංචිත වර්ධනය වී, විශ්වාසය නැවත ඇතිවීමට පටන් ගෙන තිබේ. රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශයේ නායකයන්, කම්කරුවන්, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ රටවැසියන් ආදී සියලු‍ දෙනාම මේ සඳහා දායක වූ අතර, එය අගය කළ යුතුමය.

එසේ වුවත්, ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව යනු දෙකකි.

ස්ථාවරත්වය යනු ආසන්නතම පීඩනය ලිහිල් වී ඇති බවය. ඔරොත්තු දීමේ හැකියාව යනු නැවත නැවතත් බාහිර ණය ගැනීමට යොමු නොවී, ඊළඟ ආර්ථික කම්පනයට මුහුණ දීමට, අනාගත වගකීම් ඉටු කිරීමට සහ වර්ධනය වන සමෘද්ධිය සඳහා මුදල් යෙදවීමට ප්‍රමාණවත්, විවිධාංගීකරණය වූ සහ විශ්වාසදායක විදේශ විනිමය උපයීමේ ධාරිතාවක් රට විසින් ගොඩනගාගෙන තිබීමය.

එම වෙනස ඉතා වැදගත් වෙයි. හේතුව, ශ්‍රී ලංකාවේ වර්තමාන බාහිර ස්ථාවරත්වය ඇති වූයේ ණය සේවා සහන, ආනයන සීමා කිරීම්, ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ නැවත නැගී සිටීම, නිල මූල්‍ය ආධාර, ශක්තිමත් සාර්ව ආර්ථික කළමනාකරණය සහ සුළු අපනයන වැඩිදියුණු වීමක එකතුවක් මගිනි. එය භාණ්ඩ හා සේවා අපනයන ඉපැයීම්වල ප්‍රතිසංස්කරණ මගින් මෙහෙයවන ලද අසාමාන්‍ය ව්‍යාප්තියකින් සිදු වූවක් නොවේ. මෙම පියවර මගින් තාවකාලික සැනසිලිදායක වාතාවරණයක් නිර්මාණය විය. ඒත් ගැටලු‍ව වන්නේ අප එය භාවිත කරන්නේ කෙසේද යන්නය.

 ස්ථාවරත්වය, එහෙත් තවමත්  පරිවර්තනයක් නොවේ 

1977 වසරෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව 2023 දී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ බව ලෝක බැංකුව පෙන්වා දී ඇත. මහ බැංකුව විසින් 2025 වසරේ දී තවත් අතිරික්තයක් වාර්තා කළ අතර, වසර අවසාන වන විට නිල මුළු සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.8 ක් දක්වා ඉහළ ගියේය. මේවා අර්ථවත් ජයග්‍රහණය.

ඒත්, මෙම වර්ධනයේ සංයුතිය දෙස බලන විට අප යථාර්ථවාදී විය යුතුය. 2025 දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 13.6 ක් පමණ වූ අතර සේවා ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 7.1 ක් පමණ විය. වසංගතයට සහ අර්බුදයට පෙර, 2019 වසරේදී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 11.9 ක් වූ අතර සේවා ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක් පමණ විය. සංඛ්‍යාත්මක වෙනස්කම් තිබියදීත්, පැහැදිලි කාරණාව වන්නේ, ශ්‍රී ලංකාව යථා තත්වයට පත්ව තිබුණ ද, විදේශීය අංශය ස්ථිර ලෙස සුරක්ෂිත කළ හැකි මට්ටමේ අපනයන පරිවර්තනයක් අත්විඳ නොමැති බවය.

අවදානම් සහිත භාවය තවමත් පැහැදිලිව පෙනෙන්නට ඇත. 2026 පළමු මාස හතර තුළ, ඉන්ධන ආනයනය ඉහළ යාම ඇතුළු පීඩනය හමුවේ වෙළෙඳ භාණ්ඩ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. එකම කම්පනයකින් අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ඉක්මනින්ම අහිමි වී යා හැකිය.

