නිමල කොඩිතුවක්කු 
2026 අයවැය යෝජනා අනුව ‘කාන්තා අභිවෘද්ධිය’ ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටම්වල සිටින කාන්තාවන් ඉලක්ක කර ගනිමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මගින් ‘ව්‍යවසායකත්ව සංවර්ධනයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එයට සමගාමීව 2026 අයවැය යෝජනා යටතේ ‘කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් වැඩසටහන් සඳහා රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. 
ප්‍රධාන වශයෙන් මධ්‍යම මට්ටමේ ව්‍යවසායක කාන්තාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායකයන් බවට පත් කිරීම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීම, මධ්‍යම මට්ටමේ ආදායම්ලාභී කාන්තාවන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය මත හිංසනයට පත් කාන්තාවන් සඳහා සහන සැලසීම සහ නිලධාරී ධාරිතා සංවර්ධනය එකී වැඩසටහන යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.