මෙය අපනයන, සංචාරක ව්‍යාපාරය, ප්‍රේෂණ, විදේශ ආයෝජන සහ පලදායිතා ප්‍රතිසංස්කරණ යන සාම්ප්‍රදායික පදනම්වලට එරෙහි තර්කයක් නොවේ. ඒ සෑම එකක්ම තවදුරටත් වැදගත් වෙයි. මෙය, දශක පහකට ආසන්න කාලයක් පුරා පැවති නැවත නැවත ඇතිවන ජංගම ගිණුම් පීඩනයෙන් පසුව, ශ්‍රී ලංකාව මෙතෙක් සාක්ෂාත් කරගෙන ඇති වේගය සහ ප්‍රමාණය අනුව එම හුරුපුරුදු මාර්ග, රටේ සමස්ත විදේශ විනිමය ඉල්ලු‍ම සපුරාලීමට ප්‍රමාණවත් වී නොමැති බවට කෙරෙන තර්කයකි.

 දශක ගණනාවක හිඟය  අපට කියන දේ 

ජංගම ගිණුමේ හිඟයක් පැවතීම යනු ස්වයංක්‍රීයවම අසාර්ථකත්වයේ සලකුණක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටක් යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණය සහ නිෂ්පාදන ධාරිතාව ආනයනය කර, පසුව අපනයන සහ ආදායම් උත්පාදනය කරන දිගුකාලීන ආයෝජන මගින් ඒවාට මුදල් යෙදවිය හැකිය. නිවැරදි කොන්දේසි යටතේ, හිඟයක් පැවතීම යථාර්ථවාදී සංවර්ධනයක් සමග පවා සිදුවිය හැකිය.

අනතුර මතුවන්නේ, එම හිඟය පියවා ගැනීමට එකතු වූ වගකීම් පියවීම සඳහා ප්‍රමාණවත් තරම් නව විදේශ විනිමය ඉපැයීමේ ධාරිතාවක් නිර්මාණය නොකර, හිඟය දිගින් දිගටම පවතින විටදීය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සිය බාහිර පරතරයෙන් කොටසක් පියවා ගත්තේ ණය ගැනීම් මගිනි. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයකට ඉක්මන් ප්‍රවේශයක් ලබා දුන්නේය. ඒවා ආසන්නතම පීඩනය සමනය කළද, ඩොලර්වලින් ගෙවිය යුතු ඒකරාශී වූ ආපසු ගෙවීමේ වගකීම්ද නිර්මාණය කළේය. ණය ගැනීම් මගින් කාලය ලබාගත හැකිය. එහෙත් එය ඉපැයීමේ ධාරිතාව සඳහා සදාකාලික විකල්පයක් විය නොහැක.

රාජ්‍ය මූල්‍ය දුර්වලතාද මෙම අර්බුදයේ ප්‍රධාන සාධකයක් වූ අතර, විශ්වාසනීය විසඳුමකට ඒවා නොසලකා හැරිය නොහැක. පරිපූර්ණ රාජ්‍ය මූල්‍ය විනයක් පැවතුණද, ශක්තිමත් බාහිර ඉපැයුම් පදනමක අවශ්‍යතාව ඉවත් නොවේ. එබැවින් ශ්‍රී ලංකාවේ අභියෝගය දෙයාකාරය. එනම් වියදම් කරන දේ කළමනාකරණය කිරීම සහ ලෝකයෙන් උපයන දේ පුළුල් කිරීමය.

ණය ප්‍රතිසංස්කරණ මගින් කල්පිරෙන කාල සීමා දීර්ඝ කර ඇති අතර වටිනා සහනයක් ද ලබා දී ඇත. 2028 වසරෙන් පසු සහන කාලසීමාව අවසන් වී ණය වාරික ගෙවීම් ඉහළ යන විට වඩාත් බරපතළ ගෙවීම් ඉදිරියට පැමිණෙන බව ද මෙයින් අදහස් වේ. එබැවින් වර්තමාන ස්ථාවරත්වය තිරසාර ධාරිතාවක් බවට පරිවර්තනය කිරීම සඳහා රටට ඇත්තේ සීමිත කාල පරාසයකි.

වඩාත්ම භයානක ප්‍රතිචාරය වනුයේ මෙම තාවකාලික සැනසිලිදායක වාතාවරණය ව්‍යුහාත්මක ගැටලු‍ව විසඳී ඇති බවට වූ සාක්ෂියක් ලෙස සැලකීමය.

 මග හැරුණු මාර්ගය 

ශ්‍රී ලංකාව තුළ පරිවර්තනීය අදහස්වල අඩුවක් නොතිබෙන්නට පුළුවන. අඩුපාඩුව, හොඳම අදහස් ස්පර්ශ කළ හැකි සහ ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කළ හැකි ජාතික පද්ධතියක් නොතිබීමය.

සැලකිය යුතු නව ශුද්ධ විදේශ විනිමය ගැලීම් නිර්මාණය කිරීමට සමත් අදහසක්, සාමාන්‍යයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කරන ආයතනවලින් ඔබ්බෙන් මතුවිය හැක. අදහසක් යෝජනා කරන්නේ කවුරුන්ද යන්න වැදගත් නොවිය යුතුය. වැදගත් වන්නේ එය සාක්ෂි සහිතව තහවුරු කර ඇත්ද, ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකද සහ රටට සැබෑ වටිනාකමක් නිර්මාණය කිරීමට සමත්ද යන්නය.

අද වනවිට ශ්‍රී ලංකාව තුළ ආයෝජන, අපනයන, සංචාරක, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ආයතන පවතී. බොහෝ විට දුෂ්කර කොන්දේසි යටතේ වුවද ඒවා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම විවිධ සංසද, කාරක සභා සහ විවිධාකාරයේ සාකච්ඡා පැවැත් වෙයි. අඩුවී ඇති බව පෙනෙන්නේ, බරපතළ ලෙස විදේශ විනිමය උත්පාදනය කළ හැකි යෝජනාවක් සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගත හැකි එක් පැහැදිලි, ජාතික වශයෙන් බලය පැවරූ සහ බහු-අංශ පාදක කරගත් මාර්ගයකි.

ලබා ගැනීම, පරීක්ෂා කිරීම, ඇගයීම, සම්බන්ධීකරණය කිරීම, තීරණ ගැනීම, පහසුකම් සැලසීම, සක්‍රිය කිරීම, මැන බැලීම සහ සාර්ථක වන විට වහාම පුළුල් කිරීම යනු එම මාර්ගය.

එම මාර්ග නොමැතිව, යෝජනාවල සාර්ථකත්වය අධික ලෙස පුද්ගලික සබඳතා, අහඹු හඳුන්වාදීම් හෝ ඒ වන විටත් අධික ලෙස වැඩ බරින් යුක්ත නිලධාරියකුගේ සුවිශේෂී උනන්දුව මත රඳා පවතී. අදහසක් එක් ආයතනයකින් තවත් ආයතනයකට යොමු කිරීමට, වගකිවයුතු ඊළඟ පියවරක් නොමැතිව සාකච්ඡා කිරීමට, හෝ අවස්ථාව මඟ හැරී යන තෙක් ප්‍රමාද වීමට ඉඩ ඇත. මෙලෙස වටිනා අවස්ථා කීයක් අතුරුදහන් වී ඇත්දැයි රටට දැනගත නොහැක. මන්ද නිසි ලෙස භාර නොගන්නා දෙයක් කිසිදා ලේඛනගත නොවන බැවිනි.

ජාතික වශයෙන් වටිනා යෝජනාවක් ඉදිරියට යා හැක්කේ ඉතා කාර්යබහුල සභාපතිවරයකු, ලේකම්වරයකු හෝ අධ්‍යක්ෂවරයකු එය කියවීමට පෞද්ගලිකව කාලය සොයා ගත් විට පමණක් නම්, ගැටලු‍ව වන්නේ එම පුද්ගලයාගේ කැපවීම නොවේ. ගැටලු‍ව වන්නේ එම යෝජනාව ඉදිරියට ගෙනයාම සඳහා විශ්වාස ක්‍රියාවලියක් නොමැතිකමය.

 කැපවීම ගැටලු‍වක් නොවේ 

දරුණු සම්පත් සීමා කිරීම් සහ නොකඩවා පැමිණෙන දෛනික පීඩනය හමුවේ වුවද නොපසුබටව කටයුතු කරන බොහෝ දක්ෂ රාජ්‍ය නිලධාරීන් සිටීමට ශ්‍රී ලංකාවට වාසනාවකි. හදිසි ලිපිගොනු, පවතින වැඩසටහන්, අමාත්‍යාංශ අවශ්‍යතා, ආයෝජකයන්ගේ ගැටලු‍, ජාත්‍යන්තර කැපවීම් සහ පෙර පැවති දුර්වලතාවල නිරන්තර ප්‍රතිඵල කළමනාකරණය කිරීමට ඔවුන්ට සිදුවී ඇත. ඔවුන්ගේ කාර්යභාරයෙන් වැඩි කොටසක් බාහිරට නොපෙනෙන සුළුය.

මෙම අධික වැඩ බරට නව විදේශ විනිමය මාර්ග සෙවීමේ ජාතික කර්තව්‍යයද එකතු කර, සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනකු කෙසේ හෝ එය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වීම සාධාරණ ද නොවන අතර ඵලදායීද නොවේ.

මෙම කාර්යය පුද්ගලයන් මත රඳා නොපැවැතිය යුතුය. එය තමන් වෙත ලැබෙන සෑම යෝජනාවක්ම පරීක්ෂා කර ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනා හඳුනා ගැනීමට සමත්, හොඳින් ව්‍යුහගත, පාරදෘශ්‍ය යාන්ත්‍රණයක් තුළ ගොඩනැගිය යුතුය.

ආණ්ඩු වෙනස් වේ. සභාපතිවරුන්, ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන්ද වෙනස් වේ. ඒත් හොඳ අදහස්වලට සවන්දීමට, ඇගයීමට සහ ඒවා සක්‍රිය කිරීමට ජාතියකට ඇති හැකියාව ඔවුන් සමග අතුරුදන් නොවිය යුතුය. ස්ථිර යාන්ත්‍රණයක් මගින් යෝජනා ගැලීමට විනයක් ගෙන ඒම, විශ්වාසදායක අවස්ථා අපැහැදිලි යෝජනාවලින් වෙන් කිරීම, වගකීම් පැවරීම, ආයතන සම්බන්ධීකරණය කිරීම සහ ප්‍රගතිය පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීම නිලධාරීන්ට සහයක් වනු ඇත.

එහි අරමුණ රාජ්‍ය ආයතන මඟහැර යාම නොව, මැනිය හැකි ජාතික ප්‍රතිඵලයක් වෙනුවෙන් එම ආයතනවලට එක්ව වැඩ කිරීමට උපකාර කිරීමය.

 තවත් යෝජනා පමණක් නොවේ 

යෝජිත යාන්ත්‍රණය අදහස් ඇතුළත් කර අමතක කර දමන වෙබ් අඩවියක් හෝ පවත්වන ලද රැස්වීම්, සංසරණය වූ පත්‍රිකා හෝ සලකා බලමින් පවතින යෝජනා මගින් සිය කාර්යසාධනය මනින තවත් එක කාරක සභාවක් බවට පත් නොවිය යුතුය.

එය අරමුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක්, ප්‍රචාරක කටයුත්තක්, සාමාන්‍ය පැමිණිලි යොමුකරන මාර්ගයක් හෝ පක්ෂපාතීත්වය සඳහා වන මාවතක් ලෙස අදහස් නොකෙරේ. පාරිසරික, නීතිමය, මූල්‍ය සහ ජාතික ආරක්ෂක සුරක්ෂිතතාව තවදුරටත් අදාළ වනු ඇත.

එහි අරමුණ විශේෂිත එකකි. එනම් ශ්‍රී ලංකාවට අතිරේක, මැනිය හැකි ශුද්ධ විදේශ විනිමය ගැලීම් උත්පාදනය කළ හැකි විශ්වාසදායක මූලපිරීම් හඳුනා ගැනීම සහ සක්‍රිය කිරීමයි.

මෙහි ප්‍රධාන මිනුම වනුයේ ශුද්ධ විදේශ විනිමය දායකත්වය (NFCC) යි. ශ්‍රී ලංකාවට ලැබීමට අපේක්ෂිත මුළු විදේශ විනිමය ප්‍රමාණයෙන්, එකී කටයුත්ත ස්ථාපනය කිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය වන සෘජු විදේශ විනිමය පිටතට ගැලීමෙන් පසු ඉතිරිවන ප්‍රමාණයයි. විශාල ඩොලර් ආදායමක් වාර්තා කරන නමුත් ඊට සමාන විශාල ඩොලර් වියදමක් අවශ්‍ය වන යෝජනාවකින්, සැලකිය යුතු ශුද්ධ වටිනාකමක් දේශීයව ඉතිරි කරන යෝජනාවකින් මෙන් රට ශක්තිමත් නොවේ.

පූර්ව අනුමාන සහ තහවුරු කළ ප්‍රතිඵල යනු දෙකකි. සාර්ථකත්වය මැනිය යුත්තේ යෝජනාවක් ආරම්භ කරන විට හෝ ප්‍රකාශයට පත් කරන විට නොව, ගනුදෙනුවක් සක්‍රිය වී විදේශ විනිමය සැබවින්ම උපයන විටදීය.

වෙනත් කරුණුද මෙහිදී වැදගත් වනු ඇත. විදේශීය ඉල්ලු‍ම පිළිබඳ සාක්ෂි, හඳුනාගත හැකි ක්‍රියාත්මක කරන පාර්ශවයක් පැවතීම, විශ්වාසදායක මූල්‍ය සම්පාදන මාර්ගයක්, පළමු විදේශ විනිමය ලැබීමට ගතවන කාලය, නිර්මාණය වන රැකියා සහ කුසලතා, දේශීයව ඉතිරිවන වටිනාකම, රාජ්‍ය පිරිවැය, නම්‍යශීලීව පුළුල් කිරීමේ හැකියාව සහ එය සක්‍රිය කිරීමට බාධා කරන නිශ්චිත රජයේ බාධකය, සම්බන්ධීකරණ අපොහොසත් වීම හෝ නියාමන අවිනිශ්චිතතාවය.

මේ මගින්, සමස්ත ව්‍යාපෘතිය සඳහාම රජය මුදල් යෙදවිය යුතු යැයි ඉල්ලා සිටින අදහස් වෙනුවට, ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිචාරයක් අවශ්‍ය වන යෝජනා කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙයි.

 ජාතික ප්‍රතිඵලය දක්වා 

සවිස්තරාත්මක සැලසුම නිල ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැකිය. පළමු ජාතික තීරණය ශ්‍රී ලංකාවට මෙවැනි ධාරිතාවක් නිර්මාණය කිරීමට අවශ්‍යද නැද්ද යන්නය. එම තීරණය ගත් පසු, අපේක්ෂිත ප්‍රතිඵලය වන විශ්වාසදායක යෝජනා මැනිය හැකි නව විදේශ විනිමය බවට පත්කිරීම වටා මෙහි ව්‍යුහය, ආරක්ෂිත පියවර සහ මෙහෙයුම් පටිපාටි ගොඩනැගිය හැකිය.

මෙවැනි යාන්ත්‍රණයකින් සෑම යෝජනාවක්ම පිළිගන්නා බවට සහතිකයක් නොලැබේ. එහෙත්, එයින් සිදු වන්නේ බරපතළ යෝජනාවලට නියමිත වේලාවට, වගකීම්සහගත සහ සාධාරණ තීරණයක් ලැබීමය. එනම්, අවසානයක් නොමැති නිහඬතාවක් වෙනුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමයි.

ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට මේ සඳහා වඩාත්ම සුදුසු රාජ්‍ය ආයතනික පදනම තීරණය කළ හැකිය. වැදගත් වන්නේ අදාළ ආයතන එක්තැන් කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් ජාතික බලයක් සහ ප්‍රතිඵල පිළිබඳ පැහැදිලි වගවීමක් ඊට තිබීමය.

 අන් අයට සවන්දීම 

ශ්‍රී ලංකාව නුහුරු මූලධර්මයක් අත්හදා බලන්නේ නැත. 2000 වසරේ සිට සිංගප්පූරුවේ ‘ප්‍රෝ-එන්ටප්‍රයිස් පැනලය‘ (Pro-Enterprise Panel) මගින් යෝජනා 2,000 කට වඩා ලබාගෙන ඇති අතර, රීති සහ නියාමනයන්හි වෙනස්කම් 1,100 කට වඩා කිරීමට උපකාර කර ඇත. එම ක්‍රියාවලියට මාසයක් ඇතුළත සිදුකරන මූලික ඇගයීමක් ද ඇතුළත් වේ. පාලිත නියාමන කොන්දේසි යටතේ අලු‍ත් අදහස් අත්හදා බැලීමේ මාර්ගයක් ද සිංගප්පූරුව සපයයි. එක්සත් රාජධානියේ, මූල්‍ය චර්යා අධිකාරියේ (FCA) ‘නියාමන සැන්ඩ්බොක්ස්’ (Regulatory Sandbox) ක්‍රමය මගින් සුදුසුකම් ලබන නවෝත්පාදකයන්ට කැපවූ නඩු කළමනාකරුවකු ලබා දෙන අතර පාලිත රාමුවක් තුළ විසඳුම් අත්හදා බැලීමට ඉඩ සලසයි.

මේවා ශ්‍රී ලංකාවට ඒ අයුරින්ම යොදාගත හැකි ආකෘති නොවන අතර, ජාතික විදේශ විනිමය යාන්ත්‍රණයක් ලෙසම නිර්මාණය වූ ඒවා ද නොවේ. එහෙත් ඒවායින් සරල සත්‍යයක් පෙන්වා දෙයි. එනම්, සාර්ථක රාජ්‍ය යනු වටිනා අදහස් නිසි නිලධාරියා වෙත ඉබේම යනු ඇතැයි බලාපොරොත්තු වන රටවල් නොවේ. ඒ වෙනුවට ඔවුන් යෝජනාවේ සිට තීරණය දක්වාත්, අත්හදා බැලීමේ සිට වැළඳගැනීම දක්වාත් පැහැදිලි මාවතක් නිර්මාණය කරයි.

 බොහෝ නව මාවත්

එක් යෝජනාවකින් පමණක් ශ්‍රී ලංකාවේ බාහිර ආර්ථිකය ගොඩනැගිය නොහැක. සියල්ල විසඳීම සඳහා එකම එක දැවැන්ත ව්‍යාපෘතියක් පැමිණෙන තෙක් රට බලා සිටිය යුතු ද නැත.

ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට වැඩි ඉඩක් ඇත්තේ තවත් අතිරේක මාර්ග රාශියක් සක්‍රිය කිරීමෙනි. ඉන් සමහරක් විශාලය, සමහරක් මධ්‍යම ප්‍රමාණයේය, සමහරක් ක්ෂණිකය, තවත් සමහරක් කාලයත් සමග පරිණත වන ඒවාය. විනයගරුක යාන්ත්‍රණයක් මගින් මෙවැනි සමතුලිත එකතුවක් (Portfolio) නිර්මාණය කරනු ඇත. යෝජනා කිහිපයකින් සීමිත ප්‍රතිඵල ලැබිය හැකි අතර, වඩාත්ම ප්‍රබල යෝජනාවලින් සම්පූර්ණයෙන්ම නව ඉපැයීම් මාර්ග විවෘත විය හැක. සෑම උත්සාහයකින්ම ලබන පාඩම් මීළඟ පියවර වඩාත් සාර්ථක කරනු ඇත.

මෙම ප්‍රවේශය ජාතික සංවාදය ද වෙනස් කරයි. දුර්ලභ විදේශ විනිමය ණය ගන්නේ කෙසේද, සංරක්ෂණය කරන්නේ කෙසේද හෝ බෙදා හරින්නේ කෙසේද යන්න ගැන පමණක් අසනවා වෙනුවට, ශ්‍රී ලංකාව නිරන්තරයෙන් මෙසේ අසනු ඇත. අපට ලෝකයට පිරිනැමිය හැකි විශ්වාසදායක නව වටිනාකම කුමක්ද, එසේ කිරීමට අපට බාධා කරන්නේ කුමක්ද, සහ වගකීම් සහගත ලෙස එම බාධකය කෙතරම් ඉක්මනින් ඉවත් කළ හැකිද?

මෙහි බලපෑම ගෙවුම් ශේෂයෙන් ඔබ්බට විහිදෙනු ඇත. හොඳ අදහස් හඳුනාගෙන සක්‍රිය කළ හැකි රටක් ව්‍යවසායකත්වය දිරිමත් කරයි. විදේශයන්හි සිටින දක්ෂ ශ්‍රී ලාංකිකයන් ආකර්ෂණය කර ගනී. රාජ්‍ය ආයතන කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගයි. පලදායි රැකියා උත්පාදනය කරයි සහ මූලිකත්වයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය යන විශ්වාසය නැවත ඇති කරයි. ප්‍රායෝගික බුද්ධිය කොතැනක තිබුණත් ජාතිය එය අගය කරන බවට එයින් සංඥා කරයි.

කාලයත් සමග මෙවැනි පද්ධතියක් මගින් රාජ්‍යයම ශක්තිමත් වනු ඇත. එහි ක්ෂණික ප්‍රතිඵලය අතිරේක විදේශ විනිමය විය හැකිය. එහි පුළුල් වටිනාකම වන්නේ වේගයෙන් ඉගෙන ගන්නා, වඩා හොඳින් සම්බන්ධීකරණය වන සහ අවස්ථා ජාතික වටිනාකම් බවට පරිවර්තනය කරන රාජ්‍යයක් නිර්මාණය වීමය.

 ජනාධිපතිතුමනි මේ අහන්න.. 

ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ මීළඟ ආර්ථික පිම්ම දැනටමත් ව්‍යවසායකයකුගේ, වෘත්තිකයකුගේ, ආයෝජකයකුගේ, පර්‌යේෂකයකුගේ, රාජ්‍ය නිලධාරියකුගේ හෝ විදේශයක වෙසෙන ශ්‍රී ලාංකිකයකුගේ මනසෙහි පවතින්නක් විය හැකිය.

ඒ සඳහා විශාල රාජ්‍ය මුදල් ප්‍රතිපාදනයක් අවශ්‍ය නොවනු ඇත. එයට අවශ්‍ය වන්නේ තීරණයක්, නියාමන පැහැදිලි කිරීමක් හෝ ආයතන අතර සහයෝගීතාවක් පමණක් විය හැකිය. එහෙත් එය ඉදිරියට යන්නේද යන්න තවමත් රඳා පවතින්නේ රටට ඇති වටිනාකම මත නොව, පුද්ගල සබඳතා සහ නිසි වෙලාවට ලැබෙන අවස්ථාවන් මතය.

මෙම ලිපියෙන් ඔබතුමාගෙන් පියවන ලෙස ඉල්ලා සිටින්නේ එම පරතරයයි.

මෙම යාන්ත්‍රණය ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ලෙස ගන්නා තීරණයක් මගින්, විශ්වාසදායක නව විදේශ විනිමය ඉපැයීම් සෙවීම යනු පැහැදිලි වගකීමක් නොමැතිව කලාතුරකින් සිදුකරන උත්සාහයක් වෙනුවට, නිරන්තරයෙන් සිදුවන ජාතික වගකීමක් බවට පත් කරනු ඇත. තවද එක් ආයතනයක වගකීම් පරාසයට සෘජුවම අයත් නොවන වටිනා යෝජනා සඳහා ඉදිරි මාවතක් ද එයින් සැලසෙනු ඇත.

ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වීම සඳහා දැන් සාපේක්ෂ ස්ථාවරත්වයේ කාලපරිච්ඡේදයක් ලැබී ඇත. එය සදාකාලිකව පවතින්නේ නැත. අනාගත වගකීම් ඉටු කරනු ලබන්නේ ශක්තිමත් ජාතික ඉපැයීම් මගින්ද, නැතහොත් නැවතත් ණය ගැනීම් මත යැපීමෙන්ද යන්න තීරණය කිරීමට මෙම කාලය තුළ රට ගොඩනගන දේ උපකාරී වනු ඇත.

මෙය ඔබගේ ජනාධිපතිධුරයේ තිරසාර දායකත්වයක් බවට පත්විය හැක. එනම් සිය ශක්තිමත් අදහස් තවදුරටත් අහම්බයට අතනොහැර, ඒවා හඳුනාගෙන ආර්ථික වටිනාකම් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති රටක් නිර්මාණය කිරීමයි.

අවස්ථාව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම අදහස්, නව විදේශ විනිමය ඉපැයීම් සහ තිරසාර ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව බවට පරිවර්තනය කළ හැකි ජාතික මාවත නිර්මාණය කරන්න.

(මෙම ලිපිය ලියන ලලිත් කහටපිටිය, වරලත් ඉංජිනේරුවෙකි, ව්‍යවසායකවෙකි, කර්මාන්තකරුවෙකි, අපනයනකරුයෙකි. ඔහු KIK සමාගම් සමූහයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වේ. අපනයන, ඉංජිනේරු සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි ප්‍රායෝගික අත්දැකීම් ඇති ඔහු, ව්‍යවසාය සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙම ලිපිය ලියා ඇත. මෙහි ඇති අදහස් ඔහුගේ පෞද්ගලික අදහස්ය. [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ඔහු සම්බන්ධ කරගත හැක.)


Daily FT පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
ලුසිත ජයමාන්න